වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පිබිදෙන ගායක පරපුර ගැන තවත් සිහිපත් කිරීමක්

පිබිදෙන ගායක පරපුර ගැන තවත් සිහිපත් කිරීමක්
 

ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය ආරියදාස පීරිස්

2014 ක් වූ ජූලි මස 17 වැනි බ්‍රහස්පතින්දා සරසවියේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහත්මා විසින් ලංකාවේ රියැලිටි වැඩසටහන් ඇරැඹීමේ ප්‍රමුඛයකු වූ දාස මුදලාලි හෙඩිම යටතේ ‘පිබිදෙන ගායක පරපුර’ ගුවන් විදුලි වැඩසටහන සම්බන්ධව පළ කර තිබූ සමහර ප්‍රකාශයන් නිවැරැදි කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

ආරම්භයේදීම මගේ අවංක ස්තුතිය සහ කෘතඥතාවය සීලරත්න සෙනරත් මහත්මාට පුද කර සිටින්නේ, දවසින් දවස මතකයෙන් ඈත්වන එදා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් සම්බන්ධව යළිත් නව පරම්පරාවේ දැනුම සඳහා මතක් කරලීම ගැනය. ඊට අමතරව ‘පිබිදෙන ගායක පරපුරේ’ නිර්මාතෘ වශයෙන් නව පරම්පරාව දැනුවත් කරලීමට මෙවන් අවස්ථාවක් මට ලබාදීම ගැන.

‘පිබිදෙන ගායක පරපුර’ නම යෝජනා කළේ මා විසිනි. එවකට වෙළඳ සේවයේ පිටපත් පාලක වශයෙන් ක්‍රියා කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතාය. ඒ කාලවකවානුවේදී තරුණ තරුණියන්ගේ යම්කිසි පිබිදීමක් (රජයට විරුද්ධව) තිබූ නිසා ‘පිබිදෙන’ යන වචන මාලාව ගුවන් විදුලි වැඩසටහනකට සම්බන්ධ කිරීම ගැන එතුමා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි. නමුත් මාගේ දිගින් දිගට තර්ක නිසා එවකට අධ්‍යක්ෂව සිටි ලිවී විජේමාන්න මහතාගෙන් ‘පිබිදෙන ගායක පරපුර’ නමට අවසර ලැබුණි.

ඉන් ඉක්බිති 1968 වර්ෂයේ මුලින්ම ‘පිබිදෙන ගායක පරපුර’ වැඩසටහන දළුගම දාස සමූහ කර්මාන්ත ආයතනයේ මෙහෙයවීමෙන්, එවකට දක්ෂ පිළිගත් නිවේදක කරුණාරත්න අබේසේකරයන්ට මාගේ ආරාධනාවෙන් සුමනා නෙල්ලම්පිටිය සමඟ ඉදිරිපත් කිරීමට ලැබුණි. ඉන් පසුව ‘පිබිදෙන ගායක පරපුර’ මම අවුරුදු ගණනාවක් ඉදිරිපත් කළ බවත් සඳහන් කරමි.

‘පිබිදෙන ගායක පරපුර’ ට අමතරව තේවිස් ගුරුගේ මහතා ‘බුෂල්ස්ගේ කෝපි පැය’ නමින් ද, කරුණාරත්න අබේසේකරයන් ‘මැලිබන් ගුවන් තොටිල්ල’ නමින් ද රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කළ බව මෙහිදී මතක් කළ යුතුව ඇත.

මෙම වැඩසටහන් ත්‍රිත්වයේම වෙනසකට තිබුණේ ‘බුෂල්ස්ගේ කෝපි පැය’ සහ ‘මැලිබන් ගුවන් තොටිල්ලේ’ ගායක ගායිකාවෝ ගී ගැයීමට පමණක් සීමාවීමත් ‘පිබිදෙන ගායක පරපුර’ තරගයක් වශයෙන්, අවුරුද්ද අවසානයේදී 1, 2, 3 වැනි වශයෙන් ජයග්‍රාහකයන් තෝරා ඒ අයට මුදල් සහ තෑගි බෝග පිරිනැමීමත්ය.

එදා ‘පිබිදෙන ගායක පරපුර’ තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් අතරින් ජයග්‍රහණය කළ පළමු වන ස්ථානයට රු. 1000/- ක් දෙවන ස්ථානයට රු. 500/- සහ 3 වැනි ස්ථානයට රු. 250/- සමඟ දාස නිෂ්පාදන මල්ලක් තෑගි වශයෙන් දාස මුදලාලි මහතා ලබා දුන් බව මතක් කර සිටින්නේ එතුමාට ගෞරවයක් වශයෙනි.

එදා මෙම ත්‍යාග දිනාගත් පිරිස අතර විල්බට් ඇන්තනී, රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි ආදීන් ද සිටියහ.

ඉතාමත්ම ජනප්‍රිය ගීත රචකයන් වූ කේ. ඩී. කේ. ධර්මවර්ධන ප්‍රවීණ නිවේදකයකු වූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ දෙපළ කිසිම දිනයක ‘පිබිදෙන ගායක පරපුර’ ඉදිරිපත් කර නැත.

ගුවන් විදුලියේ වෙළඳ සේවයට මා පා තැබූ 1951 අප්‍රේල් 11 දින සිට මෙතෙක් මා ගුවන් විදුලි ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් නිර්මාණය කර නිෂ්පාදනය කළ වැඩසටහන් 19 ක විස්තර පුරා අවුරුදු 63 කට පසුව යළිත් සිහිපත් කරදීමට කැමැත්තෙමි.

සුහද පැතුම, ඔව් නෑ බෑ, මිනිත්තුවක් පමණයි, ජයග්‍රාහක පෙළපාලිය, කෝපි කඩේ, අම්බිගා ගීතයෙන් ගීතය, ගීතාංජලී විවිධ ප්‍රසංගය, එඩීගෙන් අහන්න, නෙස්ලේ ගී ප්‍රසංගය, පිබිදෙන ගායක පරපුර, නිකාඩෝ අඩ පැය, පැන පොඩි, තරු තැනුම, සතියේ මනාලිය, සමස්ත ලංකා බයිලා තරගය, ජීවරානි හඳුන්කූරු සංගීත ප්‍රසංගය, තිස්ස රිදී සීනු, සිව්දිගින් සත් මුහුදින් මා නිර්මාණය කළ - නිෂ්පාදනය කළ ගුවන් විදුලි වැඩසටහන්ය.