වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය වෙද හාමිනේ ගැන දුක හිතෙන ආරංචියක්

ආදරණීය වෙද හාමිනේ ගැන දුක හිතෙන ආරංචියක්

ඇයට සුවපත් වේවා යැයි අපි පතමු

ජීවිතය යනු දුක - සැප දෙකම එකට එක් වූ තෝතැන්නක් බව අපි කවුරුත් දනිමු. මොහොතකදී සිනාසෙන අපි තව මොහොතක හඬා වැටෙන්නෙමු.

ආදරයෙන් – ආශාවෙන් ජීවිතයට ලං කරගන්නා බොහෝ දේ නොසිතූ - නෙහිතූ මොහොතක අත හරින්නට සිදු වෙන බව මේ ජීවිතය අපට කියා දෙන ඇත්තයි. අකමැත්තෙන් වුවත් මේ සදාතනික සත්‍ය පිළිගත යුතුය.

ඇය ද මේ ජීවිතය ආශාවෙන් දෝත දරාගන්නට ඇත. තාරකාවියක සේ තරු පිරි අහසක දිස්නය ගහද්දි දිලිසෙන සුන්දරත්වයට අප්‍රමාණව ලොල් බඳින්නට ඇත. අපූර්ව රංගන මහිමයන් අජීවී සොලොලෙයිඩ් පටයන් තුළ සජීවී දසුන් බවට පත් වෙද්දී ජීවිතය සුන්දරදැයි කොතරම් කියා ඇයටම හැඟෙන්නට ඇත.

ඈත එපිට අනුරාධපුරයෙන් කොළොම්තොටට විත් සියලු සිත් සතන් සුවපත් කළ ‘වෙද හාමිනේ’ ඇයමය. කාගේත් ආදරය දිනූ අපූර්තම චරිතයකින් එක් රැයක් තුළ ජනප්‍රියතම රංගන ශිල්පිනියක වූ ඇය ගත වූ එදා - මෙදා කාලය ඇතුළත කලා ලොව තුළ හදාගත් කීර්ති නාමය නම් අනර්ඝතමය.

උපතින්ම ගෙනා අපූරු රංගන හැකියාවන් එයට එක් වූ ආකර්ෂණීය රූ සපුවත් ඇගේ ජීවිතයට ගෙන ආවේ නම් වාසනාවමය.

නමුත් . . . වාසනාවක් . . . අවාසනාවක් බවට පත් වෙන දෛවයේ නපුරු පිළිගැනීම් වලට හසුවෙන දුක්බර දවස්, අඳුරු කාල වකවාණු අප කාගේත් ජීවිතවලට උදාවීමට බැරි නැත. බලා ගත් අත බලාගෙන මේ සිදු වූයේ කුමක්දැයි කියාවත් සිතා ගැනීමට නොහැකි දුෂ්කරම මොහොතවල් අප සැමටම පොදුය.

සැබැවින්ම මේ රුවැති රංග ශිල්පිනියට ද අද දවසේ මුහුණදීමට සිදු වී ඇත්තේ නම් මේ කියූ නපුරුම ඉරණමටය. ‘වෙද හාමිනේ’ ලෙස ඇයට සුව කළ නොහැකි රෝගයක් නොතිබුණි.

බොහෝ අසරණ රෝගීන් ඇගේ විශ්මිත දෑතින් සුපවත් වූවාය. එවකට බටහිර වෛද්‍ය විද්‍යාවේ පවා සුව නොකළ හැකි මරාන්තික පිළිකා රෝගයට ද ඇය ළඟ මහඟු ප්‍රතිකාරයන් තිබුණි.

වෙද හාමිනේ ලෙස එවන් විශිෂ්ඨ රංගනයකට ජිවය ලබා දුන් ඇගේ ජීවිතයට දෛවය සරදම් කළ අයුරු නම් සිතා ගැනීමටවත් බැරිය. කිරිල්ලියක සේ සැහැල්ලුවෙන් පියාසර කළ ඇගේ අත් තටු කපා දැමුවා සේය.

සැමදාමත් කැමරා කාචය අභියස නොයෙකුත් රැඟුම් රැඟූ මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය මේ වන විට දැඩි සේ ගිලන්ව මහරගම රෝහලේ හත් වෙනි වාට්ටුවේ ඇයටම වෙන් වූ සයනයක් මත උඩුකුරුව නිදා සිටින්නේ කොයි කාගේත් සිත් සතන් කම්පා කරවමිනි.

ඇගේ ශරිරය තුළ නිදා සිටි නපුරෙක් එකවරම අවදි වී ඇත. රෙබේකා . . . ඔබෙත් . . . මගේත් ආදරය දිනූ ඇගේ ජීවිතයට මේ සිදු වී ඇති දේ නම් මහ පොළව පවා නුහුලනු ඇත.

‘ඇය සැමදාමත් කොයි කා සමඟත් හොඳින් සුහදව උන්නා. කැප කිරීම් රාශියක් මැද සෙමින් ආ ඇගේ රංග චාරිකාවේ මේ උදාවෙමින් තිබුණේ වසන්තම කාලයයි. දෛවය ඇයි මෙහෙම කළේ කියලා හිතා ගන්න බෑ.

කලා ලොව ඇයට හිතවත් කොයි කවුරුත් කියන්නේ අද මේ කතාවයි. ඇත්තෙන්ම මේ ඇගේ ජීවිතේ ලස්සනම කාලයයි. පසුගිය දා ඈ විදේශයකින් පවා සම්මානයක් ලැබුවේ ඇගේ රංගනයට ආදරය කරන රසික පිරිසගෙන්මයි.

