වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මට එයා අල්ලෙ තියාගෙන රඟපාන්න පුළුවන

දැන් මට එයා අල්ලෙ තියාගෙන රඟපාන්න පුළුවන

සරසවියෙන් හොයාගත් හොඳම නළුවා විශ්වජිත් ගුණසේකර

පසුගිය සුමති සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ විශ්වජිත් ගුණසේකර පිළිබඳව බොහෝ මාධ්‍යය කතා කළ අයකු නොවෙයි. කොටින්ම ඔහු හොඳම නළුවාට නිර්දේශ වූ පසු ඔහුගේ ඡායාරූපයක් පවා සොයා ගැනීමට දුෂ්කර විය. එහෙත් අද ඔහු ගැන බොහෝ දෙනෙකු කතා කරයි.

* ඉතින් විශ්වජිත් ඔබ මෙතෙක් මහන්සි වී වැපිරූ බීජ වලින් ආයෙත් ඵල නෙලාගත්තා?

ඔව්. මේ මම හොඳම නළුවා වෙච්ච දෙවැනි අවස්ථාව. මීට කලින් රයිගම් සම්මාන උළෙලකදී රළ බිඳෙන තැන නාට්‍යයේ චරිතයට හොඳම නළුවා වුණා මං.

* ඔබ මෙවර හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ චරිතය ගැන කතා කළොත්?

ඒ චරිතයේ නම ධනංජය. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනන්දු ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. මගේ විදිහට මං ධනංජයවම නිරූපණය කෙරුවා.

* විශ්ව, ඔබ නළුවකු වුණේ ‘සරසවිය’ පුවත්පත නිසා. මා කැමැතියි ඒ අතීත මතකය පොඩ්ඩක් හාර අවුස්සන්න?

පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මම රැකියාවල් කිහිපයක් කළා. ඒත් එකක්වත් සෙට් වුණේ නැහැ. මේ සිදුවීම සිදුවුණේ එක්දාස් නමසිය අනූපහේ විතර. මං “සරසවිය” පත්තරේ බලනවා. ඔන්න එහි පළවෙලා තිබුණා සෝමලතා සුබසිංහ මැඩම්ගෙ රංගන පාසලට නවකයින් බඳවා ගන්නවා කියලා. මං ඉක්මනින් ඒකට ඇප්ලයි කළා. මාව මූලික සම්මුඛ පරීක්ෂණයට කැඳෙව්වා. එතනට ගියාට පසසේ මට තරු පෙනුණා.

* ඒ මොකද...?

මට කලින් ආපු අයගෙ අත්වල සහතික මිටි ගණන්. මගෙ අතේ තිබුණෙ කැඳවුම් ලිපිය පමණයි. මට ලැජ්ජාවෙ බැහැ. ආපු එකේ ඉන්ටර්විව් එකට ඉඳලම යනවා කියලා හිතුණා. බලාපොරොත්තු සුන් වූ සිතින් තමයි එදා ගෙදර ගියේ. ඒත් පුදුමයි මාව තෝරගෙන.

* ඊට පස්සෙ...

මම සෝමලතා මැඩම් ගාව ඉගෙන ගත්තා. කිව්වට විශ්වාස කරන්න ක්ලාස් එකේ හිටපු දුර්වලම ශිෂ්‍යයා මම.

* ඒත් ඔබ අති දක්ෂයෙක් කියලා රටම පිළිගෙන හමාරයි. කොහොමද ඔබේ නිර්මාණවලට සම්බන්ධවීම ඇරැඹෙන්නේ...

සෝමලතා සුබසිංහ මැඩම්ගෙ විකෘති වේදිකා නාට්‍යයේ රඟපාමිනුයි මෙම වේදිකාවට එන්නේ . අපේ ක්ලාස් එකෙන්ම කරපු අසිනමාලි නාට්‍යයේ ඉන්පසුව රඟපෑවා. මං ටෙලි නාට්‍යවලට එන්නෙ අශෝක හඳගම මහත්මයාව හඳුනා ගැනීමෙන් අනතුරුවයි. ඔහුගේ සුදු කළු සහ මම කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා. අවාසනාවවට ඒක තහනම් වුණා. දෙවනුව රඟපෑවෙ සත්‍යජිත් මාඉටිපේගෙ ස්වර්ණ සමාප්තිය ටෙලි චිත්‍රපටයේයි. තෙවනුව මට ලැබුණ නාට්‍යයෙන් මට සමස්ත නාට්‍ය කලාවම එපාවුණා.

* මොකක්ද ඒ සිද්ධිය?

