වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මට නම් මාසෙට දින 30 යි නැත්නම් 31 යි

මට නම් මාසෙට දින 30 යි නැත්නම් 31 යි

රිතු ආකර්ෂා

* ඔබට මම, මොන නමින් කතා කරන්නද?

ඇත්ත නමින්.

* රිතු ආකර්ෂා?

ඔව්.

* එතකොට ශලනි?

ආ . . . එයා ඉන්නේ හිරු තනිවෙලා නාට්‍යයෙනෙ.

* මේ දවස්වල සෙව්වන්දි කියලත් ඇතැම් අය අමතනවා ඇති?

මොකෝ නැත්තේ. ඒ විතරක් නෙවෙයි මුතු නාට්‍යය හින්දා නෙතු යන නමයි ඇතැම් අයට හුරු.

* රිතු එලෙස චරිත කිහිපයකින්ම අප හමුවන නිසා ජීවිතේ බොහොම කාර්යබහුලයි වගේ?

ඇත්තම කිව්වොත් නාට්‍ය ගොඩක රඟපෑවත් මං කාර්යබහුල වෙන්නේ නැහැ.

* ඒ කොහොමද?

මං එක නාට්‍යයක රඟපාන ගමන් තවත් නිර්මාණයක් බාර ගන්නේ නැහැ. මං ඉන්න නාට්‍ය ගොඩක් එකවර විකාශය වුණාට ඒවා හි රූගත කිරීම් තිබුණේ විවිධ කාලවල.

* ඒ කියන්නේ ඔබට රංගනයට ලැබෙන ආරාධනා අනන්තවත් ප්‍රතික්ෂේප කරනවා?

ඔව්.

* වෘත්තීමය නිළියකට එහෙම කරන්න පුළුවන්ද?

අනිත් අය ගැන කියන්න මං දන්නේ නැහැ. ඒත් මගේ පිළිවෙල ඒකයි.

* ඔබේ වයසේ ඕනෑ තරම් නිළියො ඉන්නේ එකවර නාට්‍ය හතරක පහක රඟපාන?

අනේ මන්දා එයාල එහෙම කොහොමද රඟපාන්නේ කියලා. මට නම් මාසෙට දින තිහයි නැතිනම් තිස් එකයි තියෙන්නේ. ඊට හරි යන්නයි මං වැඩ බාර ගන්නේ.

* රිතු කොහොමද රඟපාන්න එන්නේ?

මට හිරු නාලිකාවෙනුයි රඟපාන්න පළමු ආරාධනාව ලැබෙන්නේ. ඒ නාට්‍ය තමයි හිරු තනි වෙලා.

* ශලනි කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයක් නේද?

ඒක නම් එහෙම තමයි. ශලනි කියන චරිතය ඇතුළේ තවත් චරිත කිහිපයක්ම සිටිනවා.

ඒ හින්දා මට වෙනස් වෙවී රඟපාන්න සිද්ධ වුණා. පළමු ආරාධනාවම අභියෝගයක්.

* රංගනය එපා වුණේ නැද්ද?

මං රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නුහුරු අත්දැකීම ලබන්න හිතුවා. ශලනිගේ චරිතෙ දැක්කම මටත් හිතුණෙ ආයෙ රඟපාන්න එපා වේවි කියලා. නමුත් වුණේ එහි අනෙක් පැත්ත. දිගින් දිගටම රඟපාන්න කැමැත්තක් ඇති වුණා.

* මේ දවස්වල තිරගත වන ජනප්‍රිය චිත්‍රපටයක ප්‍රධාන චරිතය මවන්න හිටියේ ඔබ කියලා මට දැනගන්නට ලැබුණා?

ඔව්. මාව යොදාගෙන ඔවුන් එහි භාගයක්ම ෂූට් කළා.

* ඇයි ඔබව ඉන් ඉවත් කළේ?

විවිධ හේතූන් මත. මට ඒවා කියන්න බැහැ.

* අද එම චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වය මධ්‍යයේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලබමින් තිරගත වෙනවා. දුකක් නැති ද එම චිත්‍රපටයේ ඔබ නැති එකට?

මං සාමාන්‍යයෙන් අතීතය අමතක කරන කෙනෙක්. අහිමි වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්න එක මෝඩකමක් නිසා ඔය චිත්‍රපටය පිළිබඳ මං හිතන්නේම නැති තරම්.

* ඔබට ලැබිලා තියෙන රූප සම්පත්තිය ගැන මොකද කියන්න තියෙන්නේ?