පසුගිය දා පැවැත් වු රයිගම් ටෙලි සම්මාන උළලේ පසුව ජූරිය පිරිනැමූ විශේෂ කුසලතා සම්මානයත් ඇයට හිමි වූවාය.

රෙබෙකා ගේ කලා දිවියට වසර විසි පහක කාලයක් වුදා වෙමින් තිබේ. එදා මෙදාතුර ඈ රැඟූ ටෙලි නාට්‍ය ගණන 150 ඉක්මවයි. චිත්‍රපට ද, වේදිකා නාට්‍ය ද බොහෝ සංඛ්‍යාවක ඈ රඟපෑවාය. තව ඉදිරියට ද ඈ රැඟූ නිර්මාණ කිහිපයක්ම තිරයට පැමිණීමට ඇත. පුදුමය කියන්නේ ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යය තුළින් කලා ලොවට ඇය ගෙනා ජයන්ත චන්ද්‍රසිරිගේම නිර්මාණයකම රෝගී වන්නට පෙර ඇය රැඟූ අවසන් රංගනය වීමයි. ඒ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයයි.

රෙබෙකා එහි රඟන විටද රෝගීව ඉන්නට ඇත. නමුත් අප කාගේත් පැතුම ඉක්මනින්ම සුව වී ඇය යළිත් කැමරාව අබියසට පැමිණීමයි. මේ වනවිට මහරගම පිළිකා රෝහල වටකරගෙන සියල්ලෝම ඈ තනි නොකරයි. රට පුරා බෝධි පූජාවන් සෙත් පැතීම් පවත්වමින් මේ නපුරු රෝගයෙන් රෙබෙකා මුදවා දෙන ලෙස බුදුන් වහන්සේට, දෙවියන් වහන්සේලාට පවසති. ‘හොඳින් ඉන්න කාලෙ කොහොමද කියලාවත් නොබලපු ඇතැම් මාධ්‍ය රෝගී වූ පසු කතා කරලා දැන් කොහොමද අහනවා.

ඈ බලන්නට ගිය මොහොතේ මුලින්ම ඇය මා සමඟ කීවේ ඒ ටිකයි. එනමුත් සැපේදී මෙන්ම දුකේදීත් ‘සරසවිය’ ඈ තනි නොකළ බව ඈ කීවාය.

‘කෝ ....අරුණ අයියා.’

ගත් කටටම ඈ අපහසුවෙන් වුව ඇසුවේ අප ප්‍රධාන කර්තෘතුමා ගැනය. රෙබෙකා ගේ ළෙන්ගතු කම එහෙමය.

‘හුඟක් අය මාව බලන්න ඇවිත් යනවා...මම දන්නෙ නැහැ මේ බේත් බීපුවාම හොඳට නින්ද යනවා’...

ඈ එසේ පවසන අන්දම හරිම සංවේදීය. රෙබෙකා අප දන්නා තරමින් තනි ගැහැනියක ලෙස අප්‍රමාණ වෙහෙස මහන්සියකින් මේ ජීවිතය ගොඩනගා ගත් තැනැත්තියකි. සිය එකම දියණිය සමඟ නිවසේ කල් ගත කළ ඇය රංගන කටයුතු නැති මොහොතේ රූපලාවණ්‍ය කටයුතුද කරමින් ජීවිතය ජය ගන්නට වෙර දැරුවාය. මෙවන් අවාසනාවක් උදාවූයේ එවන් දිරිය ගැහැනියකටය.

‘ඈන් දියණිය රෙබෙකාගේ පණ මෙන්ය. අද මහරගම පිළිකා රෝහලේ සිය මව සමීපයට විත් රෑ දවල් නොබලා ඇය ද දුක්බරව කල් ගත කරන්නේ මේ සිදු වූ දේ සිතාගැනීමටවත් බැරුවය. ඇත්තෙන්ම රෙබෙකා ගේ මේ රෝගී තත්ත්වය ඉස්මතු වන්නට මහකාලයක් ගියේ නැත. මාස දෙකකටත් අඩුවෙන් ජීවිතය උඩු යටිකුරු කළාය.

ගතින් දුබල වුවද තවමත් සිතින් ඇද නොවැටුණු රෙබෙකා තමා බලන්න රෝහලට එන කොයි කා සමගත් සුහදව සිනාසෙති. පුළුවන් හැටියට වචනයක් දෙකක් කතා කරති. ඒ ඇගේ මනුෂ්‍යත්වයයි.

ජීවිතයේ උදාවන හෙට දවස තුළ ඈට තව කළ හැකි දේ බොහෝය. ඉතින් අප පතන්නේ ඇයට ඉක්මන් සුවයයි. රෙබෙකා ඉක්මනින්ම සනීප වෙලා යළිත් අප අතරට එන්න. ඔබ තිරයට අවැසිම ශිල්පිනියක්. ‘වෙද හාමිනේ’ ලෙඩුන් දහසක් රංගනයෙන් සුවපත් කළ පිනම ඇති ඔබට නිරෝගී සුව ලැබෙන්නට. දැන් නම් ඉතින් උදේ දිවා රැයේ අපේ පැතුමත් ඔබේම පැතුමයි. සියලු දෙවියන් ඔබ රකිත්වා.