වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවීණයෝ කුහකකම වපුරද්දී ගැහැනු නිරුවත් වෙනවා

ප්‍රවීණයෝ කුහකකම වපුරද්දී ගැහැනු නිරුවත් වෙනවා

ලක්ස් - දෙරණ සම්මාන උළෙලේ හොඳම නර්තන අධ්‍යක්ෂ

සම්මානයෙන් පිදුම් ලත් චන්දන වික්‍රමසිංහ සමඟ සෘජු කතාබහක්

චන්දන තුරු වියලක් යට දැනෙන සිහිලස තරමටම ඔහුගේ රංගන විලාශය අප නෙතට ගෙන දෙන්නේ සිසිලක්. ලංකාවේ නර්තනය ලොව පුරා ප්‍රචලිත කරවන්නට දරන උත්සාහය නිසාම ලෝකය පුරා නැටුම සොයන පිරිස් ඔහු හොඳින්ම හඳුනනවා. දිනෙන් දින අලුත්වන නර්තනයේ විවිධ ඉසව් හොඳින් ස්පර්ශ කරමින් ද, දේශීය නර්තනය සමඟ ඒ නව නර්තනය සංකලනය කරමින්ද ඔහු කරන නිර්මාණ ඉතාමත් සුන්දරයි.

ආදරණීය වස්සානය චිත්‍රපටයෙන් චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට පිවිසි චන්දන ඉන් අනතුරුව අබා චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂවරයා ලෙස ලෝක අවධානයට පාත්‍ර වූයේය. මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නර්තන අධ්‍යක්ෂවරයා ලෙස චන්දන කිරුළ තමාගේ කරගත්තේ කුස පබා චිත්‍රපටය තුළ ප්‍රකට කළ නිසඟ හැකියාව නිසාමය.

මේ ඒ සම්මානානීය චන්දන සමඟ කරනු ලබන කතාබහකි.

ලංකාවේ පළමුවන නර්තන අධ්‍යක්ෂණයට හිමි සම්මානය දැන් ඔබ ළඟ . . .?

ඔව්. නිහතමානීව සතුටක් දැනෙනවා. සම්මානනීය වෙන්න නිකං බැහැ. ඒකට දක්ෂතාවය වගේම උත්සාහයත් අවශ්‍යයි. මා හිතනවා මා මේ සියලු ගුණ පිරූ නර්තන අධ්‍යක්ෂවරයෙක් කියලා. අබා හරහා ජැක්සන් ඇන්තනි මහත්මයා ඒ වෘත්තීය ගරුත්වය මට ලබා දුන්නා. ඒ ලබා දුන් ගෞරවය මම හැමදාම රැක ගත්තා. කොතරම් කටයුතු තිබුණත් මම නිර්මාණ වෙනුවෙන් ඉතාමත් වෙහෙසුන කෙනෙක්. ඒ බව මගේ නිර්මාණවලට දායක වුණු අය දන්නවා. ප්‍රථම වතාවට සම්මාන උළෙලකදී නර්තන අධ්‍යක්ෂවරුනට හිමි සම්මානය ලැබීම සතුටක්.

ඔබ ලොවම හඳුනන නර්තන අධ්‍යක්ෂවරයෙක්. නමුත් සිනමාවට ඔබ එක්වන්නේ මෑත ඉතිහාසයේ?

ආදරණීය වස්සානය, අබා, සිරිදළදාගමනය වගේ දැවැන්ත නිර්මාණවලට තමයි මට දායක වෙන්න ලැබුණේ. ඒ පිරිස් එක්ක කටයුතු කරීමේදී අපි හොඳ අදහස් ගනුදෙනුවක යෙදුණා. මෑත ඉතිහාසයේ එක් වුණත් මා එක් වුණේ දැවැන්ත නිර්මාණ සමඟ.

