වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

හම්ප්ටි ෂර්මා කී දුල්හානියා
(Humpty Sharma Ki Dulhania)

බොලිවුඩ් සිනමාවේ ඉතා ජනපි‍්‍රය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ කරන් ජොහාර් ගේ නවතම නිෂ්පාදනයයි හම්ප්ටි ෂර්මා කී දුල්හානියා. කාව්‍යා ප්‍රතාප් සිං (අලියා බහාට්) නම් වූ රූමත් කෙලිලොල් තරුණිය අම්බාලි නගරයේ සිට දිල්ලි නුවරට විනෝද චාරිකාවක යෙදී සිටියදී ඇතිවන සිදුවීම් රැසකින් නිර්මාණය වී ඇති හම්ප්ටි ෂර්මා විකට සහ ශෲංගාරාත්මක චිත්‍රපටයකි.

ඇයට දිල්ලි නගරයේදී හමුවන විනෝද කාමී තරුණයකු වූ හම්ප්ටි ෂර්මා නම් තරුණයකු (වරුන් දාවන්) කාව්‍යා විසින් හඳුනා ගැනීමත් ඒ තුළින් ඇතිවන සිදුවීම් මාලාවක් අඩංගු හම්ප්ටි ෂර්මා කී දුල්හානියා හි වරුන් දාවන් අලියා බාට් අශූ ටෝෂ් රානා, කෙනස් දෝශි සමඟ හඳුන්වා දෙන සිද්ධාර්ථ ශුක්ලා රංගනයෙන් දායක වෙති.

මෙය ශසින්ක් කේහේටාන් ගේ අධ්‍යක්‍ෂණයකි.

ඩිවර්ජන්ට්
(DIVERGENT)

වෙරෝනිකා රූත් ගේ ජනපි‍්‍රය නවකතාව ඇසුරෙන් නීල් බගර් විසින් අධ්‍යක්‍ෂණය කළ නවතම ක්‍රියාදාම චිත්‍රපටයයි ඩිවර්ජන්ට්

ශලේන් වුඩ්ලි, තියෝ ජේම්ස්, රේ ස්ටීවන්සන් සමඟ සම්මානනීය නිළි කේට් වින්ස්ලට් රඟන ඩිවර්ජන්ට් ඩී. වී. ඩී. තැටි මේ දිනවල වෙළඳපළට නිකුත් වී ඇති නවතම ඉංගී‍්‍රසි චිත්‍රපටයකි.

ලෝක ජනගහනය එක් එක් කාණ්ඩවලට වෙන් කරනු ලබන අතර තම කාණ්ඩය සොයා ගැනීමට ගන්නා වෙහෙස සහ ඒ නිසා ඇතිවන සිදුවීම් මාලාව වටා ගෙතුණ ඩිවර්ජන්ට් අපූර්වතම ක්‍රියාදාම චිත්‍රපටයකි.

මන්ජාපායි
(MANJAPAI)

එන්. රගවන් අධ්‍යක්‍ෂණය කළ මන්ජාපායි චිත්‍රපටය බොහෝ ද්‍රවිඩ චිත්‍රපටවලට වඩා වෙනස් වූ මානුෂික විවරණයකින් හෙබි ද්‍රවිඩ චිත්‍රපටයකි.

ගමේ ඉපිද වැඩිදුර අධ්‍යාපනයක් ලැබ ඉහළ රැකියාවකට එන තරුණයකු තමා කුඩා කල සිට හදා වඩා ගත් තම සීයාව ගමේ තනි නොකර තම මහල් නිවාසයට රැගෙන ඒමත් ඒ නිසා නාගරික සමාජය ඉදිරියේ ගැමිකම හාස්‍යයට සහ ඔච්චමට ලක්වීමත් මනාලෙස චිත්‍රපට ගතකර ඇති මන්ජාපායි කාටත් රස විඳිය හැකි අපූර්ව චිත්‍රපටයකි.

