වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දේශපාලන බල අරගලය සදාකාලිකයි

මේ දේශපාලන බල අරගලය සදාකාලිකයි

සුගත් සමරකෝන්

සිය ආත්ම ප්‍රකාශනවාදී මාධ්‍ය ලෙස සුගත් සමරකෝන් වර්තමානයේ වඩාත් ආසක්තව සිටින්නේ සිනමාව කෙරෙහිය. ලක් ඉතිහාසයේ ලෙයින්, කඳුළින් නැහැවුණු ශෝචනීය ඉරණමක සිනමාත්මක අර්ථ නිරූපණය ඔහු මෙවර ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නේ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ නමිනි.

1814 කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය පාලන සමයේ රාජ සභාවේ සිටි ඇහැලේපොළ මහ දිසාව හා රජු අතර ඇති වූ ගැටුමක් මුල් කොට ගනිමින් දිගහැරෙන එම වෘන්තාන්ත සිනමාපටය අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඡ්. ඒ. ර්‍ථ මණ්ඩලයේ සිනමාහල් හතළිස් පහක දැන් සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ.

සුගත් සමරකෝන් අද මෙසේ අප හා සංවාදයට එක් වන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනයේදී ඔහුට සිදු වූයේ යැයි කියන කිසියම් අසාධාරණයක්, අකටයුත්තක් පිළිබඳ දැඩිව අවධාරණය කරමිනි.

* ‘ඇහැලේපොළ කුමාරිහාමි’ ඔබ ප්‍රේක්ෂක ජනතාවට බාර දුන්නේ නොයෙක් දුෂ්කරතා, අභියෝග මැද. එය දැනටමත් ප්‍රේක්ෂක ආකර්ෂණයට බඳුන් වී ඇති බවකුයි පෙනෙන්නේ?”

ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටය ගැන අපට පූර්ණ විශ්වාසයක් තිබුණ. මගේ කලා ජීවිතයේදී නොයෙක් පර්යේෂණ පවත්වලා, කාලයක් අරගෙන, බොහොම ඉවසීමෙන් තමයි පිටපතක් නිර්මාණය කරන්නේ. එහෙම එළියට දාන නිර්මාණයක් ප්‍රේක්ෂකයෝ පිළිගනීවි කියන විශ්වාසය මට තියෙනවා. ඒක මම දන්නවා.

* කොහොමද එහෙම විශ්වාසයක් ඔබ තුළ ගොඩ නැගෙන්නේ?

ප්‍රේක්ෂක රුචිය, ඔවුන්ගේ රස වින්දනය, ආකල්ප, විකල්ප මම දන්නවා. ඒ විතරක් නෙවේ. අද දවසේ රූපවාහිනියෙන් විකාශය වන ඒකාකාරී ටෙලි නාට්‍යය කන්දරාව බලලා ප්‍රේක්ෂකයෝ වෙහෙසට පත් වෙලා ඉන්නේ. චිත්‍රපටයක් කියන්නේ මුදලක් වියදම් කරලා ශාලාවකට ඇවිත් නරඹන දෙයක්. ඒ වගේම කාලයක් වැයවන කටයුත්තක්. ඔය දෙකම

කළමනාකරණය කර ගැනීම අද අපහසු කාර්යයක් වෙලා තිබෙනවා. ඉතින් ප්‍රේක්ෂකයා සිනමාහල් කරා රැගෙන එන්න නම් චිත්‍රපටයක් ඉතා උසස් මට්ටමක තිබිය යුතුයි. එය දැවැන්ත වගේම ගුණාත්මක නිර්මාණයක් ද විය යුතුයි.

* සාමාන්‍ය චිත්‍රපටයක් නිපදවීම සඳහා වැයවන මුදල මෙන් හතර ගුණයක් ‘ඇහැලේපොළ කුමාරිහාමි’ට වැය වූ බව ඔබ පවසනවා?

ඔව්, මම තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහා අධික පිරිවැයක් දරන්න සිදු වෙනවා නිෂ්පාදකයකුට. අධ්‍යක්ෂවරයාගේ කාර්ය චිත්‍රපටය අධ්‍යක්ෂණය කර දීම පමණයි. ලෝක සිනමාවේ පවා සිදු වන්නේ ඒ විදිහට. නමුත් අද අපේ අධ්‍යක්ෂවරුන්ට සිදු වෙලා තියෙන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට හා එහි ප්‍රචාරක කටයුතුවලදී නිෂ්පාදකවරයා සමඟ උරෙනුර ගැටී කටයුතු කරන්නයි. චිත්‍රපටයට ලොකු අසාධාරණයක් වෙනවා නම් කොහොමටත් දැන් මට නිහඬව ඉන්න බැහැ.

