වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දේශය හැමදාමත් රැකුනේ චීවරය නිසා

මේ දේශය හැමදාමත් රැකුනේ චීවරය නිසා

සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව
07 කොටස

හාත්පස මුළු පරිසරයම නිහඬය. ඒ නිහඬ බව අතරෙන් ඇදී එන කුරුලු කූජන නාදය සුමංගල හිමිගේ සමාධිය බිඳ දැමීමට සමත් විය. බෝ මළුවෙහි එකත්පස්ව හිඳ සිටින සුමංගල හිමියන් සිටියේ යළිත් සිත එකඟකර ගැනීමේ ප්‍රයත්නයකය. ජලයෙහි නැඟී සිඳී යන පෙණ බුබුළක් මෙන් වරින්වර උඩු සිතට පිවිසෙන සිතුවිලි අතර සිටියේ රජු හා ඇහැළේපොළය. ඔවුන් දෙදෙනා අතර සමඟියක් ඇති කිරීමේ අදහසෙන් සුමංගල හිමි මාලිගයට ගියද සිදුවූයේ අනෙකකි.

‘මුසාවලටත්, කේළම්වලටත් රටක් ගිනි තියන්න පුළුවන් රජතුමනි. රජෙක් විදියට ඔබ මේවා තේරුම් නොගැනීමෙන් වෙන්නේ මහා විනාශයක්’. වැඳ ගෞරව කරන රජුට සුමංගල හිමි පැවසුවේ යමක් තේරුම් කිරිමේ පසුබිම මුල් කරගෙනය.

‘ඔබ වහන්සේට අවශ්‍ය දේ මට කෙටියෙන් කියන්ට’

රජුගේ සිතෙහි වූ නොමනාපය වචනවල ගැබ්ව තිබුණි.

‘ඇහැළේපොළ කකුධ භාණ්ඩ හදන්නේ ඔබතුමාට තෑගි දෙන්ට

සුමංගල හිමියන්ගේ ප්‍රකාශය අභිමුවෙහි මුළු රාජ සභාවෙන්ම නැඟුණු කොක් හඬ පරදා නැඟී සිටියේ රජුගේ ස්වරයයි.

‘මට පිත්තල භාණ්ඩ තෑගි දීපු එකා රන් ඔටුනු තෑගි දෙන්ට. ඔබ වහන්සේ උත්සාහ කරන්නේ මාව වෘෂභ රාජයෙක් කරලා තමන්ට හිතවත් ඇහැළේපොළව සිංහ රාජයෙක් කරලා රජ කරවන්නද’

නොසන්සුන් බවෙන් එහා මෙහා යන රජුගේ ගමන නැවතුණේ අරිට්ඨගේ ඇමතීමෙනි.

‘රජතුමනි, හෙළි වූ රහස අනික් පැත්ත හරවලා ඇහැළේපොළ බේරා ගැනීමට කරන උත්සාහයක් මේක’

‘ඔබ වහන්සේ උත්සාහ කරන්නේ ඇහැළේපොළ බේරා ගන්ට’

මුල්ලේගමගේ ස්වරයද එක්වරම එළියට පැන්නේය. සිතට ඇති වූ කෝපය පාලනය කරගත් සුමංගල හිමියෝ තම වාසිය තකා කටයුතු කරන මුල්ලේගම දෙස බැලුවේ ඔහුව දවාඅළු කරන බැල්මකිනි.

‘තොපි උත්සාහ කරන්නේ තොපේ වාසියට රජුව නොමග යවන්න’

සුමංගල හිමි පිළිතුරු බැන්දේ මුල්ලේගමත්, මොල්ලිගොඩත් දෙස බැලුම් හෙළමිනි.

‘උන් උත්සාහ කරන්නේ මාව බේරා ගන්න. චීවරයේ ගෞරවය රැකගෙන යන්ට පුළුවන්’

රජුගේ නොපහත් ස්වරය කියාපෑවේ සුමංගල හිමියන්වද ප්‍රතික්ෂේප කරන බවකි.

‘තොපි ඔක්කොම දැන ගනියව් මේ දේශය හැමදාමත් රැකුනේ මේ චීවරය නිසා කියලා. ඇහැළේපොළ ඉංගී‍්‍රසින්ට තල්ලු කරන එකේ ප්‍රතිඵලය භයානකයි බොලව්’

උන්වහන්සේ වේගයෙන් පැවසුවේ සියල්ලන්ටම ඇසෙන්නටය.

