වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පළමු තැන පවුලට දෙවැනි තැන රඟපෑමට

පළමු තැන පවුලට දෙවැනි තැන රඟපෑමට

පුංචි තිරයේ සුදු නංගි – අයෝමි ශානිකා අලුත් ජීවිතය ගැන පවසයි

ඇයව ලාංකේය කලා රසිකයන් බොහෝදෙනා හඳුනන්නේ ‘සුදු නංගී’ යන ආදරණීය නාමයෙනි. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වූ "ජීවිතය ලස්සනයි" ටෙලි නාට්‍යයේ ඈ රඟ පෑ චරිතය නිසාය. මමත්, ඇයට ‘සුදු නංගී’ යැයි ආමන්ත්‍රණය කළෙමි. ඈ සුපුරුදු ලෙස කටපුරා සිනාසුනාය.

‘වෙනදටත් වඩා ලස්සන වෙලා. මොකක්ද ඒ රහස’

මම ඇගෙනන් විමසීමි. සොඳුරු කහ පැහැති රෝස කුසුමක සිරිය පළ කළ අයෝමි ශානිකා හෙවත් සුදු නංගී සිය නැවුම් ජීවිතය පිළිබඳ කිව්වේ අපූරු කතාවකි.

‘මේ ඔක්තෝබර් වන විට මම විවාහ වෙලා අවුරුද්දක් ගත වෙනවා. බෙහොම සතුටෙන් ආදරණීයව ගලාගෙන ආ ජීවිතය එන්න එන්නම සුන්දරයි. මම සිතූ අයුරෙන් ගතිගුණ තිබෙන ආදරණීය කෙනෙකු මට මුණ ගැසුණා. ඔහු මාව බොහොම ආදරයෙන් බලා ගන්නවා. ඒ චින්තකගේ ආදරය තමයි මාව තව තවත් සුන්දර තරුණියක් බවට පත් කරන්නේ. මගේ සුන්දරත්වයේ රහසයි ඒ.

සුදු නංගී කිව්වේ ඈව විවාහ කර ගත්ත ආදරණීයා පිළිබඳයි. චින්තක දොළපිහිල්ල කියන ආදරණීය සැමියා සිය ජීවිතයට ආලෝකයක් රැගෙන ආවේ ඈ නොසිතූ විරූ අයුරෙනි.

‘ඔබගේ සියලු අදහස් ඉටු වුණා’

‘ඇත්තම කිව්වාත් මම විවාහවීමටත් පෙර සිතාගෙන සිටියේ මගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යනවා කියලයි. ඒ සියලුම කටයුතුවලට රුකුලක් වෙමින්, මාව ධෛර්යයට පත් කරමින්, ආරක්ෂා කරමින් සෙනෙහෙවන්තව මාව බලාගන්න කෙනෙකු මට ලැබුණා. තරුණියක් විදියට ඒ අතින් මම බොහොම වාසනාවන්ත යැයි සිතනවා’.

සුදු නංගී ඒ තරමට ආදරය කරන චින්තක දොළපිහිල්ලගේ ආදරය ඇයට හමු වන්නේ නොසිතූ මොහොතකය. ඒ ආදරය ඔස්සේ ඇය තමාට ගැළපෙන නියම සහකරු තෝරා ගත්තා වගේම ඔහුත් ඈ ගැන පැවසුවේ මේ ලෙසිනි.

‘ඇත්තටම මට හිතා ගන්නවත් බැහැ මා සිතූ පැතූ අයුරෙන්ම ගතිගුණ තිබෙන බිරියක් මට මුණ ගැසුණා. ඈ වරෙක මට බිරියක්. තවත් වරෙක ඈ මට මවක්, යෙහෙළියක්, සොහොයුරියක්. එතෙක් තනිකඩව ගෙවුණු ජීවිතයට අපූරු අත්වැලක්. ඒ අත්වැල හා අත්වැල් බැඳ ගනිමින් ජීවිත කාලයම ගෙවන්නයි මගේ අදහස වී තිබෙන්නේ.’

චින්තකගේ කතාව අවසාන වනවාත් සමඟම සුදු නංගිත් පැවසුවේ සිය සැමියාගේ සොඳුරු ගතිගුණ රැසකි.