මේ දිනවල අජාසත්ත චිත්‍රපටය සමඟ කටයුතු කරනවා. ඒකත් ඉතාමත් වෙනස් කටයුත්තක්. මේ හැම දේම මට ලැබුණු හොඳ අභියෝග. ඒ අභියෝග ජය ගත්තේ මහන්සියෙන්.

ඉතිහාස කතාන්දර කියන්නේ නර්තන ශිල්පියකුට ලබා දෙන අවධානමක්?

ඔව්. කාලය ගැන ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මා දැකලා තියෙනවා ඇතැම් ඉතිහාස කතාන්දර පදනම් වූ චිත්‍රපටවල නූතන පද නටනවා. එහෙම වෙන්නේ කොහොමද? මේ කාලයේ තිබෙන නැටුම් ක්‍රම බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණේ නැහැ. ඉතිං චිත්‍රපටය මේ කාලේ හැදුණා කියලා කොහොමද ඉතිහාස චිත්‍රපටවලට ඒ නැටුම් එකතු කරන්නේ. මේ හැම දේම ගැන නර්තන අධ්‍යක්ෂවරයා ඉතාමත් අවබෝධයෙන් සිටිය යුතුයි.

අද ලංකාවේ නර්තනය ලෝකයේ කොතැනද තිබෙන්නේ?

චිත්‍රපටවලට සංගීතයට පෙර මුලින්ම ලංකාව ලෝකය හමුවට සෞන්දර්යය ගමනක්යන්නේ නැටුම හරහා. අදටත් ලෝකයේ නැටුම හදාරණ, නැටුමට ආදරේ කරන පිරිස් ලංකාවේ නැටුම ඉතාමත් ඉහළින් තබලා තිබෙනවා.

ලංකාවේ නැටුම කියන්නේ ඇඟපත දඟලවන එකද?

නළඟන සහ නර්තන ශිල්පිනිය අතර අදහාගන්නට බැරි තරම් වෙනසක් තිබෙනවා. ඒක අපේ බොහෝ නර්තන ශිල්පීන්ට තේරෙන්නේ නැහැ. බොහෝ දෙනා කරන්නේ බැංකොක් යනවා පිහාටු ටිකක් ගන්නවා. පිහාටුවලින් මොනවද කියල දන්නේ නැති ඇඳුම් ටිකක් හදා ගන්නවා. ඔහේ නටනවා. අද ප්‍රවීණයෝ කුහකත්වය වපුරනවා. ගැහැනු නිරුවත් වෙනවා. මං මැද ඉඳන් ඔහේ බලාගෙන ඉඳන් මගේ ගමන යනවා. මේක තමයි ඇත්ත තත්ත්වය.

ඔබ ඇසූ ප්‍රශ්නයට මං එන්නම්. ලංකාවේ නැටුම කියන්නේ ඇඟපත හොලවන එක නෙවෙයි. මං කවදාවත් ජාත්‍යන්තර වේදිකාවේ අපේ නැටුමට පිට ගිහිල්ලා නැහැ. මේ ළඟදී අතිගරු ජනාධිපතිතුමන් සමඟ මම ඇතුළු පිරිස රුසියාවේ සංචාරයක යෙදුණා. එහිදී බොල්ෂොයි රඟහලේ ප්‍රසංගයක් පවත්වන්නට හැකි වුණා. ඒ රඟහලේ ප්‍රසංගයක් පැවැත් වූ පළමුවැනියා මම. ඒ ප්‍රසංගයේදී අපේ නැටුම් දැකලා ජාත්‍යන්තර නියෝජිතයන් ඉතාමත් සතුටට පත් වුණා.

අද චිත්‍රපටවලත් දක්නට ලැබෙන්නේ හරසුන් නැටුම්?

