|
මට පුළුවන් මකුළු දැල් කඩන්න
04 වන කොටස
මේ සියල්ල් සිදු වී නිම වන්නට කී දවසක් ගත විණදැයි සැමීට නිනව්වක් නැත.දැන් සියල්ලම අවසන්ය.පසුගිය දින කිහිපයක්ම ගෙයි පාළුවක් දැනුනේ නැත.එහෙත් මල්ලී සමග සියල්ල නික්ම ගොසිනි.මල්ලී මිය ගොස් තිබුණේ ත්‍රස්තවාදීන් සමග කළ මුහුණට මුහුණ සටනකින් පසුවය.ඔහු ගේ අවසන් කටයුතු සිදු වද්දී පවත් වන ලද ආචාර වෙඩි මුර ඇසුණු සැමී බිය වී තිගැස්සිණ. ජාතික කොඩියෙන් වසා තිබුණ මල්ලීගේ මෘත දේහය සහිත දෙන බදා ගෙන අම්මා විලාප දෙන අයුරු සැමී බලා උන්නේ නිසොල්මන්වය.ඔහු මිහිදන් කරන්නට මත්තෙන් ජාතික කොඩිය සහ පළඳනා නිළධාරියකු විසින් අම්මා අතට බාර දෙන ලදී.ඇය ඒ සියල්ල පපුවට තුරුළු කර ගත්තාය.ගම වෙනුවෙන් අවමංගල සභාවේදී කතා කළේ කඩේ මුදලාලි ය. ටික දිනකින් නිවසේ තනිවූයේ සැමීත් අම්මාත් පමණී. ‘පුතේ උඹ ආපහු රස්සාවට යන්නේ කවදාද ? අම්මා ඇසුවාය.ඔහු උත්තර බඳීන්නට ගියේ නැත.සැමී හුන් තැනම නිසොල්මනේ සිටියේය.එයට පිළිතුරු ලැබුණේ ටික දිනකට පසු ගෙට ගොඩ වැදුණ විල්බට් මාමා ගෙනි. “උඹ ආයේ එහෙ නොගියාට කමක් නැහැ.“ විල්බට් පැවසුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන නියායෙනි. “මම උඹට වෙන තැනක රස්සාවක් හොයලා දෙන්නම්“ අම්මා එයට පිළිතුරු දුන්නේ නැත. ටික දිනකට පසු විල්බට් සැමී අලුත් රස්සාවකට කැඳවා ගෙන ගියේය.මුල් රස්සාවට ගිය දවසේ වගේ ම සැමී පිටත්ව යන්නට පෙරාතුව ඔහු අම්මාට වැන්දේය.අම්මා ඔහු නොපෙනී යන තුරු කඳුළු සැලුවාය.සැමී අත තිබුණේ මුල් දවසේ මෙන්ම ඔහු සන්තකව තිබූ දේපළය.ඒ කමිස දෙකක් සහ සරමකි. මුල් දවසේ මෙන්ම සැමී විල්බට් ගෙන් ප්‍රශ්ණ අසන්නට ගියේ නැත.ඔහු කරබා ගත් වගම පැමිණියේය.ගමේ සිට ඔවුන් පැමිණියේ බස් රියෙනි.අතරමගදී විල්බට් මාමා සැමී සමග බසයෙන් බැස ගත්තේය.පාර පැන ගත් ඔවුහු අනතුරුව අතුරු පාරක ට පිවිසුණහ. එම පාර දෙපස තිබුණේ මෙයට කලින් සැමී කිසිකලක නුදුටු අන්දමේ නිවාසයන්ය.ඉදිරියෙන් ගිය විල්බට් කිහිප වරක්ම ආපසු හැරී බැලුවේය. සැමී කිසිදු හදිස්සියකින් තොරව ගමන් කරනුයේ මග විසිතුරු බලමිනි. “ඉක්මනට වරෙං “ විල්බට් බැරිම තැන කෑගැසුවේය.සැමී මග දෙපස සිරි විසිතුරු නැරඹීම පසුවට කල් දමා විල්බට් පසුපසින් ගමන ඉක්මන් කළේය.තවත් මද දුරක් ගිය තැන විල්බට් අතුරු මාර්ගයකට හැරිණ.එම පටුමග කෙලවර තිබුණු දැවැන්ත ගේට්ටුව විල්බට් විවර කළේ පුරුදු කාරයකු ලෙසය.සැමි එදෙස බලා සිටියේ විවර කර ගත් මුවින් යුතුවය. තාප්පයෙන් ඇතුළු වූ පසු ඔහු දුටුවේ දැවැන්ත ගෘහයකි.