|
කුෂ්මාණ්ඩ ගුලි එක්ක පොලීසියේ ගුටි පූජාවක්මම කුඩා අවධියේ පටන් තරමක දඟකාර චරිතයක් වීමි. ගම්පොල මහර ප්‍රදේශයේ පදිංචිව සිටි මගේ පියාගේ මව ළඟ සිට කුඩා අවධියේ ළදරු පාසලට ගියෙමි. බොම්බයිමොටයි, සීනි හකුරු, සීනි කඩල ආදී පැණිරස කෑමට මා තුළ තිබුණේ දැඩි කැමැත්තකි. මා පෙර පාසල් ගියේ ඒවා රැගෙන දෙන පොරොන්දුව පිට පමණි. පොරොන්දුව කඩ කළ අවස්ථාවක බිම පෙරළී අඬමින් ඒවා ලබා ගැනීමේ පුරුද්දක් ද මා තුළ තිබිණි. දඟකාරකම්වල අඩුවක් නොවූ තැන ආච්චි අම්මාගෙන් ද හොඳ හැටි වේවැල් කසාය ලැබුණ අවස්ථා ද ඕනෑ තරම්ය. ළදරු අධ්‍යාපනයෙන් පසු මාව පාසල් අධ්‍යාපනය සඳහා ඇතුළත් කරනු ලැබුවේ මහනුවර අම්පිටිය විද්‍යාලයටය. ගැටවර වියේ පාසල් ශිෂ්‍යයකු වූ මා වඩාත් ආශා කළේ යහළුවන් සමඟ විනෝදයෙන් ගත කිරීමටය. පාසල ඇරී කලට වෙලාවට ගෙදර ගියේ ද කලාතුරකිනි. සම වයසේ යහළුවන් සමඟ පාසල් ක්‍රීඩා පිටියේ එල්ලේ, පාපන්දු, ක්‍රිකට් ගැසීම මගේ තවත් විනෝදාංශයක් විය. පාසල් කාලයෙන් පසු සෙල්ලම් කර විනෝද වීම මගේ පුරුද්දක් වූවා වගේම පාසලේ මුරකරුට හොරෙන් කුරුම්බා කැඩීමේ කල්ලියේ නායකයා වූයේ ද මාය. සෙල්ලමට වගේම හොඳට ගස් නැගීමට ද මට එවක හැකියාව තිබිණි. ගස් නැග තැඹිලි කුරුම්බා කඩා අතින් කටින් අරගෙන මුරකරුට නෑසෙන්නට අතින් අත මාරු කරමින් මේ හොරකම සිදු කළ ද මුරකරුගේ පැමිණීම සිදු වුවහොත් අතට අසු වී පැන දිවීම ද සිදු කළේය. දිනක් අපි තැඹිලි කැඩුවා. ඒ යෝජනාවට මූලිකත්වය ගත්තේ මාය. යහළුවන් ඔත්තු බැලූහ. මා ගසට බඩ ගෑවේ හනි හනිකටය. තැඹිලි කඩාගෙන ගෙඩි කීපයක් කටේ එල්ලා ගෙන ගසේ මඳ දුරක් විත් එකිනෙක බිම සිටින යහළුවන්ගේ අතටම හෙළනු ලැබුවේ බිමට වැටෙන ශබ්දය වළකා ගැනීමටය. එදින ගසේ මඳ දුරක් පැමිණ ගෙඩි අත හැරීමට බිම බලන විට ගස යට සිටියේ පාසලේ මුරකරුය. මගේ යහළුවන් අඩියට දෙකට මාරු වී තිබුණේ මා හට කිසිදු සංඥාවක් ද නොකරමය. මේ අසුවීම කෙළවර විය යුත්තේ පසුදා විදුහල්පතිතුමා ළඟිනි. එසේ වුවහොත් විදුහල්පතිතුමන්ගෙන් ලැබෙන දඬුවම්වල බරපතළකම ද මම දනිමි. අපේ පාසලේ ළමයින්ට දඬුවම් කරනු ලැබුවේ මේසයට මුනින් හොවා වේවැලෙන් පස්ස පැත්තට පහර දීමෙන්ය. මේ දඬුවම මට හුරු එකකි. කෙසේ හෝ පෙර වැරැදි සසඳා මෙවර දඬුවම වැඩිවනු ඇත. පසු දින උදෙන්ම මට විදුහල්පතිගෙන් කැඳවීමක් ලැබිණි. මම හනිකට වැසිකිළියට දුව ගියේ ලියන කොපි පොතක් ද රැගෙනය. හනික කලිසම ගලවා ශරීරකෘත්‍යය ද හනික අහවර කොට කොපි පොත දිග හැර පස්ස පැත්තට හොඳින් කොපි පොත සිටින සේ කලිසම ඇඳ ගත්තෙමි. වෙනදා වගේම විදුහල්පති