වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේම කතාවක අවසන් පිටුව

ප්‍රේම කතාවක අවසන් පිටුව

සුමිත්‍රා ෆොන්සේකා

1938.01.28 - 2013.11.11

අවසන් කටයුතු අද සවස 4.00ට ගල්කිස්ස සුසාන භූමියේ

ලෝකය පුරා ඉතිහාසය පිරිසිඳ බලන කෙනෙකුට එය වඩා පිවිතුරුව ඇත්තේත්, සුන්දරව ඇත්තේත් ආදරය නිසා යැයි සඳහන් කළ යුතුය. ඉතිහාසය විසින් පෙරළා ඉතිරි කොට අපට පුදන ලද ආදර කතන්දර ද, සාහිත්‍යකරුවන්, සිනමාකරුවන්, ගීත රචකයන් ඈ නේකවිධ කලාකරුවන් ස්වකීය අත්දැකීම් සහිත ප්‍රේමය විවිධ නිර්මාණයන්ගෙන් රස මවා අප වෙත තිළිණ කොට ඇත්තේය. කිසි කලෙක ගීයකට සලරුවකට නොතැනුණු ප්‍රේම වෘත්තාන්ත මිනිස් සන්තානයෙහි ඉපිද මිනිසුන් සමඟ මරණයෙන් කෙළවර වන්නේය.

එසේ ඔවුන් සමඟ නිමාවන ඇතැම් ප්‍රේම කතා විමසා බලන කළ එහි ඇති මනුෂ්‍යත්වය ඉදිරියේ පා නමස්කාර කළ යුතුය. එවන් එක් අපූර්ව ප්‍රේම කතාවක හිමිකාරිනිය පසුගිය සඳුදා සදහටම ඇය ආදරය කළ සියල්ලන් හැර ගියේය. ඇය ඔබත්, මාත් පමණක් නොව බොහෝ දෙනා හඳුනන්නේ සුමිත්‍රා ෆොන්සේකා යන නමිනි. නැතහොත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය භාර්යාව වශයෙනි. ඇය තරම් ගාමිණීට ගෞරව කළ, ගාමිණීට ප්‍රේම කළ, ගාමිණීගේ යසසම පැතූ ගැහැනියක් මිහිපිට නොසිටියාය. ඇය ගාමිණීට දැක් වූ ස්නේහය දෙවැනි වනවා නම් එය එසේ වනුයේ ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය මාතාවගේ ආදරයට පමණි.

ගාමිණී හා සුමිත්‍රා මුල්වරට එකිනෙකා දැක ගනුයේ වැල්ලවත්තේ පැවැති නත්තල් සාදයකදීය. ඒ වන විට සුමිත්‍රා ‘ශ්‍රී 296’ චිත්‍රපටයේ රඟපෑමට ගිවිසුම් අත්සන් කොට තිබුණි. ශ්‍රී 296 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගාමිණීට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ව හඳුන්වා දුන් ප්‍රේමනාත් මොරායස්ය. මේ වන විට ගාමිණී ‘රේඛාව’ චිත්‍රපටයෙන් පසුව ඩේවිඩ් ලීන් ගේ ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ තුන්වන සහාය අධ්‍යක්ෂවරයා විය. නත්තල් සාදයට පැමිණි සුමිත්‍රා අන් සියල්ල අතර කැපී පෙනුණේ සාරියකින් සැරැසී සිටි එකම යුවතිය ඇය බැවිනි. ඒ හමුවීම වූ කලී සංසාරගත ප්‍රේමයක යළි බැඳීමක් යැයි සිතිය හැක්කේ ඔවුන් දුටුමතින් එකිනෙකාට පෙම් කරන්නට පටන් ගත් නිසාය.

ඒ වනවිට සුමිත්‍රා ශේෂා පලිහක්කාරගේ නැටුම් පංතියකට සහභාගි වූ අතර ගාමිණී නිතර එහි ගියේ, සිය මිතුරු ශේෂා දැකගන්නට නොව සුමිත්‍රා දැකගන්නටය. ඔවුහු විවාහ වන්නට පෙරම විවාහ යුවළක් ලෙස සබන් දැන්වීමකට පෙනී සිටියහ. එහි රූප ගැන්වූයේ ගාමිණීගේ දෙහිවල මහ ගෙදරය. මේ ප්‍රේමයට ගාමිණීගේ අම්මා තදින්ම විරුද්ධ විය. එහෙත් ඔහුගේ පියා විරුද්ධ වූයේ නැත. එහෙත් සත් වසරක් රහසින් කළ පෙම මල්පල ගැනුණේ 1963 වසරේ පෙබරවාරි 21 වැනිදාය.

