වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගිරිරාජ් කෞෂල්‍ය විකට ශිල්පීන්ගේ පුදුම විහිළු ගැන කතා කරයි

ගිරිරාජ් කෞෂල්‍ය විකට ශිල්පීන්ගේ පුදුම විහිළු ගැන කතා කරයි

පුදුම හත අද සිනහවෙන් පිරී ඉතිරී යන දිනයක්. වර්තමානයේ අපේ රංගන ක්ෂේත්‍රයට හාස්‍යයෙන් පිරි නිර්මාණ එක් කරන්නා වූ සුවිශේෂ චරිතයක් තම සිත් ගත් දේ පවසන්න ඇවිත්.

අධ්‍යක්ෂවරයෙකු, පිටපත් රචකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසින් ද අගනා සේවයක යෙදෙන ඔහු ගිරිරාජ් කෞෂල්‍ය. ගිරිරාජ් අද පුදුම හතට කියන්නේ සිය රංගන ජීවිතයේදි වඩාත් ඇළුම් කළ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් හත් දෙනා පිළිබඳවයි.

නිහාල් සිල්වා

නිහාල් සිල්වා නම් වූ රංගන ශිල්පියාගේ රංගනය මට සමීප වෙන්නේ මා රංගනයට පිවිසෙන්නත් බොහෝ කාලයකට ඉහතදීය.

ඔහුගේ රංගනයන් අතරේ මා වඩාත් ඇළුම් කළ රංගනය බවට පත් වුණේ නෙයිනාගේ සූදුව නාට්‍යයේ ද්‍රවිඩ පොලිස් නිලධාරියා ලෙසින් කළ රංගනයයි. එදා මම ඒ රංගනය බෙහෙවින් රස වින්ඳා. නිහාල් සිල්වා නම් වූ කලාකරුවා තුළ හාස්‍ය උත්පාදනය කිරීම සඳහා පුදුම හැකියාවක් තිබුණේ.

මට මතකයි ඒ කාලයේ ඔහු රංගනයෙන් දායක වූ නාට්‍ය පෙළක්ම නිෂ්පාදනය වුණා. ඔහු වෙනුවෙන් වූ රසිකත්වය කෙතරම් ද කිව්වොත් මම ඒ හැම නාට්‍යක්ම නැරැඹුවා. නිහාල් සිල්වා අපේ රංගන ක්ෂේත්‍රයේ බිහි වූ විශේෂ රංගන ශිල්පියෙක්.

ඒ වගේමයි ඔහුගේ හඬ හාස්‍යෝත්පාදනයට සුවිශේෂ හඬක්. ඔහුගේ රංගනය සතු රිද්මයත් ඉතා විරල රංග රිද්මයක්. ඒ වුණත් ඔහු අකාලයේ ජීවිතයෙන් සමු ගැනීම අපේ රංගන ක්ෂේත්‍රයට විශාල පාඩුවක්. එසේ නොවුණා නම් තවත් අගනා නිර්මාණ රැසක් අපට දායාද වෙන්නට ඉඩ තිබුණා.

විජය නන්දසිරි

විජය නන්දසිරි නම් වූ කලාකරුවාට මා සළකන්නේ මගේ ගුරුවරයෙකු ලෙසයි. රංගන ක්ෂේත්‍රය තුළ මා ඔහුගෙන් ඉගෙන ගත් දේ බොහෝයි. ඒ වගේම අපේ කලා ක්ෂේත්‍රයේ හික්මීම ඉතා හොඳින් ප්‍රගුණ කළ රංගන ශිල්පියෙන් ලෙසින් ද මා ඔහු දකිනවා.

විජය අයියාගේ නිර්මාණ රැසක් මා දැක තිබුණත් අපි දෙදෙනා එකට හමු වුණේ නෝනාවරුනි මහත්වරුනි ටෙලි නාට්‍ය මාලාවෙන්. එහිදී මම සහය අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරද්දී විජය අයියා සමඟ කටයුතු කරන්න ලද ඒ අවස්ථාව ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

විජය අයියා තුළින් මා දකින තවත් විශේෂ ලක්ෂණයක් තමයි දෙබස් මතක තබා ගැනීම. පිටු ගණනාවක තියෙන දෙබස් පවා ඔහු ඉතා හොඳින් මතක තබාගෙන රංගනයේ යෙදීම අනෙකුත් අය අතරේ ඔහු විශේෂ වීමට හේතු වෙනවා.

