වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පුවක්පිටිය කේවට්ටලාගේ අමාරිස්

පුවක්පිටිය කේවට්ටලාගේ අමාරිස්

විනෝද සමයට විරුද්ධව එක්තරා පුද්ගලයෙක් පත්තරයට ලිපියක් ලිව්වේ එය අසභ්‍ය වචන ඇතුළත් යනුවෙන් චෝදනා කරමිනි. ඒ චෝදනාව ඔහු මට එල්ල කර තිබුණේ පත්‍ර වාර්තාකරු නමින් මා ඉදිරිපත් කළ වැඩ සටහන විකාශය වීමත් සමඟයි. අපේ විනෝද සමයට අයත් ඇන්ටස් නම් චරිතයක් විය. මේ චරිතයට රංගනයෙන් දායක වුණේ ස්වර්ණ ශ්‍රී සරත්වීරයි. ස්වර්ණ හොඳ භාරත නැට්ටුවෙක් විය. මුල් කාලයේ ඔහු විනෝද සමය තේමාව වාදනය වෙද්දී විචිත්‍රවත් නැටුමක් ඉදිරිපත් කළා. ඔහුගේ අකල් මරණයත් සමඟ ඇන්ටස් චරිතය අපේ විනෝද සමයෙන් ඉවත් වෙලා ගියා.

පත්‍ර වාර්තාකරු වැඩ සටහනට එදා අමාරිස් ලෙස සැමුවෙල්, ඇන්ටස් ලෙස ස්වර්ණ ශ්‍රී සරත්වීර පත්තර වාර්තාකරු ලෙස මමත් සහභාගි වුණා.

අමාරිස් - ඇන්ටස් බලහන් කවුද ඇවිල්ලා ඉන්නේ කියලා.

පුතා ඇන්ටස් - තාත්තේ තාත්තේ පත්තරකාරයෙක් ඇවිල්ලා.

අමාරිස් - මෙහෙ පරණ පත්තර නැහැයි කියාපන්.

ඇන්ටස් - නැහැ, නැහැ තාත්තේ පත්තර වාර්තාකාරයෙක්.

අමාරිස් - (කොඳුරමින්) ඒ මොන මල ඉලව්වකටද? ආ එන්ඩ මහත්තයා මොකද මේ මගෙන් වරදක්වත් වුණාද?

වාර්තාකරු (මම) නැහැ, නැහැ, අර ළිඳකට වැටුණු වහු පැටියෙක් බේර ගෙන වීර ක්‍රියාවක් කළාය කියා ආරංචි උනා.

අමාරිස් - බලන්ඩ මහත්තයා මෙච්චර තරුණයො ඉන්නවා එකෙක් අවෙ නෑනෙ වහු පැටියව බේර ගන්ඩ.

වාර්තාකරු - මොකක්ද ලොකු උන්නැහැගෙ නම.

අමාරිස් - පී. කේ. අමාරිස්.

වාර්තාකරු - සම්පූර්ණ නම?

අමාරිස් - පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. ඒ උනාට මහත්තයො සිංහල ක්‍රමයට පු. කේ. කියා මුල් අකුරු දමල ලියන්ඩ එපා කැතයි.

වාර්තාකරු - පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. හරි හරි මට තේරුණා, මට තේරුණා පී. කේ. අමාරිස් කියලා දමන්නං.

ලිපිනය - මොකක්ද?

අමාරිස් - ඒ කිව්වේ?

වාර්තාකරු - ලියුම් ලැබෙන පිළිවෙල.

අමාරිස් - ආ . . . එහෙම කියන්ඩකො. පියුම් මහත්තයා එනවා. උණබම්බු ගේට්ටුව ළඟට බැල් එක ගහනවා. අපේ දුව හනිකට ගිහිල්ලා ලියුම බාර ගන්වා. දැන් පියුම් මහත්තයා අපේ බෑණා.

වාර්තාකරු - නැහැ නැහැ ඇඩ්රස් එක.

අමාරිස් - ආ . . . අන්න එහෙම සිංහලෙන් කියන්ඩකො. පී. කේ. අමාරිස්, කැලණිය තැපැල්.

වාර්තාකරු - හරි . . . හරි . . . දැන් කොහොමද අමාරිස් උන්නැහෙ වස්සා බේරගන්ඩ ළිඳට පැන්නේ.

අමාරිස් - මම පැන්නෙ නැහැ මහත්තයා. කවුද වරෙත්තුවෙක් මාව ළිඳට තල්ලු කළානෙ.

ඇන්ටස් - අපියි අපේ තාත්තාව ගොඩට ගත්තේ.