මං ලස්සනයිද නැද්ද කියලා මමම කියන එක හරි නැහැ නේද? ඒ හින්ද මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්. මං කැත කෙනෙක් නෙවෙයි කියලා මං දන්නවා. ඒ හින්දා මගේ රූපය ගැන මං ආඩම්බරයි.

* නව පරපුරේ නිළියො දර්ශන තලවලදී හරියට රන්ඩු කරනවා කියලා කට කතාවක් තියෙනවා?

මෙහෙමයි. අපේ ඇතැම් නිළියො ලොකේෂන්වලදී අසාධාරණයන්ට එරෙහිව නැඟි සිටිනවා. අන්න එහෙම වුණාම ඒ තැනැත්තියගෙන් බැනුම් අහපු කෙනා කට කතාවක් පතුරවන්න පුළුවන් අහවල් නිළියත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා. අපේ ඇතැම් අයත් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ කතා පිළිගන්නවනේ. එහෙම කරන්න නරකයි. ඔන්න ඔය විදිහටයි නවක නිළියන් සැරයි කියන කටකතා හැදෙන්නේ.

* රිතුට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට කතා කළොත් ඊට දායක වෙනවාද?

අම්මෝ නැහැ.

* ඒ ආරාධනාව සම්භාව්‍ය ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගෙන් ලැබුණොත්?

ඒත් නැහැ නැහැමයි.

* නමුත් ඔබ කලින් කිව්වා අභියෝග බාරගන්න ආසයි කියලා?

නිළිකම කියන්නේ මගේ ජීවිතය නෙවෙයි. කැමරාව ඉදිරියේදී විතරයි මං නිළිය. කට් කියපු ගමන් රඟපෑම ඉවරයි. එතැනින් එහාට මං සාමාන්‍ය කෙල්ලෙක්. එහෙම වෙච්ච මට ඔවැනි චිත්‍රපටයක රඟපාලා පාරේ බැහැලා යන්නේ කොහොමද.

* රිතුගේ රඟපෑම් ගැන හිත මිත්‍රාදීන් මොකද කියන්නේ?

මූණට ගොඩක් අය හොඳ කියනව. ඒත් මම දන්නවා ඒ හැමෝම කියන්නේ ඇත්ත නෙවෙයි කියලා.

* පුංචි කාලයේ ඔබේ සිහිනය වුණේ කවුරු වන්නද?

මට ඕන වුණේ ගුවන් සේවිකාවක් වන්න.

* ඒත් එක සැබෑ වුණේ නැහැ?

ඔව්. ඒ වුණාට කෙටි කාලයක් මට ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණා.

* ගුවන් සේවිකා වෘත්තිය කරගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

ඒක වෙන අංශයක්. මේක වෙන අංශයක්. මාව දැන් කලාවේ ට්‍රැක් එකට වැටිලා ඉවරයි. මට ලැබෙන බාධක හොඳ අතට හරවගෙන මං මගේ ගමන යනවා.

* රිතු ඉගෙන ගත් පාසල මතක් කළොත්?

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් බාලිකා විදුහල.

* පදිංචිය?

කැලණිය.

* පවුලේ විස්තර?

අම්මයි තාත්තයි මල්ලියි අයියයි. තාත්තා පොලීසියේ.

* රිතු වගේ ආකර්ෂණීය කෙනෙකුට අනිවාර්යයෙන්ම පෙම්වතකුත් ඇති. එයාගේ නමත් කියමු?

මට තවම එහෙම කෙනෙක් නැහැ.

* ඇයි රංගන ශිල්පීන්ගෙන් පෙම්වතා ගැන අහපුවාම රිතු දීපු සාම්ප්‍රායක උත්තරයමයි දෙන්නේ?

ඉතින් මම ඇත්තනෙ කිව්වේ. මට හොඳ ආදරයක් දෙන කෙනෙක් හමු වුණොත් එයා මගේ පෙම්වතා කර ගන්නවා. ප්‍රශ්න තියෙන්නේ එහෙම කෙනෙකු හමු නොවුණ එක.

* රිතුගෙ ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ?

මං මුලින් සඳහන් කළ නාට්‍යවලට අමතරව අනුර මාධව ජයසේකර මහත්මයාගේ සූරියභානු නාට්‍යයෙත් රඟපෑවා. ඒ වගේම සෆ්රාස් අයියගේ උතුම් පැතුම් නාට්‍යයේ වරුණි කියලා චරිතයක් කරනවා.