මෙරට වේදිකාවට ඔහුගේ තිබෙන්නා වූ දායකත්වය එකී සාර්ථකත්වයට හේතු වෙන්න ඇති. අද මම හාස්‍යෝත්පාදක රංගන ශිල්පින් අතරේ ඔහු ගැන කතා කලත් විජය අයියා එතැනින් එහා ගිය දක්ෂතා රැසකින් පරිපූර්ණ වූ රංගන ශිල්පියෙක්.

ඒ වගේමයි ඔහු සමඟ රංගනයත් අභියෝගයක් වෙන්නේ ඔහු සමඟ රංගනයේ නිරතවෙද්දී අනෙකුත් රංගන ශිල්පීන්ගේත් සිනහව වළක්වා ගැනීමට අපහසු වීම නිසයි.

රොඩ්නි වර්ණකුල

රාඩ්නි වර්ණකුල අපේ රංගන ක්ෂේත්‍රයේ සුවිශේෂ වන හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක්. රොඩ්නිත් විජය අයියා වගේම පිටපතේ දෙබස් හොඳින් මතකයේ තබා ගනිමින් එහි වූ රිද්මය එක ලෙසින් පවත්වා ගන්න සමත් වූ රංගන ශිල්පියෙක්.

ඒ වගේමයි නෝනාවරුනි මහත්වරුනි හා එතුමා නාට්‍යවලදී විජය - රොඩ්නි සුසංයෝගය මා අපූරුවට දුටුවා.

හාස්‍ය රංගනයේදී සමබරතාව ඉතා වැදගත් ලක්ෂණයක් වෙනවා. දෙදෙනෙකු අතර වූ හාස්‍ය රංගනයක් හරියට වොලිබෝල් තරගයක් වගේ. වොලිබෝල් තරගයකදී ඩෑෂ් ප්‍රහාරයක් එල්ල කිරීමට එක් ක්‍රීඩකයෙක් බෝලය ඔසවා දිය යුතුයි.

එවිට තවත් ක්‍රීඩකයෙකුට ඩෑෂ් පහර එල්ල කර හැකි වෙනවා. හාස්‍ය රංගනය තුළ විජය - රොඩ්නි සුසංයෝගයේදී මේ සමබරතාව මම හොඳින් දුටුවා.

ප්‍රියන්ත සෙනෙවිරත්න

ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ වර්තමානයේ අපේ රටේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් අතරේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.

පිටපතෙන් එහා ගොස් අපූරු ආකාරයෛන් රංගනය ඉදිරිපත් කිරීමේ විශේෂ හැකියාවක් මා ප්‍රියන්ත වෙතින් දකිනවා. ප්‍රේක්ෂකාගාරය දෙස බලා අවස්ථාවට ගැලපෙන ආකාරයෛන් දෙබස් හැසිරවීමට ඔහු සතුව පුදුමාකාර හැකියාවක් තියෙනවා.

එය හාස්‍යයට පමණක් සීමා නොවූ බුද්ධිමත්ව පවසන අර්ථාන්විත දේ වීමත් විශේෂයකි.

හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් ලෙසටම සීමා නොවූ සමාජයට වටිනා පණිවුඩ ලබා දෙන දේශකයෙක් ලෙසත් මා ප්‍රියන්ත දකිනවා. විවිධ වැඩමුළු සඳහා සහභාගි වීමේදී ළමුන්ට නම් ඒ විදියටත් දෙමාපියන් සිටී නම් එය ඔවුන්ටත් වැදගත් වන අන්දමෙන් ඉතාමත් හරබර දේශන පවත්වන්නත් ඔහු සතුව මනා හැකියාවක් තියෙනවා.

ඇන්ටන් ජූඩ්

ඇන්ටන් ජූඩ් ප්‍රේක්ෂකයන් අතරට හාස්‍ය රැගෙන ගිය අපූරු හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක්. දෙබස්වලට පමණක් සීමා නොවී ඔහුගේ රංගනයෙන් ද ප්‍රේක්ෂකයාට සිනහව ලබා දුන් රංගන ශිල්පියෙක්.