‘අවංක බවත්, විශ්වාසයත් ඔහු කෙරෙහි තිබෙන සුන්දරම ගතිගුණ කියලා මට සිතෙනවා. නිවිච්ච ගතිගුණ තිබෙන ඔහුගේ සෙනෙහස මට මහ මෙරක් තරම්. නිතරම ඔහු කරන කටයුතුවලදී මගේ අදහස් විමසන්න අමතක කරන්නේ නැහැ. අපි සියලු තීරණ ගන්නේ දෙන්නත් සමඟම කතාබහ කරලා වීමත් විශේෂත්වයක්.’

මේ විදියට සුන්දරව ගලා යන ජීවිතය නුවර තිබෙන සුන්දරත්වයත් සමඟ තවත් සුන්දර වී ඇතැයි අපට හැඟේ. ඇය තම පදිංචිය සඳහා චින්තකගේ ගම් ප්‍රදේශය වූ නුවරම තෝරා ගත්තාය.

‘නැද්ද කොළඹ පදිංචියට එන්න අදහසක්?’

‘මම හිතන්නේ කොළඹට වඩා නුවර ප්‍රදේශය සෑම දෙයකටම වඩාත් හොඳ බවයි. අනිත් එක චින්තකට නුවර පරිසරයෙන් ඈත් වෙලා ඉන්න බැහැ. ඒ නිසා මමත් ඒ පරිසරයට හුරු වුණා. කොළඹ තිබෙන කලබලකාරී බවෙන් මිදිලා අපි හැමෝම පවුලක් වගේ සතුටෙන් සිටීම තරම් තවත් කාරණයක් කුමකට ද කියලා හිතෙනවා.’

‘ඒතරමටම චින්තකගේ අම්මා. තාත්තා සුදු නංගිට ආදරෙයි වගෙයි.’

‘ඔව්. ඇත්තටම මට මගේ අම්මා තාත්තා හා සමානවම ඔවුන් දෙදෙනා ආදරෙයි. යුවතියක් ලෙස කටයුතු කළ කාලයේ මම කළේ ඉගෙන ගන්න කටයුතු විතරයි. උයන්න පිහින්න ඉගෙන ගන්න කිසිම ඉඩකඩක් මට තිබුණේ නැහැ. මේ සියලුම දේ ගැන අම්මා දන්න නිසා මට පහසු වුණා. ඈ තමයි මට උයන්න කියා දුන්නේ. සෑම පුංචි දෙයක්ම කිසිම කරදරයක් කියලා හිතන්නේ නැතිව ඈ මට කියලා දුන්නේ මගේ මව වගේමයි. ඒ නිසා මට දැන් තරමක් උයන්න පුළුවන්. එහෙම වුණත් අදටත් උයන්නේ අම්මා තමයි. මම පුංචි පුංචි උදව් කරනවා පමණයි. ඒ වගේම තාත්තවත් මතක් කරන්න ඕනෑ. ඔහු හදන අපූරු මෂ්රූම් එකට මම බොහොම කැමැතියි. ඒ වගේ කෑමක් හදන දවසට ඔහු මාවත් ළං කරගෙන මගේ උදව්වත් ඇතිව කෑම හදනවා. අම්මාගේ අඹ ව්‍යංජනයටත් මම බොහොම කැමැතියි.’

පවුලේ එකමුතුව, සොඳුරු ජීවිතයක ආරම්භයක සනිටුහන් කළ බව රහසක් නොවේ.

‘ඇත්තටම සුදු නංගි උයන ඒවා රසද?’

අප විමසුවේ චින්තකගෙනි.

‘මෙයාගේ අඹරැල්ල ව්‍යංජනය රසයි. මම කැමැතිම පරිප්පු වෑංජනය හදන්නත් අයෝට හොඳට පුළුවන්. හිටපු ගමන් විවිධ කෑම වර්ග හදනවා. අපි දෙන්නම වෙජිටේරියන් නිසා කෑම ගැන ඒ තරම්ම වදයක් වෙන්නත් ඕනෑ නැහැ’

‘දවස කොහොමද ගත වෙන්නේ?’

‘මම උදෙන්ම නැඟිටිනවා. ඒ නැඟිට්ට වෙලාවට මම තමයි හැමෝටම තේ හදන්නේ. ඊට පස්සේ සුපුරුදු විදියට ගෙදර අස් කරන වැඩ කරනවා. නැත්නම් අම්මා තමයි උදේට තේ හදන්නේ. මේ සියලු කටයුතු කරන චින්තකගේ අම්මාත් තාත්තත් මගේම අම්මා, තාත්තා විදියටයි මට දැනෙන්නේ. ඒක නම් ආත්මගත පුරුද්දක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. අම්මා තාත්තා වගේම මට ලැබුණු නෑනලා ටිකත් මගේම සහේදරියෝ වගේම තමයි. මාව හැඩ වැඩ කරන්නෙත් ඔවුන්ම තමයි. ඒ වගේම කිවයුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ චින්තකගේ පවුලේ හැමෝම බොහොම ආදරණිය බවෙන් බැඳිලා සිටිනවා කියන එකයි. නෑදෑයෝ වුණත් සියල්ලන්ම එකට බැඳුණු පවුලක්. එවන් පවුලකට සම්බන්ධවීමට මට හැකිවීමම වාසනාවක්.’

