වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




හිතන තරම් විරහවක් සිංදුවේ නෑ

හිතන තරම් විරහවක් සිංදුවේ නෑ

චන්ක ගයශාන්

වර්තමානය වන විට තරුණ තරුණියන් වැඩි වශයෙන් සංගීත ක්ෂේත්‍රයට යොමු වීමෙ ප්‍රවණතාවයක් තියෙනවා. ඉන් වැඩි දෙනෙක් සංගීත කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. චන්ක ගයශාන් කියන්නෙත් අන්න ඒවගේ කෙනෙක්. මේ දිනවල ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වන ‘කවිකාරකම්’ ගයන්නේ ඔහු. අප මේ තරුණ තරුව හඳුන්වා දෙන්න හිතුවා. සංගීත ක්ෂේත්‍රය ගැන උනන්දු වන ඔබ චන්ක පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඇති. කියවලා බලන්න. මෙතැන් පටන් ලියවෙන්නේ ඔහු ගැනයි.

* චන්ක, ඔබ ක්ෂේත්‍රයට පැමිණි අයුරු මතක් කළොත්?

මං ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න හිතාගෙන හිටියේ. ඒ හින්ද වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී ගායන තරගයක් තිබුණා. හරියට සුපර් ස්ටාර්ස් වගේ රියැලිටි තරගයක්. මං ඊට සහභාගි වී දෙවැනි තැන දිනා ගත්තා. මං ඒ තරගයෙනුයි මගේ දක්ෂතාවන් හඳුනා ගත්තේ. ඊට පස්සේ මට හිතුණා ලංකාවට ආවට පස්සේ ගීතයක් කරන්න. ‘කවිකාරකම්’ තමයි ඒ ගීතය.

* කවුද කවිකාරකම් ලිව්වේ? සංගීතය සැපයුවේ?

මනුරංග විජේසේකර අයියගේ පද. සංගීතය දිලුම් තේජනගෙන්.

* මෙය තරමක් විරහවට බර ගීයක්?

හිතන තරම් විරහවක් මේ සිංදුවේ නැහැ. මට රැල්ලට යන්න බැරි හින්දයි මෙවන් ගීතයක් කළේ.

* පවතින රැල්ලට සිංදුවක් කළා නම් මිට වඩා ජනප්‍රිය වන්න තිබුණා නොවේද?

මං ආස ස්ටයිල් එක මේකයි. මට වුවමනා වුණේ ගීතය හරහා මට ජනප්‍රියත්වය ළඟා කර ගන්න නොවෙයි. පවතින රැල්ලෙන් මිදිලා හොඳ නිර්මාණයක් සිදු කිරීමේ අවශ්‍යතාවය මතයි මෙවැනි ගීයක් හා හා පුරා කියලා මං ගැයුවේ.

* මනුරංග විජේසේකර කියන්නේ රම්බරි, රතු රට කජු, මොට්ටු වැනි ගීත ලියූ අයෙක්. එවැනි අයකුගෙන් ඔබ ඉහත කුලකයේ ගීතයක් ලියාගන්න තිබුණනෙ?

ඕස්ට්‍රේලියාවේදී අර තරගයේ වගේම ප්‍රසංග වේදිකාවලදී මං ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි වැනි අයගේ ගී. මගේ ශෛලිය ඒකයි. ඉතින් මං රම්බරි වගේ ගීතයක් කිව්වා නම් කවුරුත් අහන එකකුත් නැහැ.

* සංගීතය ඔබේ විනෝදාංශය?

ඔව්.

* කලාව විනෝදාංශයක් කරගන්න පුළුවන්ද?

මෙහෙමයි. ව්‍යාපාර පරිපාලනය පැත්තෙනුයි මං ඉගෙන ගන්නේ. ඒ අතතුරදී අහම්බෙන් ගායනට යොමු වුණා. මං හිතුවා ඒ මාර්ගයෙන් ගිහිල්ලත් මට යමක් කරන්න පුළුවන් කියලා. විනෝදාංශයක් විදියට සංගීතය කරන්න පටන් ගත්තා. ක්‍රම ක්‍රමයෙන් යද්දී ව්‍යාපාර පැත්තට සියයට පණහයි, සංගීතයට සියයට පණහයි වශයෙන් ජීවිතය වෙන් වන්න පුළුවන්.

* ඔබ ඇයි පැරැණි ගීතයක් රීමිකිස් කරමින් ක්ෂේත්‍රයට ආවේ නැත්තේ? අද අලුත් පරපුරෙ අය වැඩි දෙනෙක් එන්නේ එහෙමනෙ?

අලුත් ගීත රීමික්ස් කරන එක හොඳයි. හැබැයි ගීතයට හානි කරන්න හොඳ නැහැ. මටත් එහෙම කරන්න තිබුණා. නමුත් මං කවුද කියන එක හරියටම රසික රසිකාවන් හඳුනා ගත්තේ මගේම ගීතයක් කළොත් විතරයි.

* කවිකාරකම් වීඩියෝව නිර්මාණය කළේ කවුද?

අනූප, සමීර සහ මනුරංග යන මිතුරන්.

* වීඩියෝව කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් කිහිපයක් මතක් කළොත්?

අපි මෙහි දර්ශන තල ලෙස යොදා ගත්තේ මීගමුව හෝටලයක වටපිටාවක්. අපිට වීඩියෝව සඳහා අවශ්‍ය ලයිට්වලට කරන්ට් එක ගත්තෙත් ඒ හෝටලයෙන්. අප අතින් සිදු වූ අත්වැරදීමකින් මුළු හෝටලයේම විදුලිය විසන්ධි වුණා. ටුවරිස්ට්ලා එළිය පැනලා හරිම ජරමරයක් කළේ. අපි බය වුණා. ඒ වෙලේ ඉඳලා ටුවිරිස්ට්ලා අපි ළඟට ඇවිත් එක එක ප්‍රශ්න අහන්න ගත්තා. ඒවාට උත්තරදිදී වීඩියෝව කළා. වෙලාවකට වදයක් වුණා ඔවුන්ව.

* කවිකාරකම් රිඟිංටෝන් දැම්මද?

රිඟිං ටෝන්වලට නෙවෙයි මේ සිංදුව කළේ. මං එහෙම රිඟිංටෝන් වලට සිංදු හදන්නේ නැහැ. සිංදු තියෙන්න ඕන අහන්න. ගීත කියන්නේ රස විඳින මාධ්‍යයක්.

* ඔබේ පෞද්ගලික විස්තර කියමු?

මගේ පවුලේ මල්ලිලා දෙන්නයි අම්මයි තාත්තයි. තාත්තා බිස්නස් කරන්නේ. ඉගෙන ගත්තේ ජෙනිග්ස් ජාත්‍යන්තර පාසලේ. ගම වෙන්නප්පුව.

* ඔබේ ඊළඟ නිර්මාණය මොන වගෙ එකක් වේවිද?

වෙස්ටන් නිර්මාණයක් කරන්නයි හිත. බලමු නේද.

මේ චන්කගේ දුරකතන අංකයයි 0776705435.

චන්කගේ ගීතයේ පදමාලාව

කවිකාරකම් කියා

මා ගැනම ලියූ නිසා

පෙර වැරදි නෑ කියා

ඔබ එක්ක එක් වුණා
 

ගැරහුම් එපා ඔබෙන්

පැරැදෙන්න මා සිතෙන්

සරතැස නිවා මගෙන්

හැර යන්නෙ දැන් ඉතින්
 

වරැදුන තැනක් මුලින්

මට මතක නැහැ ඉතින්

ඔබ ගැයූ ගී වලින්