විවිධ ඉරියව්, අංග චලනයෙන් ප්‍රේක්ෂකයා සිනහ ගැන්වීමේ අපූරු හැකියාවක් ඇන්ටන් ජූඩ් සතුව තිබුණා. ඒ විතරක් නොවෙයි අපූරු ගායන හැකියාවකුත් ඔහු සතුව තිබුණා. මා වඩාත් ඇලුම් කළේ ඔහුගේ ඒ ගායනයටයි.

ඔහු මගේ ටෙලි නාට්‍ය කිහිපයකටම දායක කර ගන්න අවස්ථාව ලැබුණා. මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට ඔහු රංගනයෙන් දායක වුණා වගේම ඔහුගේ ආරාධනයෙන් මමත් ඔහු නිර්මාණ්‍ය කළ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න ලැබීම සතුටක්.

බන්දු සමරසිංහ

බන්දු සමරසිංහ රංගනය බොහෝ බැරෑරුම් විදියට අරගෙන රංගනයේ නිරත නොවන ඉතාම සරළ ආකාරයෙන් බැරෑරුම් දේ ඉදිරිපත් කරන රංගන ශිල්පියෙක් ලෙසින් මා දකිනවා.

ඒ වගේමයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන බන්දු අයියා සමඟින් කටයුතු කරන්න ලැබීමත් මට ලොකු සතුටක්. ඔහු සමඟින් කතා කරන විටදී පවා අන් අය සිනහ ගන්වන්නේ හරිම අපූරුවටයි. ඔහුගේ හාස්‍යයට ප්‍රිය කළේ මම පොඩි කාලයේදීමයි. මට මතකයි ඒ කාලයේ ඔහු රඟපෑ චිත්‍රපට මම බැලුවේ හරිම ආසාවෙන්.

පුංචි කාලයේ මගේ හිත ගත් ඒ රංගන ශිල්පියා අද මගේ නිර්මාණ සඳහා දායක කර ගන්න අවස්ථාව ලැබීම ගැනත් මම ගොඩක් සතුටු වෙනවා. ඒක මගේ කලා ජීවිතයේ සුවිශේෂ සිදුවීමක්.

මම අධ්‍යක්ෂණය කළ නාන කාමරය ටෙලි නාට්‍යයේ බන්දු අයියා පොඩි මහත්තයා ලෙසින් කළ රංගනය ඒ අතරේ සුවිශේෂ වෙනවා.

ටෙනිසන් කුරේ

ටෙනිසන් කුරේ නම් වූ රංගන ශිල්පියා අපේ රංගන ක්ෂේත්‍රයේ සුවිශේෂ රංගන ශිල්පියෙක්. මම ටෙනි අයියා තුළින් දකින විශේෂත්වය වෙන්නේ දෙබස් උච්චාරණය හා කතා විලාශයයි. ටෙනි අයියා කියන්නේ අපේ රටේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ චරිතයක්.

පසුගියදා මට ටෙනි අයියා සමඟ රිදී රැයක් ප්‍රසංගයේදී කටයුතු කරන්න ලැබුණා. එම අංගයේ පිටපත රචනා කළෙත් මමයි. ඉතින් මේ වෙලාවෙදි පිටපත ගැන අපි රංගනයේ යෙදිය යුතු ආකාරය ගැන එහෙමත් ටෙනි අයියාට ගොඩක් පැහැදිලි කළා. ටෙනි අයියාත් බොහොම සහයෝගයෙන් වැඩේ කළා.

අවසානයේදී අපට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. එලියට ඇවිත් ටෙනි අයියා මගේ අත අල්ලලා ‘කීකරු වෙලා මෙහෙම වැඩක් කළාමයි ඕයි’ කියලා කිව්වා. ටෙනි අයියා ඒක කිව්වෙත් හාස්‍ය රංගනයේ රිද්මයටයි.

අපේ රංගන ක්ෂේත්‍රයේ හාස්‍යෝත්පාදක රංගනයේ දක්ෂයන් නම් බොහොමයක් සිටිනවා.

ඒ වුණත් අද එය හතකට සීමා කරන්න වෙලානේ. ඒ නිසා මම ප්‍රිය කරන හාස්‍යයේ සුවිශේෂ වූ රංගන ශිල්පීන් හත් දෙනෙක් ගැන කතා කළා. සාර්ථක පිටපත් බිහි වෙනවා නම් ඔවුන්ගේ සුපිරි දක්ෂතා අපට හැමදාමත් දැකගන්න පුළුවන් වේවි.