වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

කලාකරුවන්ගේ දේශපාලන ගමන

ජනප්‍රිය කලාකරුවන් සහ කලාකාරියන් මේ දවස්වල දේශපාලන කරලියට පිවිස සිටීම දක්නට ලැබේ. ඔවුන් කෙදිනක හෝ ජනතා නියෝජිතයන් වුණායින් අනතුරුව කලාවට මෙන්ම සමාජයට මෙහෙවරක් කරනවා නම් විශිෂ්ටයි. ජනතා ඡන්දයෙන් ජනතා නියෝජිතයින් වී කිසිත් නොකර සිටීම නොකළ යුත්තකි.
 

අතුල රම්‍යසිරි

පානදුර

දාන්න පහක් පොඩි එවුන්ගේ වැඩක්

හිරු නාලිකාවේ ‘දාන්න පහක්’ වැඩ සටහන කුඩා දරුවන්ගේ ක්‍රීඩාවක් වගේ යැයි මට සිිතේ. ඒ වෙනුවට කාටත් රස විඳීය හැකි සංගීත වැඩ සටහනක් විකාශය කරන්නේ නම් යම් කාර්යයක නිරත වෙන අතරේවත් රස විඳිය හැකිය.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

ටී. වී. එක හිසරදයක්

සිය රාජකාරි නිමා කර නිවසට ආ පසු විනෝදයක් ලෙසින් භාවිත කළ රූපවාහිනිය අද වන විට මට නම් හිසරදයකි. නැරැඹීමට සුදුසු වැඩ සටනක් අද එහි නොමැත. විකාශය වන ටෙලි නාට්‍ය දුර්වල බැව් අදාළ නාලිකා දන්නා නිසා ඔවුන් යතුරු පැදි සහ මුදල් ත්‍යාග පිරිනමා බලහත්කාරයෙන් මෙම බාල බොළඳ ප්‍රේම විපාක නරඹන්නට යැයි අපට ඇවිටිලි කරයි.
 

සමන් ගාල්ලගේ

කැටපල

සිරසේ එකමත් එක රටක හොඳයි

සිරස නාලිකාවෙන් සෑම සෙනසුරාදාවකම විකාශය වන එකමත් එක රටක වැඩසටහන මට නම හරිම ලස්සනයි. අපේ ප්‍රවීණ කලා ශිල්පීන්ගේ සැබෑ තොරතුරු පවසා පවුලේ සාමාජිකයන් ද හඳුන්වා දෙමින් සම්පත් මහතා එය හොඳින් ඉදිරිපත් කරනවා.
 

අනුලා හෙට්ටිආරච්චි

මොරටුව

මර්සි නෙල්සන් ඉක්මන් සුවය

ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට විශිෂ්ට මෙහෙයක් කළ මර්සි එදිරිසිංහ සහ ප්‍රසංග වේදිකාවේ සදා නොමැකෙන නමක් තැබූ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක සහ ගායන ශිල්පී නෙල්සන් වාස් යන මේ දෙපළ අද වන විට රෝගාතුරව රෝහල්ගත වී ප්‍රතිකාර ලබයි.

ඔබලාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට බැල්ම ලැබී ඉක්මන් සුවය අත්වේවා යැයි පතමි.
 

සුනිල් බී. වේහැල්ල

කොළඹ

අජිත්ලක්මාල්

මීගමුව

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ

කොළඹ අහස ලස්සනයි

කොළඹ අහස ටෙලි සිතුවම කුඩු ජාවාරමකරුවන්ගේ ගොදුරක් නොවී ජීවන් මල්ලී දෙමළ තරුණිය සමඟ විදේශ ගතවන්නේ තම පවුල දරිද්‍රතාවයෙන් ගෙඩ ගැනීම පිණිසය. බොතේජුව මුල් රක්ෂාවෙන් නෙරපා දැමූ ලොක්කාගේ පුතා බොතේජුගේම ලොකු දුව (ටීචර්) සමඟ සම්බන්ධකමක් ඇතිකර ගන්නේ දෛවයේ සරදමක් ලෙසිනි. එම උස් පහත්, ඇති, නැති භේදය තරුණ පෙම්වතුනට බලා නොපාන බව පෙන්වමින් නාගරික මුඩුක්කු සමාජය මෙලෙස ගයා රම්‍ය අල්විස්ගේ කොළඹ අහස ටෙලි සිතුවමෙන් දිස් වේ. විශේෂයෙන්ම විජේ මල්ලි චරිතය නව පරපුරේ රංගන ශිල්පී චමීර ශානක හොඳින් මෙහෙයවා නාට්‍යයට ජීවයක් හා විශාල ආලෝකයක් ලබා දෙන බවයි මගේ හැඟීම.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව, කටුබැද්ද