‘කිමෙක්ද බොලව් ඒ කතාවේ තේරුම’

‘ඇහැළේපොළ ඉංගී‍්‍රසින්ට එකතු කරවලා අපිට ගස්සනවා කියන එක රජතුමනි’

මොල්ලිගොඩගේ ස්වරය යළි යළිත් සුමංගල හිමිගේ සිතට සිහිපත් වූයේ සිය කනට යොවුලකින් අනින්නාක් මෙනි. භාවනාව පසෙක තබා සුමංගල හිමි බෝ මළුවෙන් නැඟිට ගත්තේ කුමාරිහාමි ඇතුළු පිරිස මැඳුරු අඩස්සියෙන් බේරා ගැනීමට යමක් කළ යුතු යැයි හැඟී ගිය හෙයිනි.

බටුගෙදර තානායම අවට එකම යුදපිටියකි. කම්හල්වල යකඩ තලන හඬ මුළු පරිසරයේම ගිගුම් දෙයි. ඒ හඬ පරයා ඇසෙන්නේ කඩු ගැටෙන හඩත්, රණ හඬත්ය. බොහෝදෙනා සටන් පුහුණු වන්නේ එකිනෙකා පරදවමිනි. ඉහළ මාලයෙහි උන් ඇහැළේපොළ, ඔහු සමඟ මරණයට ද යන්නට නොබියව සටනට යන්නට පෙළ ගැසී සිටින මේ ළෙන්ගතු මිතුරු පිරිස දෙස බලාගෙන සිටියේ හදවතේ නැඟුණු අපරිමිත ස්නේහයෙනි.

‘වඩිග රජා පරාජය කරලා තම දරු පවුල වගේම රටත් රැක ගන්න ඕනෑ’

ඔහු තමාට සපත වූයේය. කළවානේ වීරකෝන්, ජීවප්පු, වතියගේ රාළ ඇතුළු පිරිස උඩරට බලා ගියේ එහි පළමු පියවර තබන්නටය. තම දරු පවුල වඩුග රජාගෙන් බේරා ගන්නටය. ඔවුන් නැවත පිවිසෙන තුරු ඇහැළේපොළ සිටියේ නොඉවසිල්ලෙනි. තවත් මොහොතකින් ඔහු සටන්කරුවන් හා එක්වූයේ ඒ නොඉවසිල්ල දරාගත නොහැකි වූ බැවිනි.

රහසිගතව සුමංගල හිමියන් හමු වී තල්පත බාරදුන් කලවානේ ඇතුළු පිරිස ඇඳුණේ ඇහැළේපොළ වලව්ව මායිම දෙසටය. හතර වටින් වටකර මුරකාවල් යොදා ඇති වළව්වට ඇතුළු වීම පහසු කටයුත්තක් නොවේ. කළවානේගේ සිතෙහි රඟ දුන් අදහසම අනෙක් අයගේ සිත්වල පහළ වූ බැවින් දෝ එකිනකාගේ මුහුණු බැලූයේ ඉබේමය. කතිකා කර ගත් පරිදි වළව්ව පිටුපසින් ඇතුළු වන ඔවුන්ට අසලට පිවිසියේ ඊතල කිහිපයකි. කිහිප දෙනෙක් බිම වැටුණ ද වට කළ රාජ පුරුෂයන්ට පරාජය භාර දී ඔවුන්ට හිස් අතින් ආපසු යා නොහැකිය. ඔවුහු දිවි හිමියන් සටන් කරන්නට වූහ. එහෙත් වරින් වර ඔවුන් ඉලක්ක කර පැමිණෙන ඊතල වැදී එකා දෙන්නා බිම ඇද වැටෙයි. කළවානේ සිය පපුවට වැදුනු ඊතල පහර කාගෙන වීරකෝන්ට ළං වී ඔහු අත හසුන තැබුවේ ජීවත් වන්නට තවත් දිගු කාලයක් නොමැති බැව්දත් නිසාය. ඉණෙහි ගසා ගත් හසුන රැගෙන ඔහුට යා හැකි වූයේ පෑළ දොර දක්වා පමණී. ඔහු ඉලක්ක කර ගත් ඊතලය වීරකෝන් සොයා ආවේ මේ අතරය. එහෙත් තම උත්සාහය අත් නොහැරිය වීරකෝන් පෑළ දොරට තට්ටු කළේ අවසාන තත්පරයෙහි තම යුතුකම ඉටු කරන්නටය.

‘පහත රටින් නිලිමේතුමා යුද්ධයට එන්න ලෑස්තියි. කුමාරිහාමියි දරුවොයි ආරක්ෂාකාරි තැනකට අරගෙන යන්න’

පෑළ දොරෙන් මතුවුණු මාංපිටියේ කුමාරයාට වීරකෝන්ට කියා ගත හැකි වූයේ එපමණකි. ඔහු බිම ඇද වැටුණේය. ඔහුව වටකර ගත් රාජ පුරුෂයෝ බිම ඇදගෙන යන අයුරු මාංපිටියේ කුමාරයා බලා සිටියේ සිදු වූයේ කුමක්දැයි අදහා ගන්නට බැරි විලසිනි. පෑළ දොර වෙත දුවගෙන පැමිණි කුමාරිහාමි ඇතුළු අනෙක් පිරිස ඇතුළට ඇද ගත් ඔහු දොර වසා දැම්මේ සිතෙහි ඇති වුණු කෝපය පිටකර හරින්නට මෙනි.

ඒ වන විටත් රජු සිටියේ තදින් මත්පැනට ඇබ්බැහි වීය. ඇමති මණ්ඩලයට ඔහු මත්පැන් බී නොසිටි මොහොතක් සොයා ගැනීමට නොහැකි තරම්ය.

‘ තරහ අවසර, මත්පැන් වැඩිපුර ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන් නේද රජතුමනි’

අරිට්ඨ පැවසුවේ මෙලෙස මත්පැන් බීම නිසා රජු විනාශය කරා ඇද වැටේ යැයි යන බිය සිතෙහි හටගත් බැවිනි.

‘තොගේ මෑණියන්ගේ රෙද්ද. හෙට අනිද්දා ඇහැළේපොළ ඉංග්‍රීසින් එක්ක එකතු වෙලා තොපිටයි මටයි කෙලවලා ඇරියම මගෙයි තොපෙයි ශරීර සෞඛය කොහොමට හිටියිද?’

රජු අත ඇති කුසලානයෙහි වූ ඉතිරි මත්පැන් ටික කටට හලා ගත්තේ දැඩි කෑදරකමකිනි. එකෙනෙහි චරපුරුෂයන් රැගෙන පැමිණියේ පණිවුඩයකි. සිය අත ඇති හසුන රජු අතට පත් කළ ඔවුහු නික්ම ගියහ.

‘වීරකෝන්ලා, කලවානෙලා එක්ක පහත රටට එන්නේ මැණිකේ. යුද්දේ පටන් ගන්න යන්නේ. මං එවන්නම් උඹේ මැණිකේව බලාගෙන ඉඳපන්’

රජු කෑගසන්නේ උස් හඬින් සිනහවෙමිනි. අත ඇති අනෙක් තල්පත කියවන තුරු රජු දෙස බලා සිටින මොල්ලිගොඩ සිතන්නේ තම සිතැඟි ඇති අදහස ක්‍රියාත්මක කිරීමට සුදුසුම අවස්ථාව මෙය නොවේදැයි යන්නය.

‘උඩරටට පහර දෙන්ට එන්ට පෙර කුමාරිහාමියි දරුවොයි බේර ගන්නලු ඇහැළෙපොළගේ සැලැස්ම. කැප්පෙටිපොළ කරන්න හදන්නේත් ඒකමයි’

මුල්ලේගම කෝපයට පත් වී සිටින රජු තව තවත් ප්‍රකෝප කරන්නේ ඔවුන්ගේ කුමන්ත්‍රණය පල දරන්නට අවශ්‍ය පසුබිම ගොඩනගා ගන්නටය.

‘ඔබ වහන්සේගෙයි අපෙයි ඉවසීම උන්ට වාසියක්’

මොල්ලිගොඩගේ වචනය සැල වූ සැනෙන් රජු අලුත් අදහසක් ප්‍රකාශයට පත් කළේය.

‘ඔව් මම තවත් ඉවසන්නේ නෑ. ගෙනාපියව් ඇහැළේපොළයගේ පවුලම හෙට හිමිදිරියේ බෝගම්බර සිර මැදිරියට. මාවත දිගේ. ප්‍රසිද්ධියේ මිරිවැඩි නැතිවම.

මොල්ලිගොඩගේ මුහුණෙහි වූයේ උපහාසාත්මක සිනහවකි. ඒ උපහාසාත්මක සිනහවේ අරුථ තේරුම් ගත් සැනෙන් මුල්ලේගමගේ මුහුණට ද නැඟුණේ සිනහවකි.

තවත් කොටසක් ලබන සතියේ

පසුගිය කොටස්

01 කොටස - උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්

02 කොටස - කිළිකුණු ඇති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්

03 කොටස - අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි

04 කොටස -නුවර කලාවියේ උන්ට නැති බදු සබරගමුවේ උන්ට

05 කොටස - සදාකාලික දේශපාලන බල අරගලය සදා අනුස්මරණීය ඛේදවාවකයකි

06 කොටස - අපේ සිහසුන වඩුග පරම්පරාවෙන් ආපහු ගන්නට ඕන