|
එයා මල්ලි බබෙක් වෙන්නේ කොහොමද ?
02 කොටස
අපේ ගෙදරට අලුත් අමුත්තා ළඟ ළඟම එන ලකුණු මට දැනිණ. මා ඇඳෙහි වැතිරුණේ අසීරුවෙනි. සේනක ද නිවසේ නොමැත. ඉන්නේ හය හතර නොදන්නා පොඩි එවුන් පමණි. මට බියක් දැනිණ. නිදන කාමරයේ විවර වූ දොරෙන් සාලයෙහි වූ බුදු පහන පෙනෙයි. මම සිතින් බුදුන් වැන්දෙමි. වහාම රෝහලට යා යුතුව ඇත. මම සේනකගේ ජංගම දුරකථනයට කතා කළ ද ප්‍රතිචාරයක් නොමැති යැයි ඉන් කියවිණ. ප්‍රමාද නොවිය යුතු බව මගේ සිත මොර ගාන්නට විය. පුතණුවන්ටත්, දියණියන්ටත් මගේ වෙනස තේරුණා වැනිය. කිසිත් කරගත නොහැකි දියණිය කඳුළු පිරි දෙනෙතින් මා දෙස බලා සිටියාය. ඇයව මම තුරුලු කර ගතිමි. ‘පුතේ මට වතුර ටිකක්’ මම විමසීමි. වචනය පිට වෙන්නටත් කලිින් ගෙට දුව ගිය රුවන් පුතු වතුර වීදුරුව රැගෙන සැනෙන් දුව ආවාය. පොඩි එකා ගැන මහත් ආඩම්බරයක් මගේ සිතට දැනිණ. මම වතුර වීදුරුව ඉක්මනින් බී හමාර කළෙමි. සිඟිතිගේ මුහුණ වහින්නට ළං වූ අහසක් මෙනි. ‘අම්මට අමාරු නම් තාත්තාට කියමු’
පුතු ගෙනැත් දුන් වතුර වීදුරුව මට මහත් ප්‍රාණයක් රැගෙන ආවේය. ‘තාත්තගේ ෆෝන් එක වැඩ කරනනේ නෑ පුතේ’ මම නැවතත් දුරකථන ඇමතුමක් ගන්නට උත්සාහ කරමින් කීවෙමි. ‘සම්බන්ධ කළ නොහැක - ප්‍රතිචාරයක් නොමැත – පසුව අමතන්න’ සුපුරුදු නාඳුනන යුවතිය දිගින් දිගට පිළිතුරු දුන්නාය. මට කෝපයක් ඇති වේ. ‘පුතේ රීටා ඇන්ටිට කතා කරනවාද’ මගේ අසල්වැසි යෙහෙළිය රීටාය. පොඩි එකා වහා දුව ගියේය. මම ඇඳෙන් බැස අල්මාරිය දෙසට ගියේ ඉක්මනින් සූදානම්වීමටය. ‘අම්මේ’ සිඟිති හීන් හඬින් මුමුනනු මට ඇසිණි. ‘අම්මට රිදෙනවා නම් අපි දෙයියන්ට කියමු බබාව ආපහු ගන්න කියලා’ මම අල්මාරිය අරින ගමන් අනෙක් අතින් දියණියගේ අත අල්ලා ගතිමි. ‘අනේ මගේ රත්තරනේ අම්මට රිදෙන්නේ නෑනේ’ කොයි මොහොතක හෝ හදිසියක් වෙතැයි සිතා මා සියල්ල සැලසුම් කළේ මීට ටික දිනකට පෙරය. රෝහල් ගතවීමට අවශ්‍ය බඩු බාහිරාදිය සියල්ල මා අල්මාරියේ එක් තැනක තැන්පත් කළේ එබැවිනි. මම අඩි සද්දයක් ඇසී හැරී බල්දදී රීටා කාමරයට පැමිණ සිටියාය. ‘ඇයි මට කලින් කතා නොකළේ, කිව්ව නම් මම එනවනේ’ ඇය කතා කළේ දොස් පවරන ආකාරයෙනි. ‘නෑ නෑ රීටා තව ඩේට්ස් තියෙනවා, ඒත් අද ටිකක් අමාරුයි’ ඇය මගේ ඇඳුම් බෑගය ඇඳ මත තැබුවාය. ‘ සේනකට කිව්වද?’ ඇය ඇසුවේ මට උපකාර කරන ගමන් ය. ‘ෆෝන් එක් වැඩ කරන්නේ නෑ’ ‘අමාරුවක් තිබ්බ නම් නවත්ත ගන්න තිබුණනේ’ ‘ඒ වෙලාවේ අමාරුවක් තිබුණේ නෑ. අනේ රීටා අපි ඉස්පිරිතාලෙට යමුද? මට හරි අමුත්තක් දැනෙනවා’