නිරෝෂා පෙරේරාගේ හපන්කම්

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන බොරු කෙරූ නිරෝෂා පෙරේරා දඟකාරකමින් සහ කටකාරකමින් අනූන බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ඔබව වඩාත් හරියන්නේ සිංහල සිනමාවටයි. ඉදිරියේදී තිරගතවීමට නියමිත සෙවනැලි සිනමාපටය නිරෝෂාගේ සිනමා දිවියේ දෙවැනි ගමන කියලයි මම හිතන්නේ.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

S.M.S.

චාමර ජනරාජ් පීරිස්ගේ ඒ 330 ටෙලි නාට්‍යය වාරණය කිරීම මෙරට නැවුම් ටෙලි නාට්‍යයක් නැරැඹීමට බලාපොරොත්තුවෙන් සිටින රසික රසිකාවන්ට කළ මහත් වූ අසාධාරණයක් බව මම කියමි.
 

ඉසුරු රංගන

හැඳල

ජාතික නාලිකාවෙන් විකාශය වන උඩු සුළඟ ටෙලි සිතුවම මෙගා උඩු සුළඟට හසු නොවූ ටෙලි නාට්‍යයක් යැයි මට සිතේ. මාවෝ ලක්ෂිතගේ උත්සාහය සාර්ථකයි.
 

සසංක

දංකොටුව

බොහෝ කලාකරුවන්ගේ නමෙහි ඇති සුන්දරත්වය වැඩ කටයුතුවලදී නැත. රණ්ඩු සරුවල්, බහින් බස්වීම් අනන්තය. අනේ අපේ කලාවට වෙච්ච දේ.
 

ලක්මාලි

වරකාපොළ

ජගත් චමිල, බිමල් ජයකොඩි, උද්දික ප්‍රේමරත්න යන රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව ගොඩක් අගය කරනවා. උද්දික අයියේ ඔයාගේ රංගනය මාරයි. අති විශිෂ්ටයි. අයියේ ඔයා දේශපාලනේ නම් කරන්න එපා. අපට අවශ්‍ය හොඳ රංගන ශිල්පියෙක් මිසක් දේශපාලඥයෙක් නොවෙයි.
 

නිපුණි

ගාල්ල

සාරංග දිසාසේකර පියාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ ඇයි? අද නෑසෙන නාරද දිසාසේකරයන්ගේ එම මියුරු ගීත ඔබ හෝ ප්‍රතිනිර්මාණ කොට අප වෙත ඇසෙන්න සලස්වන්න.
 

සරත්

රත්නපුර

දෙරණ නාළිකවෙන් විකාශය වන තිමිරගිර ඉතාමත් ආදර්ශවත් ටෙලි නාට්‍යයක් යැයි මට සිතේ. එය නරඹද්දී දැනෙන්නේ අතීතයේ විකාශය වූ අප ආසාවෙන් අසා විඳී ටෙලි නාට්‍ය ශෛලයටම එය නිර්මාණය කොට ඇති බවයි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

තිසුරි යුවනිකා ඇයගේ මව වූ සුසන්තා චන්ද්‍රමාලි හා සමානමව රංගනයේ යෙදෙයි. ඇගේ නිල්වන් දෙනෙත් පුංචි තිරයට ගෙන එන්නේ සොඳුරු ආලෝකයකි.
 

වාසනා

කැලණිය

නිරෝෂා අක්කි, ඔයාගේ නීරෝ විත් ස්ටාර්ස් ප්‍රෝග්‍රෑම් එකට අනර්කලී අක්කිවත් එක්කගෙන එන්නකෝ. එම වැඩ සටහන නීරෝ විත් ස්ටාර්ස් වැඩසටහන් මාලවේ හොඳම වැඩ සටහන වේවි.
 

