වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සීතලයට ගැහෙමින් හිනාවෙවී රඟපෑවා

සීතලයට ගැහෙමින් හිනාවෙවී රඟපෑවා

විරාජ් ජයසිරි

මම කාගෙන්වත් චාන්ස් ඉල්ලගෙන ගිහිල්ලා නැහැ ඒ ලොකුකමට නෙවෙයි ඒ මගේ හැටි

මම මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ විලාසිතා නිරූපකයෙක් විදියට. කාලයක් ඔහොම ඉන්න කොට යාළුවකුගේ මාර්ගයෙන් වෙළෙඳ දැන්වීමක රඟපාන්න ලැබුණා. එතැන් පටන් වෙළෙඳ දැන්වීම්වලට ලද ආරාධනා නම් නිමක් වූයේ නැහැ. හිතේ හැටියට වෙළෙඳ දැන්වීම් කළා.

හිරු නාළිකාව ආරම්භ කරද්දී එයාලා ඔවුන්ගේ වැඩසටහන් නිවේදනය කරන්න තෝර ගත්තේ නිරූපණ ශිල්පීන්. මාත් අයැදුම්පතක් යොමු කළා. සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් පසුව හිරු නාළිකාවේ නිවේදකයකු විදිහට මාව තේරුණා. පළමු වැඩසටහන සජීවි වැඩ සටහනක්. ස්ටුඩියෝ එකට ගියේ හරිම තිගැස්මකින්.

ඊට පස්සේ මොකද වුණේ කියලා කියන්න කළින් මෙතනට එනකම් කතා කළ ඔහුව මා හඳුන්වා දෙන්නම්.

විරාජ් ජයසිරි.

සෑම සෙනසුරාදා උදෑසනකම ටොප් ටුවෙන්ටි වැඩසටහන රැගෙන අප හමුවන නිවේදකයා ඔහුයි. එමෙන්ම මේ දිනවල තිරගතවන කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ ප්‍රශාන්ට රංගනයෙන් දායක වෙමින් පේ‍්‍රක්ෂකයන් අතරට එක් වෙයි.

අපි යළිත් විරාජ්ගේ කතාබහට ඉඩ දෙමු.

එදා මට වාක්‍ය කියවෙන්නම ගියේ ලියන භාෂාවෙන්. නමුත් මම සාමාන්‍ය කතා කරන විදිහට ප්‍රේක්ෂකයන් ඇමතුවා. ප්‍රෝග්‍රෑම් එක මැදදි නා නා ප්‍රකාර අය කතා කරන්න පටන් ගත්තා. මගේ හිතේ තිගැස්මක් හට ගත්තා. අදටත් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන කොට හිතට බයක් දැනෙනවා.

* එහෙම වැඩසටහනක් අතරතුරදී වෙච්ච අමතක නොවන අත්දැකීමක් නැද්ද?

තියෙනවා, තියෙනවා. ඒත් ඒවා කියන්න බැහැ. මටම ලැජ්ජයි. ලයිව් එකේ වැරැද්දක් වුණොත් වුණාමයි. එහෙම වැරැදි වෙන්න ගිහින් ඔන්න මෙන්න කියා තිබියදී ඒවා නිවැරැදි කර ගත්තා.

* කොහොමද ඔබට පුඤ්ඤසෝම හි ප්‍රශාන්ව ලැබෙන්නේ?

මට ඒකටත් උදව් කළේ යාළුවෙක්. ඔහුගේ මාර්ගයෙන් උදයකාන්ත මහත්මයාව මුණ ගැහුණා.

* මොනවද ඔහු ඔබෙන් මුල් හමුවේදී ඇසුවේ?

රඟපාන්න ආසද කියලා ඇහැව්වා. එතකොට මම වෙළෙඳ දැන්වීම්වල රඟපාලනේ තිබුණේ. නමුත් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවලට සම්බන්ධ වුණේම නැහැනේ. ඒ හින්දා ලොකු කැමැත්තක් තිබුණා එවන් වූ නිර්මාණයකට දායක වෙන්න.

* මා දන්න විදිහට ඔබට ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත් ඔබ ගියේ නැහැ?

ඔව්. ටෙලි නාට්‍ය ගැන ලොකු පැහැදීමකින් නෙවෙයි මම ඉන්නේ. මට හිතුණා ඒවාට නොගිහින් ඉන්න.

* ඒත් ඔබ චිත්‍රපටයකට කැමැති වෙනවා?

ඒක මෙහෙමයි. උදයකාන්ත මහත්මයා හොඳ ඩිරෙක්ටර් කෙනෙක්. ඔහුගේ කිසිම චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඔහු වගේ නිර්මාණකරුවකුගේ චිත්‍රපටයක රඟපාන්න බැහැ කිව්වොත් එක අනුවණකමක්.

