වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සේද මාවතේ මුතු ඇටය වෙත ඔබත් එනු මැනවී

සේද මාවතේ මුතු ඇටය වෙත ඔබත් එනු මැනවී
 

ලොවක් හමුවන රටක් නැළැවූ ගීතය

මහා කරුණා උතුරනා
ගල් කුළෙන් මෙත් වැගිරෙනා
ලොවක් හමුවෙයි අපේ ලක් දේසේ
සත්කාරයට නම් දැරූ
ඇතුන්ටත් පාවඩ එලූ
දේශයයි මේ මහා සත්කාරේ

මහා කරුණා සිනා ගඟුලෙන්
පොදක් බොනු මැනවී
සේද මාවතේ මුතු ඇටය වෙත
ඔබත් එනු මැනවී //

ගව් දහස් දුර සොයා මෙහි ඇදෙනා
සියොතුනුත් මේ දැයේ සුව දනිතී
අසා සිටියොත් උන්ගෙ ගී නාදේ
දේශයම කෙම් බිමක් බව ගයතී

රැයේ ඉඳි කටු පානේ ගෙතවෙන්නේ
අපේ හදවතේ සොඳුරු ගෙත්තම වේ
දෝතියත් පිරුවටෙත් පත් කටයත්
එකම හුයකින් වියූ බව දැනවේ

මහා වේද මහා නැව් තොටත් සැදිලා
ගම් දොරත් මහ පුරවරත් නැගිලා
කවි ගීත මහ වන්නම් ද බැඳිලා
පෙර මඟට මල් පියවිලිත් ඉසිලා

මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භය පසුගිය දා සිදු කෙරුණා. එහි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුව ලබන 16 සහ 17 දෙදින කොළඹ දී පවත්වන්නට නියමිතයි. ‘ලොවක් හමුවන රටක්’ යන්න තේමාව කරගනිමින් අභිමානවත් අයුරින් පැවැත්වෙන මෙවර සමුළුව වසර ගණනාවකට පසුව අපට හිමිවන සුවිශේෂී අවස්ථාවක්. මේ වෙනුවෙන් වූ සියලු කටයුතු අතරේ රටේ අභිමානය ලොවට කියන්න මේ අපූරු තේමා ගීතය පබැඳුනේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම මහතා අතින්. එහි රසය ‘සරසවිය’ පාඨක ඔබ වෙත ගෙනෙන්නට අපි එතුමා හමුවන්න තීරණය කළා.

ප්‍රථමයෙන්ම මේ සුවිශේෂී ගීත නිර්මාණයේ ආරම්භය ගැන දැන ගන්නට කැමතියි?

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 57 ක් සහභාගි වන පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනය පැවැත්වෙන මේ මොහොතේ අපේ රටේ ජනතාවට රට ගැන හැඟීමක් ඇති කරන ආකාරයේ ගීතයක් නිර්මාණය කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය වෙලා තිබුණා. මේ කටයුත්ත සැලසිනේ ආයතනය විසින් ඔරිජින් නම් දැන්වීම් හා ප්‍රචාරණ ආයතනයට බාරදීලා තිබුණේ.

ඒ අනුව කෙරුණු ඉල්ලීමකට අනුව තමයි මේ ගීතය ලියැවුණේ.

අපේ රටේ මීට පෙරත් මෙවැනි විශේෂ අවස්ථාවල ගීත නිර්මාණය කෙරුණා. එම ගීත අතර වූ සමහර ගීතයන් ඒ අදාළ අවස්ථාවෙන් පසුවටත් ජනපි‍්‍රය ගීත ලෙස පැවතුනා. මහවැලිය පොල්ගොල්ලෙන් හරවන වෙලාවේ විශේෂ ගීතයක් එදා මහගම සේකරයන් අතින් ලියැවුණා. මහවැලි ව්‍යාපාරය ගැන කියැවෙන ‘සිරිපද ලස සමනොළ සිරිසේ’ ගීතය එයින් ඔබ්බට ගොස් අදටත් රසවිඳින ගීතයක් බවට පත්වෙලා තියෙනවා. මේ අවස්ථාවේදීත් අපට අවශ්‍ය වුණේ එවැනි ගීතයක්. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසන් වුණත් මේ ගීතයේ රසය ඉදිරියටත් විඳින්න පුළුවන්.

අපේ රට පිළිබඳ අපූරු කතාන්දරයක් මෙයින් කියැවෙනවා?

