වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සැබෑ ජීවිතයේ සුජීව වේදිකාවේ ලෝරන්ස්

සැබෑ ජීවිතයේ සුජීව වේදිකාවේ ලෝරන්ස්

දුලීකා ඇත්තටම කාගේ මනාලියද?
 

මනමාලි කතාවේ ඇත්ත නැත්ත සුජීව හා දුලීකා පවසති

සුජීව පි‍්‍රයලාල් කාලයකට පස්සේ වේදිකා නාට්‍යයක් අරගෙන වේදිකාවට එනවා. ඒ ‘ලෝරන්ස්ගේ මනමාලි’ නමින්. එහි මංගල දර්ශනය මේ මාසේ 13,14 දිනවලදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත වෙන්නේ කාලයක පටන් සුජීවගේ හිතේ තිබුණු සිහිනයක් සැබෑ කරමින්. දුලීකා මාරපන කාලයකට පස්සේ වේදිකාවේ ප්‍රධාන චරිතයකට පණ පොවන “ ලෝරන්ස්ගේ මනමාලි” පිළිබඳ අපට කියන්නට සුජීවත් සමඟම දුලීකාත් කතාබහට එක් වුණා.

2011 වසරේ මා අධ්‍යක්ෂණය කළ "සෙනෙහෙබර ධනුද්දර" වේදිකා නාට්‍යයෙන් පස්සෙයි “ලෝරන්ස්ගේ මනමාලි” වේදිකාවට අරගෙන එන්නේ. මෙහි හේමන්ත ප්‍රසාද් ලියූ පිටපතට දුලීකා මාරපන, මාලි ජයවීර, සම්පත් ජයවීර, හේමන්ත ප්‍රසාද් වගේම මමත් රංගනයෙන් දායක වෙනවා. ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයක් වුණු “ලෝරන්ස්ගේ මනමාලි” කියන්නේ හාස්‍ය මුසු වේදිකා නාට්‍යයක්. අපේ ජීවිතයේදී අප ආශා කරන, බලාපොරොත්තු වන දේ ලබාගන්න අපට විවිධ මවාපෑම්, ආටෝප කරන්න සිද්ධ වෙනවා. මොහොතකින් ඒ සියල්ල බිඳ වැටිලා යථාර්ථයක් බවට පත්වුණාට පස්සේ අපි අසරණ වෙනවා. ‘ලෝරන්ස්ගේ මනමාලි’ නාට්‍ය හරහා මේ තත්ත්වය දෙස සානුකම්පිතව බලන්නයි අප මේ උත්සහ කරන්නේ. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට හාස්‍යයක් ඉපදේවි. ඔවුන් සිනහසේවි.

වර්තමානයේ හාස්‍යෝත්පාදක නාට්‍ය බිහිවන්නේ රැල්ලක් ලෙසින්. ඒ රැල්ලේ ගමන් කිරීමක් ද ඔබත් මේ කරන්නේ?

මේ ගැන මම හිතන්නේ මෙහෙමයි. උදාහරණයක් විදියට අපි ප්‍රේම ගීත, ප්‍රේම කතා, ප්‍රේමය පිළිබඳ චිත්‍රපට ආදී නිර්මාණ බිහි කරන්නේ ඒ දේ අපේ ළඟ නැති නිසයි. ඒ නිසා නිතරම නිර්මාණයක් බවට පත් වෙන්නේ අපේ ළඟ නැති දෙයක්. වර්තමානයේදී බොහෝ නිර්මාණකරුවන් අතරින් හාස්‍ය මුසු නිර්මාණ බිහිවෙන්නත් බලපෑවේ මේ කාරණයම කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අද වනවිට සිනහව, සතුට, ප්‍රීතිය අපගේ ජීවිතවලින් ඈත්වෙලා.

