වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සමනල සංධ්වනියට

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනියේ පුණ්‍යාගේ චරිතය තුළින් යශෝධාගේ රඟපෑම් ඉතාමත් ඉහළ බව පෙන්වයි. අප සිනමාව තුළ නවකයකු වශයෙන් උද්දික ප්‍රේමරත්න වාදීශගේ චරිතයෙන් හොඳ පැහැදිලි අනාගතයක් තිබෙනු පෙනේ. සූර්ය දයාරුවන් ද ඉතා මැනවින් එම චරිතයට සාධාරණයක් ඉෂ්ට කර ඇත.
 

ඉන්ද්‍රාණි ආරියවංශ

කොළඹ 05

හොඳම ආලකමන්දාව

සිංහල සිනමා අම්බරයට පෑයූ රන් පුන් සඳක් මෙන් වූ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ එදා මෙදාතුර සිනමා ගමනේ රස මුසු තැන් රූප රාමුවෙන් රූප රාමුවට පෙළගස්වා තිබුණු අයුරු හරිම සුන්දරයි. මා දුටු හොඳම ආලකමන්දාව එයයි.
 

නීටා මාසලින්

වරාගොඩ

කැලණිය

ස්ථිර කාලයක් දෙන්න

පසුගියදා අපට ලැබුණු කලා පුවත් අතර ප්‍රමුඛත්වයක් ගත් පුවත වූයේ ජයසේකර අපොන්සු කලාකරුවාගේ නවතම චිත්‍රපටය වූ සීතා මං ආවා චිත්‍රපටය කොළඹ සිනමා ශාලා තුළින් ඉවත් කිරිම සම්බන්ධවයි. යම් ආකාරයක මුදල් වියදම් කොට තම නිර්මාණය පාඩු ලැබීම කලාකරුවාට දරා ගත නොහැක. මන්ද ඔවුන් මෙම මුදල් ණයක් ලබා හෝ ඉඩම්කඩම් උගස් කර නිර්මාණයක් එළි දක්වා මෙවැනි දේ වන විට කලාකරුවාට මානසිකව ද පීඩා ගෙන දේ. එම නිසා ඉදිරි දිනයකදීවත් එක් සිනමාපටයක් ස්ථිර කාලයක් තිරගත වීමට අවස්ථාව ලබා දෙනවා නම් හොඳ බවයි මාගේ අදහස.
 

අජිත් ලක්මාල්

මීගමුව

කොහේ ඉඳන් රඟ දෙනවද ෆ්‍රෙඩී ඔයා

මුහුණ දුටුව පමණින් සැම සිනහ වෙන
බලපු සැවොම චරිතය ගැන කතා වෙන
අතින් පයින් නොව මුවඟින් වදන් දෙන
කොතෙක් කතා කෙරුවත් මදි ෆෙ‍්‍රඩී ගැන

රිදී තිරය පාළුයි ඔබ නැතුව සදා
නැවත එවැනි යුගයක් ඇති වේද උදා
සිතේ සතුට ගෙන සිනහව සැමට බෙදා
කොහේ ඉඳන් රඟ දෙනවද ෆෙ‍්‍රඩී ඔයා
 

සමන් ගාල්ලගේ

කැටපළ

දක්ෂතා අගය කළ යුතුයි

කුසලතා පූර්ණ නළුවකු ලෙස ගිහාන් ප්‍රනාන්දු කලාකරුවා හඳුන්වා දිය හැකිය. ඔහු චරිත මඟින් සමාජයේ අඩු ලුහුඬුකම පෙන්වා දීමට උත්සාහ කරයි. ගිහාන්ගේ දක්ෂතා අගය කළ යුතුයි. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සිහින සින්ඩරෙල්ලා හි පලතුරු මුදලාලි චරිතය නිරූපණය කරමින් මුදල් නාස්ති කරන්නන්ට හොඳ පාඩමක් කියා දෙයි.
 

මනහර මහින්ද

බෙලිගල

අංගනා තවමත් අප හදට කතා කරයි

කලකට පසු පුංචි තිරයේ දිග හැරුණු හද සසල කරවන හැඟුම්බර ටෙලි වෘත්තාන්තය අංගනායි. විශ්ව ලංකා, විශ්ව තෙන්නකෝන්, කාවිංග පෙරේරා වටා කතා පුවත දිග හැරුණත් ලකී ඩයස් සහ කමල් දේශප්‍රිය ඉහළම ප්‍රතිභාවක නිරූපණය කරන ලදී.

වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදු වදන අවසානයේ හද තුළට කා වද්දන්නේ අප තුළ පළමුව සැකය දුරු කළ යුතුයි යන්නයි.

ජීවිතේ සුන්දර නව යෞවනය අකාලයේ මරු තුරුලට යාමත් ඉන් ලත් දුක වේදනාව, ශෝකය සදාකාලික වීමත්, සාමය, සමගිය, විශ්වාසය රැකීමෙන් සැමට සාමය, සතුට ලබා ගත හැකියි. අංගනා අප හද තුළට තවමත් කතා කරයි.
 

ජී. ජී. කමල් පද්මලාල්

හුණුපිටිය

සුබපැතුම්!

පුංචි තිරෙත් සිනමාවෙත්
දස්කම් පෙන් වූ නොබියව
ජගත් චමිල නම් ඔබ වෙත
සුබ පතනෙමු දයාබරව
නොපැකිල නොබියව පෙරටම
ඉස්සරහට යන්න ඉතින්
 

අශෝක ගුණතිලක

අම්බලන්තොට

S.M.S.

සීතා මං ආවා සඳහා වියදම් කළ සල්ලි අපරාදේ. හොද නිර්මාණයක් කරන්න තිබුණු සල්ලි අපතේ ගිහින්.
 

සමන් ගාල්ලගේ

කැටපළ

මං ඇහැව්වොත් අහන්නෙ රුවන් හෙට්ටිආරච්චිගේ සිංදු විතරයි.
 

ඉසුරි

යක්විල

කාරුණික ඉල්ලීමයි,
යශෝධරාවත චිත්‍රපටය සඳහා පූජා සහ රොෂාන් රණවනව යොදාගන්න සුනිල් මහත්තයෝ.
 

ලාලිත්‍යා

නිල්පනාගොඩ

ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘මිරිගුදිය’ කලකට පසු මා දුටු හොඳ නාට්‍යයක්.

රත්න කහඳව

අලව්ව

ඔබ මිය ගොස් අවුරුදු විසි දෙකක් ඉක්ම වුවත් ඔබ ගැයූ ගීත තවමත් මිය ගොස් නැත. ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගායකයාණෙනි, නිබඳව ඔබව මතක් වේ.
 

බන්දුල ස්වර්ණ ශ්‍රී

කළුතර

නාලන් මෙන්ඩිස් මහත්තයෝ,
ඔබගේ දූ දරුවෝ, නෑදෑයෝ, සත්පුර වැසියෝ, සූර්ය දරුවෝ, සෙනෙහෙවන්තයෝ, අංගනා යන ටෙලි නාට්‍ය මම නැරැඹුවා. ඔබතුමා මැවූ ඒ චරිත අදටත් හොඳට මතකයි. තව තවත් එවැනිම වූ නිර්මාණ කරන්න.
 

ලක්ෂ්මන්

මාතර

අමිල අබේසේකර දැන් නිවේදන කටයුතුවලින් ඈත් වෙලාද? නිවේදකයකු විදිහට හරිම ලස්සනට කතා කරන අයුරු අපූරුයි. යළිත් නිවේදකයකු ලෙස අප හමුවට එන්න.
 

වත්සලා

චන්දන

අම්බලන්තොට

හිරු නාළිකාවේ පෙන්වන මර්ලින් කතා මාලාව සුපිරියි.
 

තරිඳු

මාතර

‘ආටක නාටක’ ටෙලි නාට්‍ය මාලාවේ කිසිදු හරයක් නැහැ. මොකක්ද එවැනි නාට්‍යවලින් අපට ඇති පලේ.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

මොකද මේ අලුත් නිළියෝ නිතරම ගහගන්නේ. ඉස්සර නම් මේ වගේ කතන්දර අහන්න ලැබුණේ නැහැ.
 

රසිකා

වත්තල

සන්ෆ්ලවර් තමයි තවමත් ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම. කවුරු සන්ෆ්ලවර් දාලා ගියත් නීල් සහ නෙල්සන් වාස් හිටියොත් අපට ඇති.
 