* නිර්මාණකරුවා හැටියට?

මගේ මුදල මම ගන්නවා. දැන් නිෂ්පාදකට ඕනෑ දෙයක් කර ගත්තාවේ කියලා මට පැත්තකට වෙලා ඉන්න බැහැනේ. අපි බොහොම පොඩි සිනමා කර්මාන්තයක් තිබෙන රටක්. ඉතින් එවන් පසුබිමක නිෂ්පාදකවරයා නැති භංගස්ථාන වෙනතුරු බලන් ඉන්න මට නම් බැහැ. මොකද ඔහු මා ගැන විශ්වාස කරලානේ නිර්මාණයකට දායක වුණේ. මම ඒක ඉෂ්ට කරලා තියනවා. නමුත් දැන් ඔහුගේ මානසික තත්ත්වය නිසා මට සිදු වෙනවා ඔහු වෙනුවෙන් පෙනී සිටින්න. ඔහු වෙනුවෙන් කතා කරන්න. චිත්‍රපට සංස්ථාවෙන් අපට වුණේ අසාධාරණයක්. අපට මේ දුක, මේ අවනඩුව කියන්න තියෙන්නේ මේ රටේ මාධ්‍යවේදීන්ට, මේ රටේ සිනමා රසිකයන්ට, ගිහි පැවිදි විද්වතුන්ට, සිනමා ශාලා හිමියන්ට සහ සිනමාව ගැන සැබෑ කැක්කුමක් තිබෙන පිරිසට විතරයි. චිත්‍රපටය නරඹා පිටපත් ප්‍රමාණය සීමා කිරීම සම්බන්ධව තමාට හැකි අයුරින් හඬක් නගන්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

* පිටපත් හතළිස් පහක් දක්වා ප්‍රදර්ශනය කිරීමට ඔබට අවස්ථාව ලැබුණා. එය ප්‍රමාණවත් මදි කියා ද ඔබ පවසන්නේ?

ඔව්, ඇත්ත වශයෙන්ම.

* ඇයි ඒ?

විවිධ වැය ඇස්තමේන්තු යටතේ නිෂ්පාදනය වන චිත්‍රපට තිබෙනවා. හින්දි කොපියක්, දෙමළ කොපියක් නැතිනම් ලව් ස්ටෝරියක්, ඔය පවුලේ කතාවක් මොනවා හරි කොමඩියක් කළාම ඒවාට එච්චර ලොකු මුදලක් වියදම් වෙන්නේ නැහැ. එබඳු නිර්මාණවලට මම මේ ගරහනවා නෙවෙයි. දැන් ඓතිහාසික චිත්‍රපටයක් කියන කොටම එහි දැවැන්තකමක් තියෙනවා. මොකද විශාල පිරිසක් මේකට සම්බන්ධ කර ගන්න වෙනවා. ලොකු පසුතල නිර්මාණය කරන්න සිදු වෙනවා. ඇඳුම්, පැළඳුම්, ආභරණ ආදියට අති විශාල මුදලක් වැය වෙනවා. ඒ මුදල් සම්භාරය පියවා ගන්න වෙන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඒ ලැබෙන ආදායමෙන්. ඒ වගේම තමයි වැඩි පිටපත් ප්‍රමාණයක් බෙදා හැරියාම රටේ සෑම දෙසකම ජීවත් වන ජනතාවට එකවර චිත්‍රපටය නැරඹීමේ හැකියාවත් ලැබෙනවා.

* චිත්‍රපට ශාලා හිමියන්ට පවා වැඩි ප්‍රතිලාභ ලැබුණේ දැවැන්ත චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම හරහා තමයි?

මේ වගේ දැවැන්ත, ආකර්ෂණීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙන කොට තමයි සිනමා ශාලාවලට වැඩිම ප්‍රේක්ෂකයෝ පිරිසක් එන්නේ. මෙබඳු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව අහිමිවීමෙන් සිනමා ශාලා හිිමියන්ට පාඩුවක් සිදු වෙනවා. ඒ වගේම පිට පළාත්වල ප්‍රේක්ෂක ජනතාවට සිදු වෙන්නෙත් අසාධාරණයක්. අර ප්‍රධාන සිනමාහල් තිස් පහෙන් චිත්‍රපටය ගලවලා ප්‍රදර්ශනය කරද්දී නෙගටිව් ඩැමේජ් වෙලා. ඒ කියන්නේ පරණ වෙච්ච චිත්‍රපට තමයි බලන්න වෙන්නේ.