ඔව්, ඇත්ත වශයෙන්ම අපේ රටේ වටිනාකම ගැන කියැවෙන ගීතයක් නිර්මාණය කරන්න තමයි අවශ්‍ය වුණේ. එහිදී මූලිකම කාරණාව වුණේ අපේ රටේ ජනතාව ආගන්තුක සත්කාරයට පි‍්‍රයමනාප පුද්ගලයන් කියන එකයි. මම මේ ගීතය ආරම්භ කළේ එතැනින්. අපේ මුදුන් මල්කඩ දළදා වහන්සේ වැඩමවන ඇතා වෙස් නැට්ටුවන් පෙරටුකර ගනිමින් දෑලේ ඇතුන් සමඟ පාවඩ මතින් පැමිණෙන්නේ ඉතාමත් අභිමානයකින්. අතීතයේ සිට අද දක්වාම දළදා පෙරහර කරඬුව වඩම්මවන ඇතා මේ පාවඩයෙන් පිට පය නොතබන බව ප්‍රවාදයක් පවා තියෙනවා. මේ උතුම් කාර්යයේ යෙදෙන ඒ ඇතාට පාවඩ එළන්නේ අපේ මිනිසුන්. එය අපේ මිනිසුන්ගේ උදාරතර බව කියාපානවා. එය වදනට පෙරළන්න මට අවශ්‍ය වුණා.

‘ඇතුන්ටත් පාවඩ එලූ
දේශයයි මේ මහා සත්කාරේ’ යන වදන් පෙළෙන් එය පැවසෙනවා. ඒ වගේම තමයි ආගන්තුක සත්කාරය අතිනුත් අපේ රට ඉහළම තැනක තියෙනවා.

මේ හැම දෙයක් වගේම දැනට වසර දහස් ගණනක සිට විවිධ සංචාරක පක්‍ෂීන් පවා අප රටට පැමිණෙනවා. අපේ රටේ කුරුලු දඩයක්කරුවන් නැහැ. තමන් ආරක්‍ෂාකාරී බව උන් දන්නවා. එය පුදුමයක් නොවෙයි. ඒ වගේම අතීතයේ සිටම විවිධ ජාතීන් ශ්‍රී පාදය කරුණා කරනවා. එය අපි හැමෝගේම උරුමයක්. යුරෝපය හා චීනය අතර වූ සේද මාවත අපට සුවිශේෂ සන්ධිස්ථානයක්. තව මීට අමතරව අපේ රටේ වූ දැවැන්ත සංවර්ධනය ආදී සියල්ලක්ම මෙහි කැටිකොට තියෙනවා.

මෙහි රූප රචනයත් ඒ වගේම සුවිශේෂයි?

මෙහි ගී තනුව යෙදුවේ රුවන් වල්පොල. දේශීය වගේම බටහිර සංගීතය මුසු තනුවකට අනුව තමයි මෙම ගීතය නිර්මාණය වුණේ. අපේ රටේ ප්‍රවීණ, දක්‍ෂ ශිල්පීන් රැසකගේ හඬ දායකත්වය මෙයට ලැබී තියෙනවා. ඒ වගේම මෙහි රූප රචනයත් සුවිශේෂයි. පොළෙන්නරුව, ශ්‍රී පාදය, කොළඹ වරාය, ගාල්ල, හම්බන්තොට වැනි ප්‍රදේශවල රූගත කිරීම් සිදු කෙරුණේ. මුළු රූප රචනය පුරාම සිනහව රඳවා ගැනීම තමයි විශේෂ වුණේ. ඒ වගේම දරුවන් සහ තරුණ පරම්පරාව මෙහි ප්‍රධාන වුණා. ඔවුන් මඟින් මෙම හැඟීම් දැනවීම වඩාත්ම උචිතයි කියලා මම විශ්වාස කරනවා.

අපේ රට ගැන අභිමානය, ආදරය වර්ධනය කිරීම තමයි මෙහි මූලික අරමුණ වුණේ. අපේ ජනතාව ආගන්තුක සත්කාරයෙන් අනූන කරුණාවන්ත. පිරිසක් වගේම රටේ එකමුතුව දනවන එකත් ඒ පරමාර්ථයට ඇතුළත්. මේ ගීතයට අපේ රටේ මවු භාෂාව වගේම දමිළ භාෂාවත් අඩංගු කරලා තියෙනවා. ජාතීන් අතර එකමුතුවට එය විශේෂ වෙනවා. ඒ වගේම දශක තුනක් පුරා පැවැති යුද්ධය නිමාකර ලද නිදහස කියා පෑමත් මේ අතර වෙනවා. අදවන විට පවතින සාමකාමී තත්ත්වය නසා තමයි මෙවැනි රාජ්‍ය නායක සමුළුවක් පවත්වන්න අවස්ථාව ලැබෙන්නේ කියන කාරණාවත් මෙයින් තහවුරු කෙරෙනවා සේම එහි ඇති වැදගත් කමත් මේ තුළින් මනාව පිළිබිඹු කෙරෙනවා.