* ඒ වුණාට පුඤ්ඤසෝම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්නෙ?

හරි. ඒ වුණාට මගේ චරිතය එහෙම නැහැ. ප්‍රශාන් හරි සීරියස් කැරැක්ටර් එකක්. අනික චිත්‍රපටයේ කතාවත් හොඳයිනේ.

* පුඤ්ඤසෝම හී ඔබේ රූගත කිරීම් තිබුණු පළමු දවසේ ඇයි ඔබේ පෞද්ගලික වාහනයෙන් දර්ශන තලයට නොආවේ?

ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. මම සාමාන්‍යයෙන් මගේ ගමන් බිමන් යන්නේ මගේම වාහනයෙන්. ඒත් මම හිතුවා ෂූට් එකට යන මුල්ම දවසේ ප්‍රඩක්ෂන් එකේ වෑන් එකේ යන්න. මොකද එතකොට මට එහි නිෂ්පාදන කණ්ඩායමේ අය හඳුනගන්නත් ලැබෙනවා.

* ඔබ ක්ෂේත්‍රයේ අයත් එක්ක එච්චර හිතවත්කමක් නැහැ කියලා මට හැඟෙනවා?

ඔව්. ඒක හරි. මම ක්ෂේත්‍රයේ අයත් එක්ක තියෙන බැඳීම අඩුයි.

* එහෙම වුණාම නිර්මාණ ලැබෙනවාත් අඩුයිනේ?

මේක මගේ තියෙන එක්තරා දුර්වලකමක්. මම මේ වෙනකම් කාගෙන්වත් චාන්ස් ඉල්ලගෙන ගිහිල්ලා නැහැ. ඒ ලොකුකමකට නෙවෙයි. මගේ හැටි එහෙමයි.

* ආයෙ රඟපාන්න කැමැත්තකින්ද ඉන්නේ?

කැමැතියි. අකැමැති නම් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ නැහැනෙ. හැබැයි කතා කළොත් විතරයි මං යන්නේ.

* නිවේදන කටයුතු කරන ගමන් රඟපාන්න ඉඩ වෙන් කර ගන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම පුළුවන්. මට සතියකට එක වැඩසටහනයි කරන්න තියෙන්නේ. අවුරුදු හතරකට මම හිරුත් එක්ක ගිවිසුමකට අත්සන් කළා. ඒ අතරතුරදි වෙනත් කලා කටයුතුවලට යන්නත් ඔවුන්ගේ අවසර ලැබෙනවා මට.

* පුඤ්ඤසෝම රඟපාන්න ගිහින් නුවරඑළියේ සීතලේ ගැහැ ගැහි හිටපු දවස මතකද?

ඒ දවස නම් කවදාවත් අමතක වන්නේ නැහැ. චිත්‍රපටයේ තියෙන ගීතය තමයි එහිදී ෂූට් කළේ. සීතල වැඩිය කියලා ජැකට් අඳින්නත් බැහැ. සාමාන්‍යයෙන් අඳින ඇඳුම ඇඳගෙන හිනාවෙවී රඟපාන්න ඕනේ. ඉතින් මක් කරන්නද සීතල මැඬගෙන ගීතයට නැටුවා.

* විරාජ් ඔබ මේ වන විට ඔබ රංගනයටද, නිවේදනයටද, නිරූපණයටද වඩාත් ප්‍රිය කරන්නේ?

නිවේදනය ටිකක් අමාරුයි. අනෙක් ක්ෂේත්‍ර ලෙහෙසියි කියලා නෙවෙයි මම කියන්නේ. මට දැනෙන විදිහට නිවේදනය බැරෑරුම් කාර්යයක්. ඔබ අහපු පැනයට එන්නම්කෝ. මට දැන් නිරූපණය අමතක වෙච්ච ගානයි. රංගනයටයි නිවේදනයටයි දැන් මගේ කැමැත්ත.

* කලා ක්ෂේත්‍ර කිහිපයක නියැලුණත් ඔබ වෘත්තීමය කලාකරුවෙක් නෙවෙයි?

ඔව්. මම ගොඩනැගිලි හදන ආයතනයක සේවය කරනවා. එයින් මගේ කලා කටයුතුවලට ලැබෙන නිදහස අපමණයි.

* ඔබේ පවුලේ විස්තරත් සඳහන් කරමු?

අම්මයි, තාත්තයි, මල්ලියි මමයි තමයි ඉන්නේ.

* ඔබ ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් කියලා මේ කතාව අවසන් කරමු?

මම පෞද්ගලිකව මහරගම පිළිකා රෝගීන්ට උදව් කරනවා. එහෙම උදවු කරන මිත්‍රයින් පිරිසකුත් මාත් එක්ක ඉන්නවා. ඒ සමාජ සේවය මා මිය යන තුරුම කරන්නයි හිතාගෙන ඉන්නේ.