* 60 – 70 දසකවල අපි දන්නවා චිත්‍රපටයක් ආදායම් වාර්තා තියන්නේ ෆ්ලෝ ඩවුන්ස්වලින්. ඒ කියන්නේ චිත්‍රපටය දෙවැනි වර ප්‍රදර්ශනය කිරීමෙන්. ඒ කාලේත් මහ ලොකු පිටපත් ප්‍රමාණයක් මුදා හැරියේ නැහැ?

එදාට වඩා අද තත්ත්වය වෙනස්. දැන් ජැක්සන් ඇන්තනිගේ ‘අබා’ චිත්‍රපටයෙන් තමයි මේ දැවැන්ත සිනමා ප්‍රවාහය ආරම්භ කළේ. ඒ නිසා ඊට පෙර එවැනි අවශ්‍යතාවක් පැන නැගුණේ නැහැ. අනෙක ඒ කාලේ චිත්‍රපට ශාලා හාරසීයක් විතර තිබුණනේ රටේ. යුද්ධය නිසා උතුරු - නැගෙනහිර සිනමාහල් විනාශ වුණා. 83 ජූලි කලබලවලදී සමහර සිනමාහල් ගිනි තිබ්බා. ඒ වගේම සිනමා ශාලා බිඳ දමල ඒ තැන්වල කර්මාන්ත ශාලා ඉදි කළා. සමහර ඒවා ටියුෂන් ශාලාවලට දුන්නා. නමුත් ඊට සාපේක්ෂව සිනමාහල් ඉදි වුණේ නැහැනේ. අනෙක අද තාක්ෂණය දියුණුයි. රටත් දියුණු වෙමින් පවතිනවා. එදාට වඩා ජනගහනය වර්ධනය වෙලා අද.

* අලුතින් සිනමාහල් ඉදි කළ යුතුයි කියන කාරණය ද ඔබ ඉස්මතු කරන්නේ ඔය?

මේ රටේ අලුතෙන් සිනමා ශාලා ඉදි වෙන්න ඕනෑ. මහා මාර්ග, ගුවන් පාලම්, අධිවේගී මාර්ග හැදෙනවා. සුපර් මාර්කට් අරිනවා. අලුතින් මස්කඩ පවා ඇරෙනවා. ඒත් අවශ්‍යතාවයට සරිලන පරිදි සිනමාහල් හැදෙන්නේ නෑ.

* හැදෙන්නේ නැත්තේමත් නැහැනේ?

සිනමාහල් හිමියන් කීප දෙනකුගේ උනන්දුව නිසා අලුත් සිනමාහල් කිහිපයක් හැදුණා තමයි. ඒත් අපේ සිනමාහල් වැඩි හරියක් එක්දාස් නවසිය පනස් ගණන්වල තිබූ ඒවා. ඉතින් ඒවා නවීකරණය කරලා සිනමාව වඩාත් සක්‍රීය කර්මාන්තයක් ලෙස ස්ථාපනය කරන්න රජය මගින් කුමන හෝ වැඩ පිළිවෙලක් දියත් කරන්න ඕනෑ. අද නෙගටිව් තාක්ෂණය වලපල්ලට ගිහින් ඩිජිටල් තාක්ෂණය අපේ සිනමාවට හඳුන්වා දෙන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ තාම. නමුත් අරක කරනවා. මේක කරනවා කියලා දැන් අවුරුදු දෙකක් තිස්සේ කියනවා.

* කවුද කියන්නේ?

කියන්නේ ඉතින් සිනමාවට සම්බන්ධ බලධාරීන්ම තමයි. එහෙම කිව්වට අපේ ඇස්වලට පේනවා ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොවන බව. පිටපත් 35 - 55 අර්බුදයට විසඳුම් පේන තෙක් මානෙක නෑ. එම සීමා පැනවීම නිසා සිනමාවට වෙන කිසිම සුගතියක් නෑ. කරන්න ඕනෑ ප්‍රධාන දේ තමයි අලුතෙන් සිනමාහල් ඉදි කිරීම හා ඩිජිටල් තාක්ෂණය අපේ සිනමාවට හඳුන්වාදීම.

* සිනමාහල් ඉදි වූ පමණින් හෝ ඩිජිටල් තාක්ෂණය භාවිත කළ පමණින් හෝ ප්‍රේක්ෂකාගාර පිරවිය හැකියැයි ඔබ සිතනවාද ?