ඔව්. ඒ බජට් අඩු ෆිල්ම්වලට. ඒවගේ චිත්‍රපටවල මම වැඩ කරන්නේ නැහැ. සාරි, තැලි පටලා ගත්තු ගෑනු මිනිස්සු ගස් වටේ දුවනව කියන්නේ නර්තන අධ්‍යක්ෂණයද? මේ ඇතැම් නර්තන ඉතාමත් ආදරයෙන් අගය කරන අයගෙන් මං අහන්නේ එහෙමයි. ප්‍රවීණයෝ වුණාම නවකයන්ගේ වැරැදි පෙන්වා ඔවුන්ව ඉදිරියට යැවිය යුතුයි. ඒත් අද ප්‍රවීණයෝ කරන්නේ වැරැදි පාරේ යන නවකයන් දිහා බලාගෙන සතුටු වෙන එක.

හැම ක්ෂේත්‍රයකින්ම රංගන ක්ෂේත්‍රයට පිරිස එක්වෙනවා. නමුත් නර්තන ශිල්පීන් රංගනයට එක්වෙන්නේ ඉතාමත් සීමිත අයුරින්?

ඔව්. නර්තන ශිල්පීන්ට, ශිල්පිනියන්ට හොඳ වාණිජ පදනමක් ලංකාවේ තියෙනවා. ඒ නිසා ඔවුන් වෙන ක්ෂේත්‍ර වෙත යොමු වෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. නමුත් නර්තන ශිල්පීන්, ශිල්පිනියන් රංගනයට යොමු වෙනවා නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. රංගන ක්ෂේත්‍රයට නර්තනය ප්‍රගුණ කළ අය අත්‍යවශ්‍ය කාලයක් මේක. බොලිවුඩ් සිනමාව බලන්න. හොඳ නර්තන ශිල්පීන් ටිකක් ඔවුනට ඉන්නවා.

ලංකාවේ ස්ටාර්ස්ලා නටන තරග තියෙනවා. මේ ගැන දරන ස්වාධින මතය මොකක්ද?

ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. මොකද මේ තරග හරහා අපේ රංගන තරු නැටුමට යොමු වෙනවා. ඔවුන් නර්තනය ඉගෙන ගන්නවා. ඒ හරහා ඔවුන් නැටුමට ඉබේටම හුරුවීමක් වෙනවා. මේ තත්ත්වය යටතේ මෙවැනි වැඩ සටහන් ගැන මගේ තිබෙන්නේ සුබවාදී ආකල්පයක්.

චිත්‍රපටවල විතරක් නෙවෙයි. ලංකාවේ බොහෝ තැන්වල නර්තනය සහ ගීතය තියෙන්නේ දෙතැනක?

ඔව්. ඒ කියන්නේ කිසිම අවබෝධයක් නැතුව තමයි නර්තනය අධ්‍යක්ෂණය කරන්නේ. ගීතය තියෙන්නේ වෙනම තැනක. නර්තනය තියෙන්නේ වෙනම තැනක. කියන්නේ ළමා කාලය ගැන. නටන්නේ ප්‍රේම කතාවකට. මේ තත්ත්වය ගැන නර්තන අධ්‍යක්ෂවරුන් අවබෝධ කරගත යුතුයි.

ඔබ සිතනවද පරිපූර්ණයි කියලා?

නැහැ. මේ ලෝකේ පරිපූර්ණ කිසිම කෙනෙක් නැහැ. මම තවමත් අධ්‍යයනයක යෙදෙනවා. මා දන්නේ නෑ කියලා හිතන නිසා මට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ අලුත් දේවල් මං මගේ තාලයට හදා ගන්නවා.

ඉදිරිය කොහොම වේවිද?

ඉදිරියේදී විදෙස් ප්‍රසංග රැසක් තිබෙනවා. ඒ වගේම පරම්පරාවකට දැනුම බෙදා දෙන්න මං වෙහෙසෙනවා. අජාසත්ත චිත්‍රපටය වෙනුවෙන් උපරිම ලෙස කැප වෙලා කටයුතු කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. මේ කටයුතු අතරේ ඉතාමත් සතුටින් කාලය ගෙවෙනවා. මං හිතන්නේ හැම දවසකම මං අලුත් වෙනවා.