කන්ගා බහාට්, රාජ් කුමාර් යාදේව්, ලිසා හේඩන් සමඟ විජේ සින්ග් රංගනයෙන් දායක වී ඇති මන්ජාපායි සංගීතය අනිට් ත්‍රිදේව් විසිනි. වික්‍රමදිත්‍ය මොට්ටරන් විසින් නිෂ්පාදනය කර ඇති මන්ජාපායි චිත්‍රපටය ප්‍රේක්‍ෂක අවධානයට ලක්වූ අපූර්වතම චිත්‍රපටයකි.

වඩකරි
(VADACURRY)

ස්වාති රෙඩ්ඩි සහ බාලාජි කස්තුරි රංගනයෙන් එක්වන අලුත්ම දෙමළ චිත්‍රපටය වඩකරි සරවන රාජන් ගේ අධ්‍යක්‍ෂණයකි.

ස්වාති සහ බාලාජි සමඟ සනී ලියෝන්, අරුල්දාස් මීෂා, වෙන්කට් ප්‍රභූ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන වඩකරි කැමරාකරණය එස්. වෙන්කටේෂ් විසිනි.

ක්වීන්
(QUEEN)

ක්වීන් චිත්‍රපටය ආරම්භ වනුයේ දිල්ලි නගරයේ ජීවත්වන විසි හතර හැවිරිදි රාණි නම් වූ යුවතිය මුල් කරගෙනය.

රාණි ගේ එකම ආරක්‍ෂකයා වනුයේ ඇගේ සොහොයුරාය. මෙහිදී රාණි මුහුණදෙන සිදුවීම් රාශියකින් අපූර්වතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ක්වීන් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විකාශ් බහාල් සමත් වෙයි.

අමිත් ත්‍රිදේව් ගේ ලයාන්විත සංගීතයෙන් ඔපවත් වී ඇති ක්වීන් නිෂ්පාදනය වික්‍රමාදිත්‍ය මොට්වානි විසිනි.

රංගනයෙන් රාණි ලෙස කන්ග්නා රානට් රඟන අතර මීට අමතරව රාජ් කුමාර් යාදේව්, ලීසා හේඩන්, විජේ සිං ඇතුළු නළු නිළියන් රැසක් ක්වීන් සඳහා දායක වී ඇත. මෙය 2014 වසරේ වැඩිම ආදායම් ලත් ඉන්දියා චිත්‍රපටයකි.

නෝආ (NOAH)

ලෝක විනාශය තවත් පරිච්ඡේදයක ආරම්භයයි. ජල ගැල්මෙන් ලෝකය විනාශ වීමට පෙර තෝරාගත් මිනිසුන් කොට්ඨාසයක් ඉන් බේරා ගැනීම සඳහා දෙවියන් වහන්සේ එක් මනුෂ්‍යයකු තෝරා ගනියි. ඔහු නෝආ ය.

බයිබලයේ සඳහන් කතාවක් ඇසුරෙන් තැනුන ඕනෑම ජාතිකයකුට හෝ ඕනෑම ආගමිකයකුට නරඹා රස විඳිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කරලීමට අධ්‍යක්‍ෂ ඩැරන් අරෝනොෆ්ස්ක් සමත් වී ඇත.

දක්‍ෂ චරිතාංග නළු රසල් ක්‍රෝ සමඟ ඇන්තනි හෝප්කින්ස්, රේ වින්ස්ටන්, ජෙනිෆර් කොන්ලි, එමා වොට්සන් ඇතුළු නළු නිළියන් රැසකගේ රංගනයෙන් ඔපවත් වී ඇති නෝආ මේ දිනවල සිනමා ප්‍රේක්‍ෂකයන් අතර ඉමහත් කතාබහට ලක් වූ චිත්‍රපටයකි.

ඉහත සියලු චිත්‍රපටවල ඩී. වී. ඩී. තැටි දැන් වෙළඳපළෙන් ලබාගත හැක අතර සෑම තරාතිරමකම ප්‍රේක්‍ෂකයන්ට නැරඹීමට සුදුසු චිත්‍රපට වේ.

බ්ලූ රේ
චිත්‍රපට අනුග්‍රහය
මූවි වර්ල්ඩ් HD

ඩී. වී. ඩී. අනුග්‍රහය
නීරෝ
සී. ඩී. හවුස්
මල්වත්ත පාර