ඇත්තෙන්ම එය අභියෝගයක්. මොකද අද ටෙලි නාට්‍යය කන්දරාවක් තියෙනවා ප්‍රේක්ෂකයන්ට නොමිලේ ගෙදර ඉඳන් බලන්න. දැන් හැම රූපවාහිනී නාළිකාවකින්ම පරණ චිත්‍රපට පෙන්වනවා. එතකොට ච්. ඍ. ච්. තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් බලන්න පුළුවන්. අද තියෙන තාක්‍ෂණයේ හැටියට මොබයිල් එකෙනුත් චිත්‍රපට බලන්න පුළුවන්. ඒ නිසා ප්‍රේක්‍ෂකයන් සිනමා ශාලාවලින් කැඩිලා ඉන්න අවස්ථාවක් මේක. ඒක ලෝකයේ බොහෝ රටවල සිද්ධ වුණා. නමුත් සිනමාව ප්‍රබලව තිබුණ රටවල එහෙම වුණේ නැහැ. දැන් අමෙරිකාවේ මොන තරම් අලුත් තාක්‍ෂණයක් තිබුණත් සිනමාව වැටුණෙ නෑ. ඒ අලුත් තාක්‍ෂණයට ගැළපෙන නිර්මාණ බිහි කළා ඔවුන්. නිර්මාණකරුවාට අනවශ්‍ය සීමා බාධක පැනවූයේ නැහැ. ඒ රටවල කොටින්ම අමෙරිකාවේ සෙන්සර් බෝඩ් එකකුත් නැහැනේ.

* අපටත් සෙන්සර් බෝඩ් එකක් අවශ්‍ය නෑ කියලද ඔබ කියන්නේ?

සමහරු සිනමාවේ නාමයෙන් වෙන, වෙන කුණුහරුප කරන නිසා ලංකාවට නම් එහෙම දෙයක් අවශ්‍යයි. අපේ සිනමාව රැක ගන්න එපායැ. මම කියන්නේ එහෙම නෙවෙයි මේක නිදහස්ව තියෙන්න ඕනෑ. සිනමාව කලාවක් වගේම කර්මාන්තයක්. එතකොට කර්මාන්තය ආරක්‍ෂා වෙන්නත් සිනමාකරුවා ආරක්‍ෂා වෙන්නත් මේකට තහංචි පනවන එක නෙවෙයි කරන්න ඕනෑ. සංස්ථාවෙන් කරන්න ඕනෑ සෑම නගරයකම අලුතින් සිනමා ශාලාවක් හෝ ඉදිකිරීමයි. මිනි තියටර් එකක් හරි හදන්න ඕනෑ. ඒවාට නවීන තාක්‍ෂණය මුසු කරන්න ඕනෑ. නෙළුම් පොකුණ හැදුවානම්, රන්මිහිතැන්න හැදුවානම්, කෝටි ගාණක් වියදම් කරලා අයිෆා කියලා සිනමා උළෙලක් පැවැත්තුවානම් ඇයි මේ සිනමාශාලා ටිකක් ඉදි කරන්න බැරි.

* ඊට ඔබම පිළිතුරු දුන්නොත්?

නැහැ එහෙම බැරි කමක් නැහැ. ජනාධිපතිතුමා ඒක කරනවා. නමුත් එතුමාට ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් දෙන්නෙ නැහැ. සිනමාවේ හතුරො ටිකකුත් සිනමාව ඇතුළෙම ඉන්නවා. ඒක අපි වටහා ගතයුතුයි. දැන් ආණ්ඩුවෙන් කියලද අපි චිත්‍රපට හදන්නේ. නැත්නම් චිත්‍රපට හැදුවේ නෑ කියලා ආණ්ඩුවෙන් අපිට දඬුවම් කරනවද? නෑ. අපි චිත්‍රපටයක් කරන්නේ ස්වේච්ඡාවෙන්. ව්‍යාපාරිකයකුට මුදල් තියෙනවා නම් එයාට කරවල බිස්නස් එකක් හරි කරන්න පුළුවන්. චිත්‍රපටයක් හදනවා කියන්නේ හරි අවදානම් වැඩක්. විශේෂයෙන්ම ලංකාවේ.

* එබඳු වටපිටාවක, චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී සීමා මායිම් පැනවීම් නොකළ යුතුම දෙයක් කියායි ඔබ යළි යළිත් අවධාරණය කර සිටින්නේ?