ඒ වුණත් අපි සියල්ලන්ම සිනහ වෙන්න කැමැතියි. සිනහවට ඉල්ලුමක් තිබෙනවා. ඔවුන් එය සපුරා ගන්නේ එවැනි නිර්මාණ නරඹලයි. ඒ නිසා එවැනි හාස්‍ය මුසු නිර්මාණ දිගින් දිගටම නිර්මාණය වෙන්න ඒ පසුබිම බලපෑවා. කොහොම නමුත් මේ බිහි වූ විවිධ හාස්‍ය නිර්මාණ සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබෙන බවත් ඇත්තක්. එහෙම වුණත් මගේ මේ වේදිකා නාට්‍යයේ තිබෙන්නේ බොළඳ හාස්‍ය නොවෙයි. ජීවිතයේදී නිරන්තරයෙන්ම අප මුහුණ දෙන, බොහෝ දේ සඳහා අපිම අනික් පැත්තට හැරිලා සිනහවීමක් තමයි මෙහිදී සිදු වන්නේ”

මේ වේදිකා නාට්‍ය අනෙක් හාස්‍යෝත්පාදක නාට්‍ය අතරෙන් වෙනස් වෙන්නේ කොහොමද?

එවැනි සමහර නාට්‍ය විවේචනය කරන්න මම කැමැති නැහැ. ඔවුන්ගේ හාස්‍යයට විවිධ අංශ හසුකරගෙන තිබෙනවා. උදාහරණයක් විදියට “ගුටිකෑමට නියමිතයි” කියන වේදිකා නාට්‍යයේ හාස්‍ය වගේම සරලව මිනිස්සුන්ට අවබෝධ කර ගැනීමේ හැකියාවෙන් ද යුක්තයි. මේ නාට්‍ය අතරෙන් මගේ නාට්‍ය වෙනස් වෙන්නේ මම මෙහිදී කතා කරන්නේ මානුෂීය කාරණයක් පිළිබඳව වීම නිසයි. එහි දේශපාලනය තිබුණා වුණත් එය විකාශය වන්නේ සැඟවුණු ආකාරයෙන්. එක්තරා තරුණියක් පිළිබඳ කේන්ද්‍රගත කරමින් නිර්මාණය වුණු මේ නිර්මාණයේ ඇගේ සිතුවිලි, මානුෂීය ස්වභාවය පිළිබඳ මා ගැඹුරින් කල්පනා කරලා මතුකරන්න හදන දේයි මෙහි තිබෙන්නේ. ඒ අවිවාහක ජීවිතය ගැන ඉතා සරලව හා සුන්දරව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන එන්න මා උත්සාහ කරනවා. එහි සාර්ථකත්වය තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයන් විසින්.

“ලෝරන්ස්ගේ මනමාලි” කියන ස්වතන්ත්‍ර නාට්‍ය පිටුපස සැඟවුණු කතාවක් තිබෙනවා නේද?

“ලෝරන්ස්ගේ මනමාලි කියන්නේ හේමන්තගේ කෙටි නාට්‍යයක්. මේ සම්මාන ගත්ත කෙටි නාට්‍යය පිළිබඳ මම අහලා තිබුණා. මේ පිළිබඳ ඔහු මට කියලා තිබුණා. ඔහු යටතේ මා “රෂෝමෝන්” , “සයොනාරා” වගේ වේදිකා නාට්‍යවලත් රඟපෑවා. ඒ හරහා ඇතිවුණු මිත්‍රකමත් සමඟ මේ නාට්‍ය පිළිබඳ මා ඔහුට කතා කළා. එතනදියි. මම ඔහුට කිව්වේ මේකේ දිග හරින්න පුළුවන් කතාවක් තියෙනවා ඒක ගැන ලියන්න කියලයි. ඒ සාකච්ඡාව හරහායි මේ පිටපත ඔහු ලියන්නේ. එහිදී තවත් ඉස්මතුවිය යුතු කාරණා පිළිබඳත් වරින්වර මා ඔහු සමඟ සාකච්ඡා කළා. ඒ මගින් ‘ලෝරන්ස්ගේ මනමාලි’ බිහි වුණා.”