පෙම් පුවතක ආරම්භය

ගාමිණී විවාහය සුදානම් කළේ රහසිගතවය. කැමරා ශිල්පීන් වූ කේ. විලියම් හා සුමිත්ත අමරසිංහටත්, ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයේ නිෂ්පාදක සෝමසිරි පෙරේරාටත් ගාමිණීගේ ළබැඳි මිතුරකු වූ ජයසේන එල්ලාවල යුවළත් මේ විවාහ මංගල්‍යයට සහභාගි වූ සීමිත පිරිස විය. සාක්කිය අත්සන් කළේ කේ. විලියම් හා ජයසේන එල්ලාවලය. විලියම් සහ අමරසිංහ යන දෙදෙනාම කැමරා ශිල්පීන් වුව ද විවාහයක් ගැන නොපැවසූ හෙයින්ම එහි පැමිණ තිබුණේ කැමරාවක් නොමැතිවය. එහෙත් ආරංචිය ලද සැනින් විලියම් වහා කැමරාවක් ගෙන්වා ගෙන ඡායාරූපයක් ලබා ගත්තේය. මේ මුළු විවාහ මංගල්‍යයට වැය වූයේ රු: 23 කි. ඒ විවාහ ලියාපදිංචි ගාස්තුවයි. ඒ වනවිට ගාමිණී ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙහි රඟපාමින් උන්නේය.

ගාමිණී - සුමිත්‍රා විවාහය බොහෝ දෙනාගේ මවිතයට හේතුවක් විය. බොහෝ රසිකයන් සිතා සිටියේ ඒ වන විට ‘රන්මුතු දූව’ චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයේ හිණිපෙත්තට පැමිණ සිටි ගාමිණී එහි පෙම්වතිය වූ ජීවරාණි හා විවාහ වනු ඇති බවය. ගාමිණී - සුමිත්‍රා යුවළ දරුවන් සිව් දෙනෙකුගේ මාපියවරු වූහ. ගාමිණීගේ මුළු ජීවිතයම වූයේ සුමිත්‍රා හා දරුවන්ය. රත්මලානේ සිරිමල් උයනේ කෙකටිය මාවතේ අංක 10 දරණ නිවසේ සිය වාසභවන ඔවුහු ගොඩ නඟා ගත්හ. එහි පසෙක වූ යකඩ ඔංචිල්ලාවේ ගාමිණී - සුමිත්‍රා යුවළ සිය දූ දරුවන් සමඟ එකට සිටිනු එකල නිතර දැකිය හැකි දසුනක් විය. මුලින් විරුද්ධ වුද ගාමිණීගේ මැණියන් සිය ලේලියට දියණියකටත් වඩා ආදරය කරන්න පටන් ගත්තාය.

ජීවිතයේ කිසිවක් සැලසුම් කළ පරිදි සිදු වන්නේ කලාතුරකිනි. දෛවෝපගත සිදුවීම් මඟින් ජීවිතය ගලාගිය ආකාරය වෙනස් වූ බව ඇත්තය. එහෙත් කිසි විටෙකත් සුමිත්‍රා සිය ස්වාමි භක්තිය දශමයකින් හෝ අඩු නොකළාය. තම දරුවන්ට තම පියාගේ උත්තම ගුණ පෙන්වා දෙමින් ඔහු පිළිබඳ ගෞරවය වැඩි දියුණු කළාය. දරුවන්ගේ කිසිදු කටයුත්තක් ගාමිණීට රහසක් වන්නට ඇය ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ පියා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සක්විති රජෙකු බැව් ඈ ඇදහුවාය. පසු කලෙක විවාහ ජීවිතය ඉරිතලා ගිය ද තම අත බැඳි මුදුව කිසි කලෙක ඈ අතෙන් නොගැලවිණි.

