|
හෙට දවස ගැන අපි කාටවත් කියන්න බැහැ
කටකතා ගැන ගයත්‍රි ඩයස් කියයි
කටකතාවලට නිජබිම වූ කලා ලොවේ කලින් කලට විවිධ කටකතා පැතිරෙති. පැතිර යන ඒ සමහර කට කතාවලට මූලික පදනමක් ඇති අතර, සමහර කටකතා එවැනි පදනමක් නැතිව ද පැතිර යන අවස්ථා තිබේ. එලෙස මෙවර කටකතාවකට ලක්ව ඇත්තේ කලා ක්ෂේත්‍රයෙහි ජනප්‍රිය රංගන ශිල්පී යුවළකි. ඒ චන්න හා ගයත්‍රිය. ඔවුන් එකිනෙකා වෙන් වන්නට යන බවට ඇසුණු කටකතාව සත්‍යය දැයි අපි ගයත්‍රිගෙන් විමසුවෙමු.
* ඔබ දෙපළ සම්බන්ධයෙන් පැතිර යන කටකතාව ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? මේ පැතිර යන කට කතාව ගැන නම් මට මුකුත්ම කියන්න බැහැ. ඒවා ප්‍රචාරය කරන අයම තමයි ඒ ගැන වඩාත් හොඳට දන්නේ. මමත් අනෙක් අය වගේ ඒවා බලනවා.
* මේවා ප්‍රචාරය කරන මාධ්‍ය පිළිබඳ ඔබ දරන්නේ මොනවගේ අදහසක්ද? කටකතා වැඩිපුරම ගෙතෙන්නේ වඩාත් ජනප්‍රිය පුද්ගලයන් වටායි කියන කාරණය මා විශ්වාස කරනවා. ඒ වගේම කටකතාවලට ලක්වීම ගැනත් මට නම් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ කටකතා වැඩිපුරම ප්‍රචාරය කරන්නේ වෙබ් අඩවියි. ඒ වෙබ් සයිට් නිතරම කරන්නේ අනුන්ගේ දෙයක් සොයාගෙන ඒවා ප්‍රචාරය කරලා තමන්ගේ ජීවන වියදම සොයා ගැනීමයි. ඒක නිසා අපිව විකුණලා හරි කමක් නෑ, ඔවුන් ජීවත් වෙන්න මුදල් සොයා ගන්නවා නම්.
* මේ විදියට වැරැදි අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔබට නඩු මඟට පිවිසිය හැකියි නේද? එහෙම නඩු දාන්න නම් මගේ කිසිම අදහසක් නැහැ. ඒ අයට විරුද්ධ නඩුවක් දමලා ගන්න වන්දියේ මුදල්වලින් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. අඩුම තරමින් ඒ විදියට ගන්න සල්ලිවලින් මට ටොපියක්වත් කන්න බැහැ. ඒවගේ වැරැදි විදියට හොයන සල්ලිවලින් මට වැඩක් නැහැ.
* ඔබ පිළිබඳ සත්‍ය සිදුවීම සමහර අය දැනගත්තත්, බොහෝ දෙනෙක් දන්නේ නැති තරම්. ඒ නිසා මේ වගේ කටකතාවකින් ඔබගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා නේද? මේ කතාවලින් මගේ ප්‍රතිරූපයට හානියක් සිදු වෙනවා තමයි.ඒ වගේම මේ වගේ කටකතා හැදුණේ අපට විතරක් නෙමෙයි කියලත් කියන්න ඕනෑ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් නිතර සිද්ධ වෙනවා.අනිත් එක ප්‍රතිරූපය කියලා මම විශ්වාස කරන්නේ, අප ජීවත්වන වටපිටාවටයි. මගේ පවුල, ගෙදර, නෑදෑයන්, යාළු - මිත්‍රයන්ට මං ගැන කිසිම ගැටලුවක් නැත්නම් එතනින් එහාට මට සමාජය ගැන හොයන්න ඕනෑකමක් නෑ. මේ සමාජයේ ඉන්නේ අපට දැඩි සේ ආදරය කරන අයට වඩා වෛර කරන අයයි. අපි දිහා ක්‍රෝධයෙන්, තරහෙන්, ඉරිසියාවෙන් බලන අයයි. මම ගොඩක් වෙලාවට ඒ අයට අනුකම්පා කරනවා. අනික් එක මම ඕනෑම කෙනෙක් එක්ක සුහදව සිනා වෙලා ඉන්න කෙනෙක්. කවුරු හරි මගේ මුහුණටම ඇවිල්ලා ගහලා ගියත් මං ඒ අයට ගහන්න යන්නේ නෑ. ඔන්න මට ගෙදරින් ප්‍රශ්නයක් තිබෙනවා නම් තමයි මම දුක්වෙන්නේ.