‘ලෝරන්ස්ගේ මනමාලි’ වෙන්නේ දුලීකා මාරපන. “කටු යහන” වේදිකා නාට්‍යයේ රඟපෑ පෙම්වතියගේ චරිතයෙන් පස්සේ කලකට පසුවයි ඔබ මේ රංගනයේ යෙදෙන්නේ.

‘ලෝරන්ස්ගේ මනමාලි’ ගැන ඔබ මොකද සිතන්නේ?

2004 වසරේ රඟපෑවාට පසුව මට ලැබුණු ප්‍රේම චරිතයක්. ආපසු මගේ වයසට පැමිණිලා නිදහසේ සිතන්නට ඉඩක් ලබාදෙන්නේ ‘ලෝරන්ස්ගේ මනමාලි’යි. ඒ නිසා මට ඒ චරිතය සුවිශේෂයි.

මනමාලි අලුත්ද පරණද කියලා නෙවෙයි වැදගත් වන්නේ. දවස් ගෙවුණු පමණින් යමක් පරණ වෙන්නෙත් නෑ. සමහරු දවසින් දවස අලුත් වෙන්නත් පුළුවන්. නැත්නම් සමහරු පටන් ගත්ත තැනමත් පරණ වෙන්න පුළුවන්. ඒක තිබෙන්නේ අපේ හිතේ. අපේ මූණගැසීම සිදු වෙන්නෙත් නිර්මාණකරණයෙදියි.

කොහොම වුණත් අපේ සියලුම වික්‍රම පෙන්වන්න තිබෙන්නේ මේ නිර්මාණ ඇතුළෙයි. තවත් කෙනෙක් දෙස බලාගෙන දොස් කියනවාට වඩා විවේචනය කරනවාට වඩා සිදුවිය යුත්තේ අපට හැකි ප්‍රමාණයෙන් නිර්මාණකරණයට පිවිසීමයි. එයයි සුබදායක වන්නේ. “ ලෝරන්ස්ගේ මනමාලි” ඒකට හොඳ ආරම්භයක් කියලා මා සිතනවා.

‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඔබගේ සැමියායි. අධ්‍යක්ෂකවරයා හා සැමියා කියන භූමිකා ද්විත්වය කොහොමද ඔබේ රංගනයට බලපෑවේ?

ඔහුට ඔහුගේ නිර්මාණකරණයට පූර්ණ නිදහස තිබෙනවා. මමත් ඔහු යටතේ රඟපාන එක් ශිල්පිනියක් පමණයි. ඔහුට පෙම්වතියගෙන් හෝ බිරියගෙන් බලපෑම් තිබෙනවා කියන කරුණය මා දකින්නේ සාම්ප්‍රදායික අදහසක් විදියටයි. මගෙන් නම් ඔහුට එවැනි බලපෑම් ඇත්තේ නෑ. මොකද පෞද්ගලික ජීවිතය හා නිර්මාණ ජීවිතය කියන්නේ පැහැදිලිවම කාරණා දෙකක්. නිර්මාණ ජීවිතය ඇතුළෙදි ඒ පෞද්ගලිකත්වය මට වගේම ඔහුටත් අදාළ නැහැ. ඒ නිසා අධ්‍යක්ෂකවරයා කියන භූමිකාවේදී ඔහු චරිතය පිළිබඳ සිතන අයුරෙන් නිර්මාණකරණයට පිවිසීම මගේ වගකීමක්. මෙහිදී මා රංගන කාර්යයෙන් දායක වනවා පමණයි. නිර්මාණය ඔහුගේ.

ඔහු අදහස් කළ මනමාලිගේ චරිතය වේදිකාවට රැගෙන පැමිණෙන්න හැකි යැයි ඔබ සිතනවාද?

අපූරු සුන්දර අවිවාහක තරුණියකගේ චරිතය මුළු නාට්‍යයේම දිවෙනවා. ලෝකයේ ඉන්න සෑම අම්මා කෙනෙකුටම, සහෝදරයෙකුටම, සෑම අවිවාහක ගැහැනු ළමයෙකුටම සිතන්න කාරණා මේ නාට්‍යය ඇතුළේ කතාබහට ලක් වෙනවා. මේ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයාට සිතේවි කැඩපතක් දෙස බලාගෙන අපි අපිටම නේද මේ හිනාවෙන්නේ කියලා. ඒ කුමන දේ තිබුණත් මෙතෙක් මා පිටපත ඉල්ලන දේ, අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන චරිතය ප්‍රතිනිර්මාණය කළා. මේ නිර්මාණයේදීත් ඒ කාරණය ඒ අයුරෙන්ම සිදුවේවි.