මාව මුණින් හැරෙන්න කියා කෝටුවෙන් පහර පිට පහර දෙන්නට විය. වේවැල් පහර කන විට මම වෙනදාටත් වඩා හයියෙන් කෑ ගැසුවෙමි. මගේ කෑ ගැසීමේ විලාසයත්, වේවැල් පහරේ හඬ ලෑල්ලකට ගහන හඬක් වැනි නිසාත් විදුහල්පතිතුමන්ට සැකයක් ඇති විය. කොණ්ඩය බැඳ අත් දිග ජාතික ඇඳුම ඇඳ සිටිය මුල් ගුරුතුමාගේ මුහුණ ද තරහෙන් කිපී තිබෙන ආකාරය ද මට මැවි මැවී පෙනෙන්නට විය. විදුහල්පතිතුමන් මාව හනික තම කන්තෝරු කාමරය වෙත කැඳවාගෙන ගොස් කලිසම ගලවන්නට අණ කරනු ලැබීය. පැකිළෙමින් වුවත් ඒ දෙය කළේ බියෙන් ගැහෙමිනි. ඒ සමඟම පස්ස පැත්තට තියාගෙන සිටි කොපි පොත බිම වැටිණ. එයට තවත් වේවැල් පහරවල් කීපයක් මට වැදුණේ තට්ටම්වල පාර හිටින්නටය. එලෙස තද විනයක් නොතිබුණා නම් මම නොමඟ යන්නත් ඉඩ තිබුණි. මගේ පියා මැස්ටියගේ දොන් හෙන්රි ගුණතිලක වතු අධිකාරීවරයෙක් විය. ඔහු බලාපොරොත්තු වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්නටය. මට තවත් ආශාවක් තිබිණි. ඒ පාසලේ කවුරු හරි වැටී තුවාල වුවහොත් ඔවුන්ට බේත් දැමීමටය. කවුරුන් හෝ රණ්ඩු වෙනවා නම් මම බලන් ඉන්නේ එයින් තුවාල වන කොනාට බේත් දාන්නටය. වතුයායේ ඩිස්පෙන්සරියේ බංගලාවේ දොස්තර මගේ තාත්තාගේ අයියාය. මම කරන්නේ මහප්පාගේ වෙද නලාවයි බේත් පෙට්ටියයි අරන් මේ වගේ තුවාල වෙන අයට ප්‍රතිකාර කරන්න බලන් ඉන්න එකයි. ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය දාට මට හරි ජොලිය. අනික් ළමයි බලන් ඉන්නේ දුවල දිනන්නය. මම බලන් ඉන්නේ කවුද දුවල වැටෙන්නේ කියලාය. දේශපාලන රැස්වීම් පෙළපාලි බැලීමට මා තුළ තිබුණේ පුදුම කැමැත්තක්. අම්මා තාත්තා මේවාට කොහෙත්ම කැමැත්තක් දැක්වූයේ නැත. ගෙදරට හොරෙන් මේ වගේ රැස්වීම් පෙළපාලි බලන්න ගිය අවස්ථා එමටයි. ඒ වගේම ගෙදරට හොරෙන් ගොස් ගුටි කෑ අවස්ථාත් බොහොමයි. තාත්තාගෙන් ගුටි කන්න හරි හිතලම ගිය අවස්ථාත් ඔය අතර තිබුණි. සමාජයේ දුර්වල තැන්වලට පහර ගහන්න අසරණයෙක් විදියට ඇඳගෙන පෙළපාලි ගිය අවස්ථාත් තිබුණි. 1953 හර්තාල් දිනයේ කන්දසාමිගේ මරණය හේතුවෙන් තිබුණ පෙළපාලියට මම ගෙදරින් පැනලා ඇවිත් ඒකට සම්බන්ධ වුණා. ඔහොම යන කොට එක පාරටම කාකි කෝට් එක දාල හිටිය පොලීසියේ මහත්තයෙක් මගේ බොටුවෙන් අල්ලල ඇදල අරන් පාරවල් දෙක තුනක් ගහල මගෙන් ඇහුවා මොනවද මිනිහෝ මේ කරන්නේ කියලා. එතකොටයි මම දැක්කේ මේ මගේ මස්සිනා කියලා. මස්සිනා අයි පී කෙනෙක් විදියට පොලීසියේ වැඩ කළා. පෙළපාලිියේ ඉන්නව දැකලා ඇදල අරන් දෙක තුනක් මට ගහලා සල්ලිත් දීලා කෝච්චියෙන් ගෙදර යන්න ස්ටේෂමටත් ගෙනත් ඇරලුවා. මගේ දඟකාරකම ගැන තාත්තාට ඉහිලුම් නැහැ. ඒ හින්ද මාව තරවටු කරලා හදාගන්න රාජකීය පණ්ඩිත සීලරතන හාමුදුරුවන්ට, හාලිඇලේ සුමනතිස්ස හිමියන්ට, වෑවල ධම්මරන්සි හිමියන්ට භාර කළා. උන් වහන්සේලාගේ සුවච කීකරු ගෝලයෙක් බවට මම පත් වෙන කොට තාත්තාට ඕනෑ කළා රජකම ළඟට දෙවැනි තැන තියෙන වෙදකම උගන්වන්න. වෙදකමේ තියෙන ආනිශංස රෑට රෑට මට කියලා දුන්නා. මවත් වෙදකම ගැන ආශා කළ හින්දම හොඳ තැනකින් වෙදකම ඉගෙන ගන්න මාව බුලත්සිංහල වෙද මාමට භාර දුන්නා. මාස කීපයක් යන කොට පරණ වෙද වට්ටෝරු ශ්ලෝක බොහොමයක් මම ඉගෙන ගත්තා. වෙද මාමත් හරිම සැරයි. නීති රීතිත් ඒ වගේමයි. ඔය ඔක්කොටම යට වෙලා මම වෙදකම ඉගෙන ගත්තා. වෙද මාමා නැති වෙලාවට දුප්පත් ලෙඩ්ඩුන්ට තෙල් බේත් නොමිලේ දෙන්න මට තිබුණේ පුදුම ආශාවක්. එහෙම තෙල් බේත් දීලා මම පුදුම සතුටක් ලැබුවා. ඒ විධියට තෙල් බේත් දෙන කොට අසරණ මිනිස්සු මට පින් දීලත් යනවා. කොහොම හරි මේ ක්‍රියාව නිසාම මට දන්නෙම නැතුව වෙස්සන්තර පුතා කියලා නමකුත් පටබැඳුණා. මම කරන මේ මහා පුණ්‍යකර්මය වෙද මාමා දැනගත්ත දවසේ මට හොඳ හැටි ගුටි පූජාවක් දුන්නේ ආයේ එහෙ ඉන්න බැරි තරමට. කොහොම හරි මම නොකා නොබී කල්පනා කරල ගෙදර යන්න බස් ගමනට සත අසූ පහක් හොයා ගත්තා. වෙද මාමා හදන කුෂ්මාණ්ඩ බෙහෙත් රසායනයට මම හරිම කැමැතියි. ඒකේ රසයට මම ගිජු වෙලා හිටියේ. නිකන් ඉන්න වෙලාවට වුණත් එයින් ගුලියක් දෙකක් කටට දා ගැනීම මගේ සිරිතක්. දවසක් මේ කුෂ්මාණ්ඩ ගුලි බෝතලයත් ශත අසූ පහත් අරන් පාන්දරක මම ගෙදරින් පැන ගත්තා. බුලත්සිංහල වෙද මාමාගේ ගෙදර ඉඳන් කුෂ්මාණ්ඩ ගුලි සැරින් සැරේ කකා බස් එකේ කොළඹ ආවා. මම කොළඹට එන කොට පාරේ ලොකු පෙළපාලියක් යනවා. මමත් කළේ කුෂ්මාණ්ඩ ඉතිරි ගුලි ටිකත් එක එක කටට දමමින් අර පෙළපාලියට එකතුවෙන එක. මට හරිම සතුටුයි. ගුලි කකා පෙළපාලියේ යන කොට පෙළපාලියට පොලීසියෙන් හොඳ ගුටි පූජාවක් දුන්නේ නැතෑ. නිකන් ගිය මටත් හොඳ ගුටි බැට ටිකක් නිකම්ම වැදුණා. ඒ පහරවල් එහෙම ලේසි පහසු ඒවා නෙමේ. හොඳ හැටි ඇඟපතට රිදෙන්න වැදුණා. බැරිම තැන මම ඇත්ත කතාව පොලීසියට කිව්වා. එයාල කළේ මාව කොච්චියෙන් නුවරට පිටත් කරන එක. ගෙදර ගිහින් මට වෙච්ච සිද්ධිය කිව්වහම ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් මට වුණේ. වෙද මාමාගේ ගෙදරින් පැන ආපු එකටත් එක්ක පොලීසියේ ගුටි පූජාවට වැඩිය අඩු සැරෙන් හොඳ ගුටි කීපයක් මට ලැබුණා. දෙපැත්තෙන්ම ගුටි කාලා ඇඟේ අමාරුව යන්න අන්තිමට මට වුණේ වෙද මාමාගෙන් ඉගෙන ගත්තු තෙල් සාත්තුවත් මටම කර ගන්නයි. |