ඒ නාට්‍යයෙ නමවත් අධ්‍යක්ෂවරයාවත් මම කියන්නේ නැහැ. එහි ප්‍රධාන චරිතය කළ නිළියයි මමයි රඟපාන්න තිබුණේ. ඇය මට කිසිදු සහයක් දුන්නේ නැහැ. මගෙත් එක්ක ඩයලොග් රිහසල් එකක් කරන්වත් ආවෙ නැහැ. මම සාමාන්‍යයෙන් කැමරාවට රි ඇක්ෂන් දෙනවා අඩුයි. නාට්‍යයේ හිටපු සමහර අය මට රිඇක්ෂන් දෙන්න කියපුවාම මට කරගන්න බැරි වුණා. බාධක මධ්‍යයේ දැඩි අපහසුවෙන් සතියක් මං එහි රඟපෑවා. අන්තිමේ මටම එපාවෙලා නාට්‍යයෙන් අයින් වුණා. ෆීල්ඩ් එකේ මේ සිද්ධිය ලැව් ගින්නක් වගේ පැතිර ගියා. විශ්වජිත් ගුණසේකර කියන නළුවට රඟපාන්න බැහැ කියලා. කිසිම කෙනෙක් වසර ගණනාවක් යනතුරු මට රඟපාන්න කතා කළේ නැහැ.

* කොහොමද ඔබ නැවත රඟපාන්න ආවේ?

අර ආනන්ද අබේනායක කියන රත්තරං අධ්‍යක්ෂවරයා තමයි ආයෙත් මට රඟපාන්න කතා කළේ. ඔහු ඒ සිද්ධිය දන්නවා. ආනන්ද මහත්මයා මට ඔහුගේ ජීවිතයට ඉඩ දෙන්න නාට්‍යයට කතා කළේ මෙන්න මෙහෙම කියලා “විශ්ව ඔයා මේ චරිතය ඔයාට හිතෙන විදිහට නිදහසේ රඟපාන්න, ඔයා රඟපාන එක තමා මම නාට්‍යයට ගන්නේ. මම කිසිම බාධාවක් කරන්නේ නැහැ.”

ඔහුගේ ඒ වචනවලින් මා ලැබූ පන්නරය අපමණයි. ඉන්පසුව සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ රළබිඳෙන තැන, අනුරුද්ධ ජයසිංහගේ යකඩ පහන් තිර ආදී නාට්‍යවලින් මා ප්‍රෙක්ෂකයන් අතරට ගියා.

* රළ බිඳෙන තැන හරහා ඔබ ටෙලිවිෂනයේ සම්මාන දිනා ගන්නවා...?

මම රයිගම් පමණක් නොව ඕ.සී.අයි.සී. සමමාන උළෙලක හොඳම සහාය නළුවාට හිමි සම්මානය ලැබුණා. රළ බිඳෙන තැන හි චරිතයට. මටත් පුදුමයි සම්මානයට නිර්දේශවුණා කියලා කෝල් කරලා කිව්වම.

* ඒ මොකද?

අනේ මං තවම දක්ෂ කෙනෙක් නොවෙයි.

* එහෙනම් කොහොමද ඔබ හොඳම නළුවා වුණේ?

මං මට ලැබෙන චරිත වලට අවංක වෙනවා එච්චරයි.

* රඟපාන්නෙ ප්‍රසිද්ධ වෙන්නද?

මට කවදාවත් ප්‍රසිද්ධ වෙන්නවත් ජනපි‍්‍රය වෙන්නවත් අවශ්‍ය නැහැ. මං හිතනව මගෙ ආත්මයෙ රංගනය කියන විෂය තියනවා. මං මගේ හැකියාව පළකරනවා පමණයි. නළුවකුට ප්‍රසිද්ධිය අදාළ දෙයක් නොවෙයි.

* ඔබට එදා සහයක් නොදුන් නිළිය හොඳම නළුවා වුණාට පසුව හමුවුණාද?

අපොයි ඔව්. අද මට ඇයව අල්ලෙ තියාගෙන රඟපාන්න පුළුවන්.

* විශ්වගේ වෘත්තිය රංගනයද?

ඔව්. නමුත් මං තවත් දෙයක් කරනවා. ඒ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඉංගී‍්‍රසි භාෂාව සම්බන්ධ ලෙක්චර් කෙනෙකු විදිහට වැඩ කරනවා.

* මියයන තෙක්ම රඟපානවද?

අපෝ නැහැ. අපේ සමහර නළුවො වයසට ගියාමත් රංගනයට ඇති ලෝබකම නිසාම රඟපානවා. ඒත් ඒ අයට රඟපාන්න බැහැ කියලා පේනවා. මම මට හිතුණොත් රඟපාන්න බැහැ කියලා මං අයින්වෙනවා. බැරි බැරි ගානේ රඟපාන්නේ නැහැ.

* ඔබ සිටින, අතුල පතිරණගේ ගේ දොළහක් වේදිකා නාට්‍යය ගැනත් කතා කරමු.

ඇත්තටම ඒක පුදුම නාට්‍යයක්. මෑත කාලයේ නිර්මාණය වූ හොඳම වේදිකා නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. අපි ලයනල් වෙන්ඩ්ට් හි නාට්‍යය පෙන්වලා අවසන් වෙද්දි ඕඩියන්ස් එක නැගිට්ටා.

* විශ්වගේ පුද්ගලික තොරතුරු කතා කළේ නැහැ.

මගෙ ඉස්කෝලෙ කොළඹ ආනන්දෙ. ගම ගම්පහ මාලිගාතැන්න. ඒ විස්තර සඳහන් වුණොත් ඇති.