ඒකෙන් වෙන්නේ නිෂ්පාදකයා සිනමාවෙන් ඈත් වීම. දැන් මම මෙවැනි ආකර්ෂණීය චිත්‍රපටයක් කළේ ඒ සිනමා කෘතියට සාධාරණයක් කළ හැකි නිෂ්පාදකයකු සොයාගෙන. ‘විජය – කුවේණි’ වගේම ‘ඇහැළේපොළ කුමාරිහාමි’ චිත්‍රපටයටත් නිෂ්පාදනයෙන් දායක වුණේ ගයාන් රණධීර. ඔහු අවදානම පෙනි පෙනිත් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණේ සිනමාව කෙරෙහි ඔහුගේ ඇති ඇල්ම නිසාමයි.

* 2013 ජනවාරි 01 වැනි දාට පසු නිෂ්පාදන කටයුතු අරඹන චිත්‍රපට පිටපත් තිස්පහකට සීමාවිය යුතුයි කියන නීතිමය රාමුව තුළ හිඳ මේ ගැටලුව දෙස බැලුවොත් ඔබට අසාධාරණයක් සිදුව නැති බව මා පවසනවා?

අපි මේ චිත්‍රපටයේ පෙර නිෂ්පාදන කටයුතු ඇරඹුවේ ඔය කියන දිනයට ප්‍රථමයෙන්. 2013 ට එහා කතන්දරත් අපි දන්නවා. මෙහා කතන්දරත් දන්නවා. ඒවා සනාථ කළ හැකි නීතිමය ලිය කියවිලි අපි ළඟ තියෙනවා. චිත්‍රපටයේ පිටපත ලියැවී අවසන් වුණේ මෑතකදී කියලා සභාපතිතුමා කියනවා. පිටපත රූපගත කරන කොටත් අපි කපලා කොටලා හරි ගස්සනවා. ඒ නිසා පිටපතක් ගැන කතා කරන්න බෑ. විශේෂයෙන්ම ඓතිහාසික චිත්‍රපටයක වැඩ අරඹනවා කියන්නේ කලා අධ්‍යක්‍ෂවරයා සමඟ වැඩ ආරම්භ කිරීම. නිෂ්පාදක – අධ්‍යක්‍ෂ ගිවිසුම් අත්සන් කරන එක. එතකොට නීතිඥයකු ඉදිරිපිට අත්සන් කරලා කලා අධ්‍යක්‍ෂවරයා ඇතුළු ප්‍රධානම ශිල්පීන්ට අත්තිකාරම් මුදල් දීලා අපි මේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කරන්නේ ඔය කියන දිනයට කලින්.

* එය වගකීමෙන් කරන ප්‍රකාශයක්?

ඇයි නැත්තේ. ඒ සියලුම සාක්ෂි ලිඛිතව මා සතුව තිබෙනවා. එතකොට ඒවා තකන්නේ නැතුව “ඇහැළේපොළ කුමාරිහාමි”ට මොකක්දෝ තහංචියක් දමන්න චිත්‍රපට සංස්ථා සභාපතිතුමා උත්සහ කරන බවක් අපිට හැඟෙනවා. එතකොට එයා තිස්පහේ සීමාවේ දැඩිව සිටිනවා කියමුකෝ, කොහොමද එහෙනම් අපට දැන් පිටපත් හතළිස් පහක් ලැබුණේ.

* ඇත්තටම ඒක වුණේ කොහොමද?

ඒක තමයි කියන්නේ. දැන් ජනාධිපතිතුමා ගාවට ගිහින් කවුරු හරි ඇඬුවම එතුමා කරුණු සලකලා බලලා පිටපත් ප්‍රමාණය වැඩි කරන්න කියලා දැනුම් දෙනවා. එතකොට මොකක්ද නීතිය මේකේ. මොකක්ද සභාපතිතුමා ගේ මේ දෙබිඩි පිළිවෙත. කාටත් පොදු නීතියක් නෑ. අනෙක මේක සෝමරත්ත දිසානායකගෙයි, සුගත් සමරකෝන්ගෙයි ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. දැවැන්ත චිත්‍රපට කරපු, ඉදිරියට කරයි කියලා හිතෙන හැමෝගෙම ප්‍රශ්නයක්.

* නමුත් වැඩි සිනමා ශිල්පීන් පිරිසක් ඉන්නේ පිටපත් ප්‍රමාණය තිස්පහක් හෝ ඊට වඩා අඩුවිය යුතුයි කියන ස්ථාවරයේ නේද?