ගාමිණී

වවුනියාව

උරේෂා රවිහාරි මේ පුංචි මවුබිමේ පිනකට උපන් කලාකාරිණියකි.
 

දිල්හානි

කඩුවෙල

රුවක් ඇඳනවා කවුදෝ එනවා.
එසේ කියුවද ඔබ රුව අද එන්නේ නැත. ඉතිරි කළ කටහඬ මසුරන් තරමට වටී. ගුණදාස කපුගේ මේ රටේ රන් හඬයි.
 

මුතු

දිගන

ගුවන් විදුලි නාළිකාවන්හි ප්‍රචාරය වන ගීතයන්හි පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන් කියන්නේ නැත්තේ ඔවුන් ඒ ගැන දන්නේ නැතුව ඇති.
 

රුවන්

තිස්සමහාරාමය

ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් සූරීන් ගැන නොදන්නා ගායකයන් ලංකාවේ සිටිති. ඔවුන් ගැන කනගාටුයි.
 

මිහිරාණි

කිරිල්ලවල

‘හද හඬනා නිහඬ රැයේ’ ගීතයෙන් පසුව නිමල් රන්ජිත්ගෙන් එවන් වූ හැඟුම්බර ගීතයක් අහන්න ලැබුණේ නැහැ. මෑතකදී නිකුත් කළ ගී ටිකක් වේග රිද්මයට බරයි. අර වගේ ගීතයක් ඔබෙන් අපි බලාපොරොත්තු වෙමු.
 

සුබා

මාකොල

මැද ගෙදර නාට්‍යයේ මුතු තරංගාගේ රංගනය ගොඩක් දියුණු මට්ටමක තියෙනවා. කෙසේ නමුත් ‘සිදංගනා’ නාට්‍යයේ හොල්මනක් ලෙස ඔබ මැවූ චරිතය අදටත් මට මතකයි.
 

ලක්මාලි

වරකපොළ

නිල් නෙතු ටෙලි සිතුවම පළමු අදියර අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්නගේ ටෙලි සිතුවමක් මේ වන තෙක් අප නොදුටුවෙමු. දෙපත් නයි, පූජා, කුරුලු පිහාටු වැනි නිර්මාණ යළිත් අප වෙනුවෙන් කරන්න.
 

මාලනී

වතුරගම

මුතු පලස සැබවින්ම මුතුවන් ටෙලි නාට්‍යයකි. කාලයකට පසු පවුලේ සැම එකට එකතු වී ටෙලි නාට්‍යයක් නැරැඹුවේ මුතුපලස නිසයි. එහි අධ්‍ය්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා ඇතුළු මුතුපලසේ මුතු අමුණන්නට එකතු වන්නා වූ සැමට මාගේ ප්‍රණාමය.
 

සුනිල් කරවිදෙණිය

මාතලේ

රෝස දෙතොළින් ලියනා ආදරේ කවි තහනම්
කොහොම කිව්වත් ඔබ ගයන ගීත අපට තහනම් නැහැ. ජූඩ් රොගෑන්ස් ඔබටයි මේ ආදරණීය සටහන.
 

නයනා

වත්තල

ඩිනක්ෂි ප්‍රියසාද් සිනමාවට එක්වන ‘ඩබල් ට්‍රබල්’ සිනමාපටය ලොකු ආදර්ශයක් අපට ලබාදෙයි. සිනමාවේ කඩා වැටීමට මූලිකම හේතුව එවැනි චිත්‍රපට නොමැතිකමයි.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

හිරු නාළිකාවෙන් විකාශය වන අලුත් චිත්‍රපට පෙළ හරිම රසවත්. චැනල් එකකින් විය යුතු සේවාව හිරු මඟින් අපූරුවට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉෂ්ට කරනවා.
 

වෙනුර පෙරේරා

අඹතලේ

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව එවීමට අප ලබා දී ඇති අංකයට ප්‍රතිචාර එවද්දී එහි අගට එවන තැනැත්තාගේ නම සඳහන් කරන්නට මතක තබා ගන්න.

0752805047 මේ ප්‍රතිචාර කෙටි පණිවුඩ එවිය යුතු අංකයයි.

ප්‍රතිචාර ‘සරසවිය’, ලේක්හවුස්, කොළඹ 10

ලිපිනයට ඔබේ තැපැල්පත් සහ සටහන්පත් එවිය හැකිය.