එකම විදියට සිතන පතන අයෝමිත් – චින්තකත් ගෙවන සොඳුරු දිවිය තවත් අර්ථවත් වන්නේ ඔවුන් දෙදෙනාගේම එකමුතුවෙන් තැනුණු Dolart Gallery ව්‍යාපාරය මඟිනි.

Dolart Gallery කියන්නේ ඉවෙන්ට් ඕගනයිස් කරන ආයතනයක්. අයෝ මුණ ගැසෙන්නටත් ප්‍රථම මම අනාගතය ගොඩනඟා ගන්න හිතුවේ මේ ව්‍යාපාරය මඟින්. ඇගේ එකමුතුව, ශ්‍රමය, අදහස් එය තවත් දියුණුව කරා රැගෙන ආවා. මට නොපෙනෙන පැත්ත ඇයට පෙනුණා. මට නොපැමිණි අදහස් ඇගේ සිතේ තිබුණා. මේ සියල්ලෙහිම එකතුව මට ශක්තියක් ගෙනාවා. මම විතරක් නොවෙයි තව කෙනෙක් මගේ ළඟ ඉන්නවා කියලා දැනෙන හැඟීම දිගු ගමනක් යන්න හොඳ පිටුබලයක්.’

චින්තකගේ ජීවිතයට ශක්තිය රැගෙන පැමිණි අයෝගේ සොඳුරු උවනෙහි නැගෙන කැල්ම ඒ අදහසට අපූරු සාක්ෂියකි. එහෙත් ඇගේ ආදරණීය රඟපෑම කලෙකින් අපි නුදුටීමු.

‘චින්තක සුදු නංගිට රඟපෑම තහනම් කරලද?’

‘අනේ නැහැ. හොඳ නිර්මාණ පමණක් තෝරා බේරා ගෙන රඟපාන්න මා තිරණය කළා. කතා කරන සෑම නිර්මාණයකටම වගේ දායක වෙන්න නොහැකි මම විවාහ වෙලා නිසා. එතකොට වඩාත් වැඩි වටිනාකමක් ලබා දිය යුත්තේ පවුලටයි. පළමු තැන පවුලටත් දෙවැනි තැන රඟපෑමටත් හිමියි. මේ අතර මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල දේශනවලට සහභාගි වෙන්න දවස් කිහිපයක්ම ඉන්නේ කොළඹයි. චින්තකත් එයාගේ කොළඹ වැඩ කටයුතු ඒ දිනවලටම දමාගෙන, අවසාන කරලා දෙන්නත් එක්කම ආයෙත් නුවර යනවා.

ඒ වැඩ කටයතු අතර විමෝද වෙන්නත් අපි අමතක කරන්නේ නැහැ. නිතරම වගේ ගැටඹේ පන්සලට වගේම දළදා මාලිගාවට යන්නත් අපි කැමැතියි. ඒ වගේම යන තැනක් තමයි අනුරාධපුරයේ හා කතරගම. යම් කටයුත්තක් ආරම්භ කරන්න පෙර චින්තක බුදුන් වැඳලා ආශිර්වාදය ගන්න අමතක කරන්නේ නැහැ. ඒ බව මා පවසන්නේ ඔහු පිළිබඳ බොහොම ගෞරවයෙන්.’

‘දැන් ඉතිං තුන්වැනියෙක් කැන්දන් එන්න කාලය නේද?’

‘ඉදිරියේදී ඔයාලට ඒ ගැන දැනගන්නට ලැබේවි’

චින්තක එහෙම කිව්වේ බලාපොරොත්තු රැඳුණ දෙනෙතෙනි. සමනලියක් වගේ එහා මෙහා දුව පනින සුදු නංගිගේ සොඳුරු කැදැල්ල ආදරයෙන් පිරී ඉතිරී ගොසිනි. සෑම දිනකම එසේ වේව යැයි ඒ සොඳුරු කුරුලු ජෝඩුවක් වැනි යුවළ දෙස බලා අපි පැතුවෙමු.