ඒක ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියක්. කවදාහරි මේ ප්‍රශ්නයට එයාලටත් මුහුණ දෙන්න වෙනවා දැවැන්ත චිත්‍රපටයක් කරනකොට. තමන්ට කෙළ වුණාට පස්සේ තමයි කවුරුත් කතා කරන්නේ. හෙට දවසේ මම නිහඬ වුණත් ඉදිරියේ කවුරු හරි මේ ගැන හඬක් නගයි. මොකද කිසිම දෙයක් අපට හිර කරලා, කොන්ට්‍රෝල් කරලා තියන්න බැහැනේ. මම සලකන්නේ චිත්‍රපට සංස්ථාව අම්මා නම් රජය තාත්තා. එතකොට මේ මවුපියන් ගේ දරුවො තමයි සිනමා කලාකරුවෝ. ඒ අම්මයි, තාත්තයි තමන්ගේ දරුවන්ගේ දියුණුවට මොනවද කරන්නේ. මේ උස් මහත් වුණ ළමයින්ට ඔවුන් කියනවා “උඹලා මේ පොඩි කාලෙ ඇඳපු ජංගි කොටේම ඇඳපල්ලා” කියලා. ඒ කියන්නේ වර්ධනය වෙන්න එපා. මුහුකුරා යන්න එපා කියන එකයි.

* වහෙන් ඔරෝ නැතුව කිව්වොත්?

“උඹලා ආකර්ෂණීය චිත්‍රපට හදන්න එපා. ඔය පොඩි මොනවා හරි දෙයක් කරගෙන හිටපල්ලා” කියලනේ ඔය කියන්නෙ. කරන්න පුළුවන් දෙයක්ද? ගහක් හිටෙව්වාම ඒකෙ ගෙඩි හැදෙනවා. මල් පුබුදිනවා. කාටවත් ඒක කොන්ට්‍රෝල් කරන්න බෑනේ. ඒක ස්වභාව ධර්මයනේ. මේක වෙලා තියෙන්නේ අර උපත් පාලනය කරන්න හදනවා වගේ දෙයක්. ඉතින් ඕක සාධාරණ නැහැ. මම කියන්නේ මේ හැම චිත්‍රපටයකටම පිටපත් පනස් පහක් අවශ්‍යයි කියන එක නෙවේ. සමහර විට හෙට මට ලෝ බජට් එකකින් පිටපත් විසිපහක ෆිල්ම් එකක් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒත් සීමා මායිම් පනවන්න එපා.

* ඔබ කියන්නේ පිටපත් ප්‍රමාණය කොපමණද කියා තීරණය කළ යුත්තේ නිෂ්පාදකවරයා කියලද?

විසිපහද, පනහද නැත්නම් සීයද කියලා තීරණය කළ යුත්තේ නිෂ්පාදකවරයා. මැද්දට පැනලා චිත්‍රපට සංස්ථාව ඇයි මේ නීති දාන්නේ. තහනම් පනවන්නේ. චිත්‍රපට සංස්ථාවට සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්න තව කොච්චර දේවල් තියෙනවාද? මේ කාලෙ කරන්න ඕනෑ ප්‍රධාන දෙයක් තමයි සිනමාහල් ඉදි කිරීම. චක්‍රලේඛයක් නිකුත් කරලා, රජයේ අනුමැතිය අරන් ඒ දේ කරන එක සහ නවීන තාක්‍ෂණය හඳුන්වා දෙන එක.

* චිත්‍රපට සංස්ථාව දැනටමත් එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා?

කොච්චර කල්ද? කියනවා විතරයි. කරන්නේ නෑනේ. මම මුලිනුත් කිව්වා වගේ මේ අවුරුද්ද අවසානයට පෙර ලෝකයේ බොහෝ රටවල් ඩිජිටල් තාක්‍ෂණයට එනවා. නමුත් තාම සංස්ථාවේ හෝල් එකවත් ඩිජිටල්කරණයට ලක්වෙලා නෑ. සැලසුමක් නෑ. මේවා අදූරදර්ශී දේවල්. ජනාධිපතිතුමා යුද්ධය ඉවර කළා වගේම, මේ රට සංවර්ධනය කරා ගෙන යනවා. ඒත් වත්මන් සිනමා අර්බුදය ගැන නිසියාකාරයෙන් කවුරුවත් ජනාධිපතිතුමා දැනුවත් කළේ නෑ.

* ඇයි ඔබට පුළුවන්නේ ඒ දේ කරන්න?

නෑ මම මේ චිත්‍රපටය එතුමාට පෙන්වන්න ගියා මිසක අර්බුද ගැන කියන්න ගියා නෙවෙයි. අනෙක සීමිත වෙලාවයි මට ලැබුණේ. ඉදිරිකාලයේදී අපි බලාපොරොත්තු වෙනවා එතුමන් හමු වී සිනමා අර්බුදය විසඳන්න තිබෙන දීර්ඝ කාලීන විසඳුම් ගැන කතා කරන්න. මම කියන්නේ එහෙම නෙවෙයි, සිනමා කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටින, රජයෙන් වැටුප් ලබන පිරිසක් ඉන්නවනේ. ඒත් ඔවුන් නිහඬයි. අද ඉහළම තාක්‍ෂණයයෙන් යුත් ඉංගී‍්‍රසි, දෙමළ, හින්දි චිත්‍රපට ලංකාවට එනවා. අපේ ප්‍රේක්‍ෂකයන් ග්‍රහණය කරගෙන ඒ චිත්‍රපට මෙහෙ හෝල්වල දුවනවා. ඉතින් එහෙම දුවද්දි තවත් තහංචි පැනවීමෙන් සිංහල සිනමාව වල පල්ලට දාන්නද මේ අය ඔය උත්සාහ කරන්නේ.

* ඔබට එහෙම හැඟෙනවා?

ඔව්, මොකද අපට ආනයනය කරන්න පුළුවන් ඕනෑ දෙයක් පිටරටකින්. අපට විදේශීය චිත්‍රපට ආනයනය කරන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඉතිහාසය පිළිබඳ මේ රටේ කලාකරුවෙක් නිර්මාණයක් කරනවා හැරෙන්න පරදේශක්කාරයෝ අපේ ඉතිහාසය ගැන චිත්‍රපට හදන්න එන්නෙ නෑ. අර කතාවක් තියෙනවානේ ඉතිහාසය පරාවර්තනය වෙනවා කියලා. සැබෑ කලාකරුවාගේ යුතුකම සහ වගකීම වර්තමානිකයාට ඒ ඉතිහාසය පිළිබඳ යථාවබෝධය ලබාදීමයි.

* “ඇහැළේපොළ කුමාරිහාමි” චිත්‍රපටය නිර්මාණය කරන්නට පසුබිම් වූ කිසියම් නිමිත්තක් ඔබට තිබුණා?

ඇහැළේපොළ කුමාරිහාමි, ඇතුළු දරුවන් අමු අමුවේ ඝාතනය කරලා, ඉතිහාසය ලෙයින් කඳුළින් නැහැ වූ ඒ දිනය උදාවුණේ මෙයින් අවුරුදු දෙසීයකට පෙර 1814 දී. මම කල්පනා කළා කලාකරුවෙක් හැටියට මේ ඓතිහාසික මොහොතේ මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මේ රටේ පුරවැසියෝ වෙනුවෙන් තමයි මම මේ චිත්‍රපටය හැදුවේ. මේක ජාතික වශයෙන් සංස්කෘතික වශයෙන්, ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් තියෙන දෙයක්.

* මෙබඳු ඓතිහාසික චිත්‍රපටයකින් වත්මන් සමාජයට ඔබ කියන්නට උත්සහ දරන්නේ කුමක්ද?

මේ චිත්‍රපටය නැරඹුවාම වීර මද්දුම බණ්ඩාර කෙනෙක් මේ රටේ හිටියා කියලා අපේ ඇඟට දැනෙනවා. අවුරුදු හතක පොඩි දරුවෙක්. මොන තරම් අභිමානවත් දරුවෙක්ද? ලෝක ඉතිහාසයේවත් අපට එච්චර එඩිතර දරුවෙක් ගැන අහන්න ලැබිලා නැහැ. අද ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න අපේ ළමයි මද්දුම බණ්ඩාර ගැන දන්නවද? නෑ. එතකොට වාරිපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ගැන දන්නවද? නෑ. අපේ ඉතිහාසය ගැන දන්නවද? නෑ. ඇහැළේපොළ ඉංගී‍්‍රසීන්ට රට පාවා දුන්නා කියලා තමයි අපි අහලා තියෙන්නේ. මම කියනවා නෑ කියලා. එතකොට ඇහැළේපොළ කුමාරිහාමි කවුද? ඇය අභිමානවත් හෙළ කුළ කතක් බවත්, ඇය අපේ කාන්තාවන්ට පරමාදර්ශී චරිතයක් බවත් වත්මන් පරපුරට අපි කියා දෙන්න ඕනෑ.

* මේ ඉතිහාසගත කතා පුවතට එහා ගිය යටි පෙළ අරුතක් “ඇහැළේපොළ කුමාරිහාමි” චිත්‍රපටය පුරා තිබෙන බව ඔබ ප්‍රකාශ කළා?

මේ රටේ සියලුම මැති ඇමැතිවරුන්ට මේ චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මේ චිත්‍රපටයෙන් මම ඔය මතුපිට පේන දේට වඩා සදාකාලික දේශපාලන බලඅරගලයක් ගැන ඇතුළාන්තයෙන් කියනවා. ඒකයි මම මේකට පාඨයක් යොදලා තියෙන්නේ “සදාකාලික දේශපාලන බල අරගලයේ සදානුස්මරණීය ඛේදවාචකය” කියලා. මේ දේශපාලන බල අරගලය සදාකාලිකයි. ඒ වගේම සදානුස්මරණීයයි. එදා වගේම අදත් මොල්ලිගොඩලා ඉන්නවා. අරිට්ටලා ඉන්නවා. මුල්ලේගමලා ඉන්නවා. ඒ වගේම ඇහැළේපොළලාත් ඉන්නවා. හැබැයි අද මද්දුම බණ්ඩාරලා නැහැ. මද්දුම බණ්ඩාරලා ඉන්ටර් නැෂනල් ස්කූල්වලට ගිහින්. කැප්පෙටිපොල ලා නෑ. අර

දුෂ්ටයෝ ටික නම් හැමදාම බිහිවෙනවා. ඒත් වීරයෝ බිහි වෙන්නෙ නෑ.

* ඒ වගේම වාරියපොල ශ්‍රී සුමංගල වගේ හිමිවරු අද නෑ?

අසාධාරණයට එරෙහිව හඬ නගන හිමිවරුන් අද නැතුවාම නෙවෙයි. වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ චරිතය ඔවුන්ට හොඳ උත්තේජනයක් ලබා දෙනවා.

* ජැක්සන් ඇන්තනි මේ චිත්‍රපටයේ “ශ්‍රී වික්‍රම රාජසිංහ” රජු ලෙස අද්විතීය රංගනයක නියැළෙන බව මගේ අදහසයි. මම හිතන්නේ නළු, නිළියන් තෝරා ගැනීමේදී ඔබ විශේෂ පරිශ්‍රමයක් දැරුවා?

ඔව්, ඇත්ත වශයෙන්ම දැන් හොලිවුඩයේ නම් වෙනම කොම්පැනි මඟින් තමයි ඒ ඒ චරිතවලට ගැළපෙන නළු, නිළියෝ තෝරා දෙන්නේ. මම අධ්‍යක්‍ෂවරයා හැටියට මගේ

නිෂ්පාදකවරයාට ඒ දේත් නොමිලේ කරලා දුන්නා. රාජසිංහ රජු වඩුග රජෙක් වුණත් ඔහු සිංහල බස හොඳින් කතා කළා. ඔහු මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක්. ඒ වගේම පෞරුෂයක් තිබූ රජෙක්. ඔහුගේ රංගනය තුළ විවිධාකාර පරාසයන් පෙන්වන්න සිදු වෙනවා. එය සාමාන්‍ය රංගන ශිල්පියකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජැක්සන් ඒක හරියටම කළා. බාහිර රූපයෙන් වගේම ඇතුළාන්තයෙනුත් ඒ චරිතයට හොඳින්ම ජැක්සන් ගැළපුණා. රාජසිංහ රජුගේ උසට පවා. ඉතින් අනෙක් නළු, නිළියනුත් තමන්ගේ රංගන ධාරිතාව අඩු වැඩි වශයෙන් “ඇහැළේපොළ කුමාරිහාමි” ට මුදා හැර තිබෙනවා. අධ්‍යක්‍ෂවරයා හැටියට ඉන් සෑහීමට පත් වෙන්න මට පුළුවන්.

* මේ චිත්‍රපටය ජනාධිපතිතුමන් නැරඹුවා. එතුමාගේ අදහස වුණේ මොකක්ද?

ඇත්තටම එතුමා චිත්‍රපටය නරඹන්න ආවේ “මට මහන්සියි පැයක් විතර බලන්නම්” කියලයි. නමුත් එතුමා මුළු චිත්‍රපටයම නැරඹුවා. මා හිටියේ එතුමන් අසලින්ම අසුන්ගෙනයි. යම්, යම් අවස්ථාවල මගෙන් යම්, යම් ප්‍රශ්න ඇසුවාම එතුමාට මම ඒවාට පිළිතුරු දුන්නා. චිත්‍රපටය අගය කළා මිසක ඒ ගැන දොසක් කිව්වේ නෑ. මම හිතන්නේ එතුමාට දොසක් නගන්න දෙයක් චිත්‍රපටයේ තිබෙන්නට නැතුව ඇති.