‘ඉන්ඩ ඉන්ඩ මම අපේ එක්කෙනාට කියන්නම් වාහනයක් ගේන්න කියලා’ ඇය කාමරයෙන් එළියට එන්නට හැදුවත් රුවන් ඊට කලින් එළියට පැන ගත්තේය. ‘ඇන්ටි ඔහොම ඉන්න. මම ටක් ගාලා අංකල්ට කියන්නම්’ පුතුª එළියට දිවූ බැවින් මම ඇඳ මත වාඩි වූයෙමි. රීටා මගේ ගමන් මල්ල පිරික්සා බැලුවේ කිසිවක් අඩු නැතිව ඇත්දැයි හරියට දැනගන්නටය. අනතුරුව ඇය ගමන් මල්ල වසා මා ළඟින් තැබුවාය. රීටාගේ සැමියා ඇල්බට් මගේ පුතුගේ වදන් ඇසූ සැනින්ම ඇඳ සිට සරම පිටින්ම පාරට පැන්නේ රථයක් නවත්වා ගන්නටය. එහෙත් කිසිවකුª හෝ ඔහුට රථයක් නොනැවැත් වූයේය. බැරිම තැන ඇල්බට් කර ඇත්තේ ත්‍රීවිලරයක් ඉදිරියට පැනීමය. ‘ඇයි ඕයි තමුසෙ ගෙදරට කියලා ආවේ සුදු කොඩි එල්ලන්න කියලද?’ ත්‍රීවිල් රියැදුරු පස් පඩංගුවේ බනින්නට විය. ‘අමාරු ලෙඩෙක් ඉන්නවා මල්ලි’ ‘තමුසෙට පිස්සුද’ ත්‍රීවිල් රියැදුරා යන්නට කැමැති වූයේම නැත. අමාරු නම් පැරසිටමෝල් එකක් බීල නිදා ගන්න කියනවා. ඒ මදිවාට රියැදුරු පවසා තිබුණේ උජාරුවටය. ‘එහෙනම් තමුසේ ඒ එස් පී මහත්තයාගේ නෝනට පැරසිටිමෝල් බොන්න කිව්වා. මට මතකයි නොම්මරේ’ ඇල්බට් අයියා ද රඟපාන්නට පටන් ගත්තේය. එය ඇසුණු සැනින් රියැදුරු රථය නතර කළේය. ‘ඒ එස් පී කිව්වේ පොලිසියේද’ ‘පොලිසියෙ නැතිව ලෑන්ඩ් සේල් කරනවයැ. මම වෙන වාහනයක් හොයා ගන්නම්’ ත්‍රීවිල් රියැදුරු ඇල්බට් අයියාටත් කලින් අපේ ගෙදරට රථය හරවා ගත්තේය. මම රීටා සමඟ ඇඳෙන් බැස එළියට ආවෙමි. සිඟිති මගේ අතින් අල්ලා ගත්තාය. ඇගේ අතේ තිබුණේ පුංචි වළලු තුනකි. ‘අම්මා මේක නංගි බබාට දෙන්න’ ‘නංගි බබා එක්ක ගෙන ආවම ඔයාම දෙන්න’ මම ඒ වළලු ඈ අත මිට මෙලවීය. ‘එයා කොහොමද නංගි බබෙක් වෙන්නේ, එයා මල්ලි බබෙක් නේද අම්මේ . . .’ රුවන් පුතා පැවසූයෙන් මට සිනහ ගියාය. මෙතුවක් වෙලා මහදැනමුත්තකුª ලෙස එහාට මෙහාට දිව ගියේ මේ දරු පැටියාය. ‘මට ඕන මල්ලියෙක්’ සිඟිති ද අයියා ඉදිරියේ පසුබසින්නේ නැත. ‘නෑ නංගියෙක්. එයාගේ නම නිලේෂා’ ‘හරි, හරි අපි දෙන්නෙක්ම ගේන්නම්කෝ’ බැරිම තැන රීටා පැවසුවාය. |