ඉන්ෂි

වැලිගම

සිංහල සිනමාවේ අතීතයට සම්බන්ධ කැමරා ආම්පන්න දුර්ලභ පෝස්ටර් යනාදිය අද කාලයේ අයට දැක බලා ගැනීමට කටයුතු කරන හේමප්‍රිය කණ්ඩම්බිට අප හැමොගේම ගෞරවය හිමි විය යුතුයි. ඒවා සංරක්ෂණය කරමින් ඔහු කරන මෙහෙවර සුළුපටු නැතැයි ම’විසින් කියමි.
 

සුමිත්

වතුරුගම

කවුරුන් කෙසේ කීවත් සතියේ දිනවල පුංචි තිරයෙන් විකාශය වන හොඳ ටෙලි නාට්‍ය ඇත්තේ දෙකක් බව මට හැෙඟ්. ඒවා නම් රන්තරු සහ ස්වප්නා වේ.
 

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

අප රටෙහි දක්ෂ නළු නිළියන් සිටිති. එහෙත් ඔවුන් කවදාවත් හොඳම නළුවන් හෝ නිළියන් ලෙස සම්මානයට පාත්‍ර වන්නේ නැත. හැමදාම හොඳම නළුවා හෝ නිළිය වන්නේ එකම පිරිසකි. ඒ අනුව බලන කළ මෙරට සම්මාන උළෙලවල් ගැන මට ඇත්තේ අප්‍රසාදයකි.
 

මුනිදාස

වාද්දුව

ප්‍රවීණ රංගධර සොමී රත්නායක වසර දහයකටත් අධික කාලයකට පසු ‘පරාවර්ථනය’ සිනමාපටයෙන් දක්නට ලැබීම වෙනුවෙන් එය අධ්‍යක්ෂණය කළ ජයනාත් ගුණවර්ධනට මාගේ උත්තමාචාරය පිරිනමමි. සොමී වැන්නවුන්ගේ අගය තේරුම් ගෙන නැවත නැවතත් සොමීව යොදා ගෙන සිනමා නිර්මාණ කරන්නට යැයි ම’විසින් ඉල්ලා සිටිමි.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

සුනිල් ටී. ප්‍රනාන්දුගේ දෝනි චිත්‍රපටය ගොඩක් ලස්සනයි. ඉන් සමාජයට ලබා දෙන්නේ උතුම් පණිවුඩයක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම එහි දෝනිට රඟපාන මෙනුලි පිළිබඳ හොඳ බලාපොරොත්තුවක් තියාගන්න හැකියි.
 

ගීත් ප්‍රියසම්පත්

කටුනායක

නළු නිළියන් මැතිවරණයට ඉදිරිපත් වීම විහිළුවක් ලෙස අපට හිතෙනවා. කලාවයි දේශපාලනයයි පටලව ගන්න එපා. මොකද දේශපාලනයට ගියාව කලාකරුවන් විනාශ වෙන එක විතරයි වෙන්නේ.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

කොළඹ අහස යට ටෙලි සිතුවමහි විජය නන්දසිරි රඟපානවා නෙවෙයි ජීවත් වෙනවා යැයි එය නරඹද්දී මා හට දැණින. ඔහු තුළ සිටින චරිතාංග නළුවා නැවතත් එළියට ඇවිත් වගේ.
 

කමනී පෙරේරා

හොරණ

පෙම්වතා වුවත් දුෂ්ඨයා වුණත් නිරූපණය කළ හැකි කාවිංග පෙරේරා මේ යුගයේ ජනප්‍රියම නළුවාය. ඔහු තරුමලී හි විනෝද් හාමු ලෙස කදිමට රඟපායි. එය නරඹද්දී අපට හිතෙන්නේ ඔහු ඇත්තටම දුෂ්ඨයකු කියාය.
 

තිළිණි

නුවර

ප්‍රතිචාර සැකසුම –

ප්‍රසාද් සමරතුංග

ඔබේ අදහස්වලට තෝතැන්නයි මේ. ප්‍රතිචාර වියමනට ක්ෂණිකව ප්‍රතිචාර එවන්න 0752805047 අංකයට ලිපි හෝ තැපැල්පත් මඟින් නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතයි.