වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




වින්සන්ට් සෝමපාල උපහාර ‘සිසු ගී රස වින්දන’ පිළියන්දල දී

වින්සන්ට් සෝමපාල උපහාර ‘සිසු ගී රස වින්දන’ පිළියන්දල දී

පිළියන්දල ගයත්‍රි කලායතනයේ සිසු දරු දැරියන් ඉදිරිපත් කරන ‘සිසු ගී රස වින්දන’ ළමා ගී ප්‍රසංගය මෙම 10 වැනිදා සවස පිළියන්දල නගර සභා රංග ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රකට වයලීන වාදන ශිල්පියකු වන සංගීතවේදී විජේසිරි ගෝවින්දයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘ගයත්‍රි කලායතනය’ වසර පනහකටත් වඩා පැරැණි අතීතයකට උරුමකම් කියන කලායතනයකි.

එහි පුරෝගාමියා වූයේ ප්‍රකට සංගීත ශාස්ත්‍රධරයකු වූ කලාසූරී වින්සන්ට් සෝමපාලයන්ය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ජයන්ත අරවින්දයන්ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සමඟ සිංහල නාට්‍ය සංගීතයට නව පණක් දුන් හෙතෙම ජීවිතය සංගීතය කරගත් විදග්ධ සංගීතඥයෙකි. මේ සංගීත පවුලේ ඊළඟ සාමාජිකයා වන්නේ විජේසිරි ගෝවින්දය.

හෙළ කවි ගායනය තුළින් ජාතික සංගීතයක් ගොඩ නගාලීමේ ප්‍රථම අඩිතාලම වශයෙන් සෝමපාලයන් 1942 දී කුමාරතුංග මුනිදාසයන් සමඟ එක්ව ‘හෙළ මියැසිය’ නමින් මහාර්ඝ සංගීත ග්‍රන්ථයක් සම්පාදනය කළෝය.

පසුව “තාල ඥානය, දසතාල ලක්‍ෂණ, ගීත තරංගනී, ශිෂ්ට ගීත, පාසල් ගී, ගීත කලානිධි, තාලනාම විනිශ්චය, සංගීත පදාර්ථය වැනි තවත් ශාස්ත්‍රීය සංගීත ග්‍රන්ථ කිහිපයක්ම ජාතියට දායාද කළේය.

එමෙන්ම ‘මවුපියො ආදී සොඳුරු තමාගේ, ශ්‍රී රාහුල හිමිගෙ නාමේ, ශිල්ප සතර තුම් ලෝක, නින්දා නොමදේවි’ වැනි ප්‍රකට ගැමෆෝන් ගිතවල පද රචකයාද ඔහු විය.

පණ්ඩිත් අමරදේව, ප්‍රේමදාස මුදුන්කොටුව, බැසිල් මිහිරිපැන්න, නීලා වික්‍රමසිංහ, පුන්‍යා කත්‍රිආරච්චි, ජයන්ත අරවින්ද, නීතා මංගලිකා වැනි ශිෂ්‍ය පිරිසක් ඔහු බිහි කළේය.

මෙරට සංගීත කේෂ්ත්‍රයට එවන් වූ සුවිසාල මෙහෙයක් ඉටු කළ සංගීතවේදී වින්සන්ට් සෝමපාලයන් හට නැත්නම් තම පියාට පුදන උපහාරයක් ලෙසින් මෙම ‘සිසු ගී රස වින්දන’ ළමා ප්‍රසංගය විජේසිරි ගෝවින්දයන් විසින් පවත්වනු ලැබේ.

ගුවන් විදුලිය තුළ ජනපි‍්‍රය චරිතයක් වන විජේසිරි වාදන ශිල්පියකුට වඩා කා අතරත් ප්‍රසිද්ධව ඇත්තේ විහිළු කතා කීමේ රුසියකු ලෙසය. මේ ඔහුගේ තොරතුරු සහ ප්‍රසංගය පිළිබඳ කෙරුණු කතාබහකි.

ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නෙ වයලීන් වාදකයකු ලෙස?

ඔව්, මුලින්ම මම සහභාගි වුණේ ‘හඳමාමා’ වැඩසටහනට වයලින් වාදකයෙක් ලෙස. ඒ 1968 වසරේ. එදා පටන් අද දක්වාමත් ‘හඳමාමා’ ට වයලින් ගහනවා.

සෑහෙන කාලයක් නේද?

ඔවි, අව්රුදු 46 ක් විතර.

ඒක වාර්තාවක් වෙන්නත් ඇති?

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මම වගේම සුමනා ජයතිලක මහත්මියත් මට පෙර සිටම තවම මේ වැඩසටහන මෙහෙයවනවා. ඒකත් වාර්තාවක් වෙන්න ඇති.

මොනවගේ වැඩසටහන් වලටද ඔබ මේ කාලය තුළ සහභාගි වුණේ?

ගොඩක්ම කළේ ළමා වැඩසටහන්. හඳමාමා, ටිකිරි සිනා, මල් කැකුළු, පුංචි ගීත වගේ වැඩසටහන් සහ ළමා පිටියෙ වැඩසටහන් රාශියක් කළා. ඒ වගේම ගුවන් විදුලියෙන් කළ ලංකාවේ ප්‍රථම ළමා ගීත කැසට් පටයටත් මට පණ්ඩිත් අමරදේව, සනත් නන්දසිරි, ටියුලින් ජයරත්න, ලයනල් අල්ගම සමඟ ගීතයක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා.

ඇයි ළමා වැඩසටහන් සඳහා මෙපමණ කැමැත්තක්?

මම ළමයි එක්ක වැඩකරන්න හරි ආසයි. පුංචි ඈයො මල් වගේ කියනවනේ. ඔවුන් එක්ක වැඩ කරද්දි ලොකු තෘප්තියක් ලැබෙනවා. කොහෙදි හරි දක්‍ෂ දරුවෙක් මට හමු වුණොත් ගුවන් විදුලියට ගෙනල්ලා ඔහුට යන්න ඕන පාර කියා දෙනවා. ඒක මගේ එදා ඉඳන්ම තිබුණු පුරුද්දක්.

ඔබේ සේවා කාලය තුළ අනියම් සේවකයෙක් ලෙස වැඩිම කාලයක් හිඳ වාර්තාවක් තිබ්බා කියන්නේ ඇත්තද?

ඔව්, අනියම් සේවකයෙක් ලෙස මම අවුරුදු 21 ක් වැඩ කළා. ඊට පස්සෙ තමයි ස්ථිර කළේ. ස්ථිර සේවකයෙක් ලෙස වැඩකරන්න ලැබුණෙ අවුරුදු 11 යි. විශ්‍රාම යන්න වුණා. දැන් සහන සේවකයෙක් විදියට අවුරුදු 14 ක ඉඳන් වැඩකරනවා.

ඇයි ස්ථිර කරන්න මෙච්චර කාලයක් ගියේ?

ගුවන් විදුලියෙ තිබුණෙ කාටර් ක්‍රමයක්. පස් දෙනෙක් විතර මැරුණට පස්සෙ එක්කෙනෙක් ස්ථිර කරනවා.

හේතුව?

ඒ කියන්නෙ වාදක මණ්ඩලයට ඉන්නෙ සාමාජිකයන් 28 දෙනයි. මේ 28 තමයි හැමදාම ඉන්නේ. ඒක අඩුවෙන්න අඩුවෙන්න තමයි කෙනෙක් ස්ථිර කරන්නේ. ඉතින් මගේ වාරය එන තුරු අවුරුදු 21 ක් බලාගෙන ඉන්න වුණා.

ගුවන් විදුලියෙ යාළුවො ටික ඔබ එනකම් හැමදාම බලාගෙන ඉන්නවා කියන්නෙ මොකද?

ඒ මගේ රස කතා අහන්න. ඒවා මුළු ගුවන් විදුලියෙම ප්‍රසිද්ධයි. සමහර වෙලාවට වාදක මණ්ඩලයේ අයට පිටරට සංචාරවලට ආරාධනා ලැබෙනවා ප්‍රසංගවලට. මම ඒවාට නොගියත් ඔවුන් යන්නේ මගේ කතා නැවත නැවත මතක්කර රස විඳිමින්.

ඒ කාලයයි අදයි බලනකොට ගුවන් විදුලි ජීවිතය කොහොමද ඔබට දැනෙන්නේ?

ඉස්සර අපි ගුවන් විදුලියට ගියේ හරිම ආසාවෙන්. දැන් ඒ තත්ත්වය නෑ.

ඇයි ඒ?

දැන් පරණ අය කවුරුත් නෑ. අලුත් අය අපිත් එක්ක මුහු වෙන්නෙ නෑ. ඒ කාලෙ අපි වැඩ කළේ තෘප්තියට. දැන් අය වැඩකරන්නේ සල්ලිවලට.

රස්සාවක් කරන්නෙ සල්ලිවලට නේද?

ඔව්, ඊට වැඩිය අපි කලාවට ආසයි. ඒකයි තවමත් යන්නේ. ගුවන් විදුලියෙන් ලොකු ගණන් ගෙවන්නෙ නැහැ අපිට. ඒත් අපි ආසයි එතන නිකං හරි වයලින් ගහලා එන්න. අපි ඒකට ගොඩක් ආදරෙයි.

ගුවන් විදුලියෙන් දැන් හොඳ ගීත නිර්මාණය නොවන්නට මේකත් හේතුවක්ද?

ඔව්, ඉස්සර සිංදුවක් කියන්න ගායකයෙක් ආවහම වාදක මණ්ඩලය ඔහුට උපරිමයෙන් උදවු කරනවා. සිංදුවෙ තියෙන වැරදි හදනවා. ‘මචං මේක මෙහෙම කරමු’ කියලා අඩුපාඩු හදාගන්නවා. දැන් ඒවා නෑ. ගැහුවා සල්ලි ගත්තා ගියා. සිංදුව ගියත් එකයි නැතත් එකයි. ඉතින් කොහොමද හොඳ සිංදු හැදෙන්නෙ.

ඔබත් පියාගෙන්ද සංගීතය ඉගෙන ගත්තෙ?

නැහැ, ගෙදර ඉන්න දොස්තරගෙන් ගෙදර අය බේත් ගන්නෙ නැහැ වගේ මම තාත්තගෙන් ඉගෙන ගත්තේ නැහැ. තාත්තා සැරයි, කේන්ති යනවා. මම හිතුවක්කාරයි. ඉතින් අපි දෙන්නට එකට වැඩ කරන්න බැරි වුණා. මම ඉගෙන ගත්තෙ නුවර එම්. ජී. පී. කලායතනයේ. තාත්තම තමයි මාව නුවර එක්කගෙන ගියේ ‘වරෙන් යන්න. උඹට මාව හරියන්නෙ නැහැ’ කියලා. හැබැයි මගේ අයියා ජයන්ත අරවින්ද, අක්කා නීතා මංගලිකා සහ මල්ලි තාත්තගෙන් සංගීතය ඉගෙන ගත්තා.

අපි දැන් ‘සිසු ගී රස වින්දන’ ප්‍රසංගය පිළිබඳ පොඩ්ඩක් කතා කරමු?

තාත්තගෙ අභාවයෙන් පස්සෙ තමයි මම ගයත්‍රි කලායතනය අභාවයට යන්න නොදී භාර ගත්තේ. ඉතින් තාත්තට කරන උපහාරයක් ලෙසයි මේ ප්‍රසංගය කරන්නේ. මම සංගීතය නිර්මාණය කරලා ප්‍රසංගයක් කරන එක තමයි එතුමාට කරන ලොකුම උපහාරය කියලා හිතුවා. ඉතින් මගේ කලායතනයේ දරුවෝ තමයි මේ ගීත සියල්ලම ගායනා කරන්නෙ සහ වාදනය කරන්නෙ. ඒක මට විශාල තෘප්තියක්. මම පොදුවේ සියලු දෙනාට ආරාධනා කරනවා එදාට මෙය නරඹන්න එන්න කියලා.

කවුද මේ සඳහා අතහිත දුන් පිරිස?

විශේෂයෙන් මගේ බිරිඳ කුසුමා කත්‍රිආරච්චි ඇය මගේ සෙවණැල්ල වගේ පිටුපසින් සිට හැමදෙයම සොයා බලනවා. මේ සඳහා ගීත කිහිපයකුත් ඇය ලියා දුන්නා. ඒ වගේම මා මිත්‍ර හෙක්ටර් විජේකෝන් මෙහි ගීත වැඩි ප්‍රමාණයක් රචනා කළා ඔහු ඇතුළු පවුලේ සියලු දෙනාවත් උදව්කළ සැමත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.