ලස්සනම ලස්සන දවසක්

එකමත් එක දවසක මේ මුදුව අහම්බෙන් ගැලවුණ මොහොතේ ඇය ජීවිතයේ නොඇසිය යුතු අවාසනාවන්තම ප්‍රවෘත්තිය ඇසුවාය. ඒ ගාමිණී සදහටම වෙන්ව ගිය පුවතයි. එයට පෙර දවසක ගාමිණී වෙනුවෙන් පැවැති උපහාර උත්සවයකදී වේදිකාවට ගොඩ වුණු සුමිත්‍රා සිය ආදරණීය සැමියාට මල් මාලයක් පැලඳ ඉන් නොනැවතී දෙපා වැන්ඳාය. ගාමිණී සදහටම වෙන්ව ගිය පසු ගත වූ නව වසරක් මුළුල්ලේ ඔහු වෙනුවෙන් දානමය පිංකම් ආදිය නොපිරිහෙළා ඉටු කළාය.

‘ලෝකයේ කාටත් පොදු වූ දෛවය හැම මිනිස් ජීවිතයකටම එබිකම් කරනවා. දෛවය අබිබවා යෑමේ ශක්තියක් අපි කිසිවකු තුළ නැහැ. දෛවය විසින් විටෙක සතුටත්, තවත් විටෙක දුකත්, පරාජයත් මිනිසාට අත්කර දෙනවා. එය හැම මිනිස් සත්ත්වයකුටම පොදු වූ ඉරණමක්. මීට වසර පනහකට පෙර ගාමිණීට මා තුළ තිබූ ආදරය අදත් මා තුළ තිබෙනවා. හෙටත් තිබෙනවා. එදා තිබුණු එයාගේ උතුම් ආදරයට මම වෛර කළේ නැහැ. ගාමිණී මිය යනතුරුම මම එයාට ආදරය කළා. ගාමිණී කිසිම දවසක බොරු කිව්වේ නෑ. කිව්ව දේ හරියටම කළා. දැරූ මතය හරි හෝ වැරැදි වුණත් එකම මතයක සිටියා. මම උදේ සවස ගාමිණීගේ පින්තුරයට දුම් අල්ලනවා. ගාමිණීට හිටිය එකම අවංක බිරිඳ මම. මම මගේ දරුවන්ගේ පියා ලෙස අපේ ආදරය, භක්තිය සදා පවතිනවා. ඔහු කවදත් මගේ ආදරණීය සැමියායි. දෛවය මට ලබා දුන් උතුම්ම සම්පතයි.’

සුමිත්‍රා මිය යන්නට දින කිහිපයකට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර සමඟ කළ සංවාදයකදී කියා තිබුණි. එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන්නේ සුමිත්‍රාවන් පිළිබඳව සමීපව ඇසුරු කළ සියල්ලන්ම එයට සාක්ෂි සපයන බැවිනි. ඇය අතිශය දුර්ලභ ගුණාංග සහිත කාන්තාවක් යැයි පැවසිය යුත්තේ එබැවිනි. පසුගිය ඉරිදා ඈ චමිලා, තනූජා, දමිත් හා ඉරේෂා ඇතුළු දරුවන් ද මුනුපුරු මිනිපිරියන් දස දෙනා ද සමඟ සතුටින් කල්ගත කළාය. බොහෝ අතීත කතා රැසක් එදා ඈ හෙළි කළ තිබිණ. ඒ ආදරයක විචිත්‍ර මතක සටහන්ය. ඊට පසුදා ඇය ඒ කාටත් නොකියා හොර රහසේම සිය ආදරණීය සැමියා හමුවන්නට ගියාය. පුදුමය නම් වසර නවයකට පෙර සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ද මෙලොව හැර ගියේ කිසිවකු නොසිතූ මොහොතකය. කාටත් නොකියාමය. ගාමිණී අපට අග්‍රගණ්‍ය රංගනවේදයක් ඉතිරි කර ගියේය. සුමිත්‍රාවන් අපට ඉතිරි කර ගියේ මේ ඉතිහාසයේ නොකියූ, මිනිසුන් නොලියූ අග්‍රගණ්‍ය ප්‍රේම කතාවකි. ඒ පේ‍්‍රම කතාව සෙසු කතාවලින් වෙනස් වනුයේ එය විවාහයෙන් කෙළවර නොවී ජීවිතයත් සමඟ කෙළවර වූ බැවිනි.

අතීතය සුන්දර ද මෙතරම්

ජීවිතයේ අවසන් හමුව

පිළිරුවට පුෂ්පෝපහාර

තාත්තයි පුතයි අම්මයි

 

චමත්කාර හැන්දෑවක