එය දුටු මතින් ඔහුට සිතුනේ කලකට ඉහත අහම්බෙන් අසන ලද කතාවක පැවසුණු මාලිගාවක් මේ වගේ විය යුතුය යන හැඟීමය. නිවසේ මිදුල සුන්දර එකකි.එහි කෙළවර ගඟ ගලා ගියේය.ගඟ අද්දරට වන්නට තනා තිබූ කුඩා පාලම අසලින් ඔරුවක් විය.සැමීට ගෙදර සිහිපත් වූයේ නිතැනිනි.සැමී විල්බට් නතරවුණ තැන නතර විය. ගඟ දිහා බලාගෙන භාවනාවකට සම වැදුණ මහත්තයෙක් හාන්සි පුටුවක ඈඳී ගෙන සිටියේය. ‘සර්“ විල්බට් මහත්තයාගේ භාවනාව කැඩුවේය.මහත්තයා හිටි පියවරම හැරි බැලුවේය.ඔහු ගේ මුහුණේ රැවුලක් වැවී තිබිණ.එය ඔහුගේ මුහුණට අපූරුවට ගැලපිණ.සැමිට චිත්‍රපටයක් සිහිවිය.එහි නමක් ඔහුට මතක නැත. ඒ නළුවා වයස් ගත වූවා නම් මේ මහත්තයා වගේ වනු ඇත. ‘සර්.වත්තේ වැඩට ගේන්න කිව්වේ“ විල්බට් මාමා කතා කළේ තරමක් දෙකට නැමී ගෙනය. මහත්තයා සැමී දෙස බැලුවේය. ‘මොකක්ද උඹේ නම ? විල්බට් සැමී දෙස බැලුවේය. “සැමී“ සැමී හෙවත් සිරිරත්න එක්වරම කියා පෑවේය.අනතුරුව ඔහු විල්බට් මාමා ගේ මුහුණ දෙස බැලුවේය.විල්බට් මාමා හරි කියන්නට මෙන් බැල්මක් හෙලුවේය. ‘සැමී ඒක හරි අපූරු නමක් නේ “ මහත්තයා පැවසුවේය.සැමීට ආඩම්බරයක් සිතිණ.ජීවිතයේ මුල් වරට තමා ගැන ආදරයෙන් කතා කරනු ඔහුට ඇසුණ මුල්ම අවස්ථාව එය විය. ‘සැමීට මොනවද කරන්න පුළුවන්‘ මහත්තයා ඇසුවේය.සැමී විල්බට් මාමා දෙස බැලුවේය. විල්බට් මාමා මහත්තයාටත් සැමීටත් කතා කර ගන්නට ඉඩ හැරියේය.සැමී උත්තර දෙන්නට ගියේ නැත. අනතුරුව මහත්තයා ප්‍රශ්ණ වැලක් අසා ගෙන ගියේය. ‘වත්තේ වැඩ කරන්න.කඩේට ගිහින් බඩු ගේන්න.මල් පැල වලට වතුර දාන්න.“ ඒ සියල්ලටම සැමිට තිබුණේ එක පිළිතුරකි.ඒ බැහැ කියන්නටය.එහෙත් එය හඟවන්නට ඔහු සෙළවූවේ මුව නොවේ. හිසය. “අඩුම ගණනේ උඹට කරන්න පුළුවන් වුන දේ මොකක්ද ? මහත්තයා බැරිම තැන ඇසුවේය.සැමි මොහොතක් කල්පනා කළේය.මකුළුවෙක් උස බිත්ති කුළුණ මත වියනක් බඳීනු ඔහුට ඇස ගැසිණ.එය කඩා දමන්නට ඔහුට හැකිය. “මකුළු දැල් කඩන්න“ විල්බට් මාමා සිතුවේ මහත්තයා මේ මෝඩයා ව වහාම ආපසු ගෙන යනු කියනු ඇත යනුවෙනි.එහෙත් මහත්තයා සිනහ වුයේ නැත .“ අඩුම ගණනේ උඹ ඒ ගැනවත් ඇත්ත කිව්වනේ “ මහත්තයා උන් තැනින් නැගිටිමන් පැවසුවේය.විල්බට් ට හුස්ම වැටුණෙ දැන්ය.විල්බට් මහත්තයා ගැන දන්නේ බොහො කලකට පෙර සිටය.මහත්තයා එක්ක බොරු කළ නොහැක. මහත්තයා ගෙට ගියේ සැමී ද කැටුවය.කලක් ගුවන් නියමුවකු වූ මහත්තයා දැන් සිටිනුයේ විශ්‍රාම සුවයෙනි.ඔහුගේ දරුවන් දෙදෙනාම විදෙස් ගත ව සිටිති.
‘ලබන සතියේ තව කොටසක් |