මේ ලැබුණු චරිතය ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරෙන් වෙනස්ම වූ චරිතයක්.

මට උවමනා වුණේ මගේ තිබුණු ශරීරය ප්‍රමාණාත්මකව වෙනස් කර ගන්නයි. ඒ ඒ කාලවලදී නිරූපණය කළ චරිතවලට අනුව ශරීරයෙන් වගේම සිතුවිලිවලින් වුණත් මා නිතරම වෙනස් වෙන්න උත්සාහ ගත්තා. ‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ ඩිංගිරි අම්මාගේ චරිතයේත්, ‘පුංචි වළව්වේ’ ලොකු බබාගේ චරිතයේත් ජීවත්වුණු මම අද ‘ලෝරන්ස්ගේ මනමාලි’ කියන තරුණියගේ චරිතය විදියට හිතන්න පෙලඹිලා ඉන්නවා. ඇයත් සමඟ ජීවත් වෙනවා. ඇයගේ ඇවතුම් පැවතුම්, ඇය සිතන පතන විදිය, ජීවිතය දෙස බලන විදිය ආදී ඒ සියල්ල එක්කම මේ දවස්වල මා ගනුදෙනු කරනවා.

වේදිකා නාට්‍යයක් කියන්නේ විශාල කාර්යභාරයක්. ටෙලි නාට්‍යයකදි නම් තමන්ගේ රඟපෑම, ඇක්ෂන් කියන කොට පටන්ගෙන කට් කියන කොට ඉවර කරන්න පුළුවන්. ඒත් වේදිකා නාට්‍යයක එහෙම බැහැ. අපි පැය එකහමාරක කාලයක් වේදිකාවේ රැදෙන්න නම් දිගු පුහුණුවක් අවශ්‍ය වෙනවා. අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවෙන චරිතය ප්‍රතිනිර්මාණය කරන්න වෙන්නේ අපටමයි. අපි එතනදී අසාර්ථක වුණොත් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වූ කාරණය අපේ අතින් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා ‘ලෝරන්ස්ගේ මනමාලි’ කියන්නේ මගේ රංගන ජීවිතයේදී ලැබුණු වෙනස්ම ආකාරයක, වෙනස් හැඩයක චරිතයක්.

මේ වනවිට ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා ගත කරන්න සියල්ල සූදානම්ද?

ඔව්. නාට්‍යවලට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට ‘ලෝරන්ස්ගේ මනමාලි’ බලන්න අපි ආරාධනා කරනවා. එදිනට වෙනස්ම අත්දැකීමක් විඳින්න ඔබට හැකිවේවි. ඒ වගේම මේ නාට්‍යය ඔස්සේ වේදිකා නාට්‍ය කලාවේ වෙනස්ම හැඩයක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට වෘත්තිය වටිනාකමක් ලබාදීම ද ඇතුළත්. මේ වෙනස්ම හැඩය නිර්මාණය කිරීමේ අදහසෙන් අපත් සමඟ අත්වැල් බැඳගන්නේ තර්ඩ් බෙල් තියටර් නිෂ්පාදන ආයතනයයි. එය ක්‍රියාවට නගන්න අප හා එක්වුණු

නිෂ්පාදක ජානක සිරිවර්ධනව හා ප්‍රවීන් කුලසිංහවත් අපි ආදරයෙන් සිහිපත් කරනවා. අවසාන වශයෙන් මේ නිර්මාණය වේදිකාවට රැගෙන පැමිණෙන්න සහය දුන් සියල්ලන්ටමත් ස්තූතිය පුද කරන්නට අප කැමැතියි.