* ඔබ ළමයි සිටින මවක්. ඔබට විරුද්ධව යන මේ කටකතා ඒ අයටත් බලපානවා නේද? ඇත්තටම දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එයාලට පොඩි අසාධාරණයක් වෙනවා. නමුත් මම හිතන්නේ ගෙදර වටපිටාව මොන වගේ ද කියලා ඔවුන් දන්නවා. ඒ නිසා, පිටතින් ඇහෙන දේවල් ගැන ඔවුන් ඔළුවට ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ නිසා එයාලගෙන් මට ලොකු අවුලක් නෑ.අනික් කාරණය වෙන්නේ මගේ බබාලා තාම පොඩියි. ඒ අයට ලොකුවට මේ දේවල් ගැන තේරෙන්නේ නෑ. ඒ නිසා කොහොමත් ගැටලුවක් නෑ.
* සැමියා මොකද මේ කටකතාව පිළිබඳ කියන්නේ? ඔහුත් මම වගේමයි. ඔහුත් මේ දේවල් ගැන හිතන්නේ නෑ. අඩුම ගණනේ මේ දේවල් පිළිබඳ කිසිම දෙයක් අපි ගෙදර කතා කරන්නේවත් නෑ.
* ඔබගේ සැමියා පිළිබඳත් විවිධ කටකතා පළ වුණා. ඒ කටකතා සම්බන්ධයෙන් ඔබ දරපු මතයම ද ඔහුත් කටකතා සම්බන්ධයෙන් දරන්නේ? ඔය කටකතා අවුරුදු දහයක් තිස්සෙමනේ ඇහෙන්නේ. ඒ නිසා මට ඕවා අමුතු දේවල් නෙවෙයි. මේ වෙබ් සයිට් වගේම සමහර පත්තර ඔය කතා ගැන මහ ලොකුවට කතා කළාට මට නම් ඒවා ලොකු දේවල් නොවෙයි. ඒ කතා නිසා මගේ ජීවිතයේ කිසිම දවසක වෙනසක් නම් සිදු වුණේ නැහැ.
* ජනප්‍රියත්වය අඩු වෙන බොහෝ දෙනා තමන්ම අනෙක් අයගේ අවධානය ගන්නත් මේ වගේ කටකතා පතුරුවන්න අද පෙලඹිලා නේද? එහෙම කරන්න අපට කිසිම දවසක ප්‍රචාරයේ අඩුවක් වෙලා තිබුණේ නැහැ නේ. ඒ වගේම කිසිම දවසක මම ප්‍රසිද්ධිය පස්සේ යන කෙනෙකුත් නෙවෙයි. එහෙම නම් මට ඔය කතා කරන හැම ටෙලි නාට්‍යයකටමත් යන්න තිබුණා. ජීවිතයේදී මම සාමාන්‍යයෙන් මට අවශ්‍ය මුදල් සොයා ගන්න අවශ්‍ය ප්‍රමාණයට පමණක් වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම ඕනෑවට වඩා ජනප්‍රියත්වයක් අපේක්ෂා කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේ දෙයක් සඳහා කටකතා පතුරුවා ගන්න තරම් මට අඩු මානසිකත්වයක් නෑ.
