වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




බැරි වෙලාවත් කොකා ගැස්සුවා නම් ක්ලීටස් ඉවරයි

බැරි වෙලාවත් කොකා ගැස්සුවා නම් ක්ලීටස් ඉවරයි

පියතිලක අතපත්තු

පියතිලක අතපත්තු ගැන මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වුණේ මල්දෙවැට ටෙලි සිතුවමේ ආරක්ෂක නිලධාරී චරිතය නිසා. ඒ වගේම සරා, හිරුමලී යන ටෙලි සිතුවම් හි ඔහු මැවූ චරිත ද ප්‍රේක්ෂකයන්ට අමතක වන්නේ නම් නැහැ. පියතිලකව පුංචි තිරයෙන් දකිද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහු හොඳට දැකලා පුරුදු රංගන ශිල්පියකු කියා.

ඔව්. පියතිලක කාලයක් සිංහල සිනමාවේ කැපී පෙනුණ සිනමා සටන් නළුවෙක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔහු රිදි තිරයෙන් මෙන්ම රංගනයෙන් ද ඈත්වුණා.

පියතිලක අතපත්තු යළි රංගනයට පිවිසියේ මා ඉහත සඳහන් කළ ටෙලි සිතුවම් හරහා. ආයෙ මොන බාධක ආවත් රඟපෑම අත් නොහරින බව ඔහු අපිත් එක්ක කිව්වා.

පෞද්ගලික හේතූන් මත ජනපි‍්‍රයත්වයේ ඉහළ තැනක ඉන්නකොටයි මං රංගනයෙන් ඉවත්වුණේ. ආයෙ එහෙම වෙන්නෙ නැහැ.

* ඔබ රඟ පෑ චිත්‍රපට ගැන දැනගන්නට කැමැතියි?

සඳකඩපහන සිනමා පටයෙනුයි මං ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඊට පසුව ඔබට දිවුරා කියන්නම්, සටන, දිනුම, ජය අපිටයි ඉන් කිහිපයක්. නළුවකුට හිමිවන විරළ අවස්ථා කිහිපයක්ම මට ලැබුණා. ඒ අමෙරිකා සහ පාකිස්ථාන් චිත්‍රපට වලට සම්බන්ධවීමට අවස්ථාව ලැබීම. කී, බිජිලීනා මං රඟපෑ පාකිස්ථානු චිත්‍රපට. අමෙරිකන් චිත්‍රපට වනුයේ සන්ඩ් ඕෆ්, කැන්.

* තන්හා ආශා චිත්‍රපටයේ විජය කුමාරණතුංගයන් වෙනුවට ඔබ රඟපෑවා කියන්නෙ ඇත්තද?

ඔව්. ඒ චිත්‍රපටය භාගයක් කරද්දි එතුමා වියෝවුණා. ඉතින් මට තමයි රඟපාන්න අවස්ථාවක් ලැබුණේ. විජය කුමාරණතුංග නම් අසහාය නළුවා කළ චරිතයක් කරන්නට ලැබීමත් භාග්‍යයක්.

* චිත්‍රපට ගණනාවකම ඔබ සටන් නළුවෙක් විදිහට රඟපෑවා. ඒවා කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නෙ?

එක චිත්‍රපටයක මං ජීවන් කුමාරතුංගත් එක්ක ෆයිට් කළා. අන්තිමේ මගෙ අත පිපිරුවා. ඒක ගණන් ගත්තේ නැහැ.

දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටය කරන්න ගිහින් තමයි මරු වැඩක් වුණේ. හැබැයි ඒක එහෙම සිද්ධ නොවුණ නිසා අද මෙහෙම ඒ සිද්ධිය ගැන කියන්න පුළුවන්. මට තිබුණා ක්ලීටස් මෙන්ඩිස්ට වෙඩි තියන්න. ඇත්ත පිස්තෝලයක් තමයි භාවිත කළේ. මං නිකමට එකේ උණ්ඩ තියනවද කියලා චෙක් කරලා බලද්දි ඇත්තම උණ්ඩ දෙකක් ඒක ඇතුළේ. බැරිවෙලාවත් සීන් එක ඇතුළෙ කොකා ගැස්සුවා නම් ක්ලීටස් මෙන්ඩිස් ඉවරයි. ඔහුගේ වාසනාවට එහෙම වුණේ නැහැ. එදා මං හොඳටම බයවුණා.

* ඔබ රඟපාන්න ඇති ආසාව නිසාම සෑහෙන්න කට්ට කාලා තියනවලු?

සම්පූර්ණ ඇත්ත. මට වෙලාවක් දීලා එන්න කියලා කිව්වොත් මං ඊට කලින් දවසෙයි යන්නේ. එහෙම ගිහින් හිස් අතින් හැරිලා ආව අවස්ථා එමටයි. අද නළුවන්ට එවන් වූ කැප කිරීමක් කරන්න අමාරුයි. ඒකයි ක්ෂේත්‍රය පිරිහිලා තියෙන්නේ.

* රංගනයට අමතරව කැමරාව පිටුපසින් ඔබ සක්‍රීය චරිතයක් වෙලා තියනවා?

ඔව්. ඔබට දිවුරා කියන්නම්, යුක්තියට වැඩ සහ සිනාසෙන්න රත්තරං වැනි චිත්‍රපටවල නිෂ්පාදන කළමනාකරුවකු විදිහට වැඩ කළා.

* මේ දිනවල කොහොමද ඔබේ කලා කටයුතු?

චන්දන එදිරිසිංහගෙ වීණාවි නාට්‍යයේ ෂුටිං. නව පරපුරේ රංගන ශිල්පියකු වන අකිල සඳකැළුම් තමයි එහි පිටපත ලිව්වෙ. බොහොම ලස්සන කතාවක් ඒක. මං වීණාවි හි මුදලාලිගෙ චරිතය රඟපනවා. මේ දිනවල එහි ෂුටිං.

* ඔබට ලියන්න පැරැණි රසික රසිකාවන් තවම බලාගෙන ඇති?

අංක 66 අදියර, අත්තිඩිය, ගල්කිස්ස මගෙ ලිපිනයයි. 072283255 මේ මගේ දුරකතන අංකය.