* මේ යන ප්‍රචාරයට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද? විශ්වාස කරන්න, අද වෙනතුරුත් කිසිම රසිකයෙක් මගෙන් ඔය ප්‍රශ්නය පිළිබඳ අහලා නැහැ. ක්ෂේත්‍රයේ ඉන්න කිහිප දෙනෙක් මේ ගැන හොයලා බැලුවා. මම කොහොමත් පත්තරවලට බොරු දේවල් කියන්න කැමැතිත් නැහැ. අපට මොන දේ වුණත් ඒක කාගෙවත් ප්‍රශ්නයක් කරගන්න ඕනෑ නෑ කියන මතයේයි මම ඉන්නේ. මගෙන් කවුරු හරි ප්‍රශ්න කළොත්, මට අහන්න තිබෙන්නේ මේ වගේ දේවල් ඔයගොල්ලන්ගේ ගෙවල්වලත් සිද්ධ වෙලා නැති ද කියලා විතරයි.
* මේ වගේ කටකතා නිසා ඔයාට රසිකයන්ගේ හිත්වල තියෙන ආදරය අඩුවන එකක් නැද්ද? මම හිතන්නේ රසික – රසිකාවන් කියන්නේ අප කරන කලා කටයුතුවලට ආදරය කරන පිරිසක් මිසක්, අපේ පෞද්ගලිකත්වය අවශ්‍ය කරන පිරිසක් නෙවෙයි. අපටත් පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවා. හැමෝටම තමන්ටම කියලා ජීවිතයක් තිබෙනවා. හරියටම කිව්වොත් ඒ ජීවිතයේදී ඕනෑම කෙනෙකුට ඇඟිලි ගහන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. දරුවකුට වුණත් මගේ ජීවිතයේදී දැනගත යුතුª ප්‍රමාණයක් තිබෙනවා. මව්පියන්ටත්, සැමියාට වුණත් කෙනෙකුගේ ජීවිතයට යා හැකි ප්‍රමාණයක් තිබෙනවා. රසිකයාටත් මෙය පොදුයි. ඔවුන් හොඳටම ඒ ප්‍රමාණයේ හිටියා නම් ඇති කියලයි මම නම් හිතන්නේ.
* ඒ කියන්නේ මේ නැඟෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔබ ඇතුළු සියලු දෙනා සතුටින් ඉන්නවා කියන එකද? අපි එක ගෙදරක හොඳින් ඉන්නවා. ගොඩක් අයට දැන ගන්න තිබෙන ප්‍රශ්නයත් ඕකයි. නමුත් හැම තිස්සේම කියන්න ඕනෑ දෙයක් තිබෙනවා. ඒ ජීවිතයේදී අද දවසේ අපි හැම කෙනෙක්ම ඉන්න පුළුවන්. හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒත් හෙට දවස ගැන අපි කාටවත් කියන්න බෑ. මොකද හෙට මැරෙයි ද කියලා අපි කවුද දන්නේ.
* ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඔබ දෙපළම අවබෝධයෙන් ද ඉන්නේ? ජීවිතය කියන දේ වෙන් වෙන් වශයෙන් තේරුම් අරගෙනයි අපි ඉන්නේ. මම තේරුම් ගත්ත ප්‍රමාණයම එයා තේරුම් අරගෙනද ඉන්නේ කියන එක නම් මම දන්නේ නෑ. මම දන්නේ මම ගැන පමණයි. මට කෙනෙක්ගේ ජීවිතයේ පේන ප්‍රමාණයක් තිබෙනවා. ඇතුළාන්තයේ තව ප්‍රමාණයක් තිබෙනවා. අපි හැම තිස්සේම කතා කරන්නේ ඒ පේන ප්‍රමාණයේ ඉඳලයි. එහෙම වුණාම අපට කියන්න බැහැ දෙන්නම ඉන්නේ හොඳින් ජීවිතය තේරුම් අරගෙන කියලා.
* ඔබ ඔය කියන්නේ සැමියා බිරිඳ ලෙස, ඔබ සැමියා තේරුම් අරගෙන ජීවත්වන කෙනෙක් නොවෙයි කියලද? මම හිතන්නේ නෑ කිසිම බිරිඳක් හා සැමියෙක් තමන්ගේ බිරිඳ හා සැමියාව තේරුම් අරගෙන ඉන්නවා කියලා. මම නම් ඔහුව සීයට සීයක්ම තේරුම් අරගෙන නෑ.
|