වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සේවිකාවට අතවර කරලා

සේවිකාවට අතවර කරලා

ෂයිනි අහූජා, නිවෙසේ සේවිකාවට අතවර කිරීමේ වරදට පසුගිය කාලයේ සිරගතකර තිබිණි. එහෙත් ඔහු රංගනයෙන් සිර කිරීමට එය හේතුවක් නොවන බව බොලිවුඩයේ බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ විශ්වාසයයි. සිරෙන් නිදහස් වී සිටින ෂයිනි ළඟදීම තීරයේ දක්නට ලැබෙන්නේ ඒ නිසයි.

අනීස් බස්මීස්ගේ ‘වෙල්කම් බැක්’ සිනමාපටයෙන් යළිත් ෂයිනිගේ දස්කම් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ ලැබේ. ‘වෙල්කම් බැක්’ 2007 වසරේදී ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වුණු ‘වෙල්කම්’ සිනමාපටයේ දෙවැන්නයි.

ෂයිනි සිනමාපටයේ දෙවැනි කොටසේ සිට රංගනයෙන් දායක වෙයි. සැබෑ ජීවිතයේදී දුෂ්ටයකු වී සිරගත වූ ඔහු ‘වෙල්කම් බැක්’ සිනමාපටයේ විකටයකු වන්නේය. ඔහු මීට පෙර විකට චරිත රඟපා නැත.

ෂයිනි රැ¼ගූ ‘හසාරන් ක්වයිෂීන් එයිසෙ’ (2005), ‘ගැන්ග්ස්ටර්’, ‘වෝලම්හේ’, ‘ලයිෆ් ඉන් මෙට්‍රෝ’, ‘ගෝස්ට්’ (2012) අතිශයින් සාර්ථකත්වයට පත් සිනමාපටයි.

වෙල්කම් බැක් සිනමාපටයේදී ප්‍රේක්ෂකයන්ට ෂයිනි දකින්න ලැබෙන්නේ සිරුර පුරාම ටැටූ ඇති, නවීන පන්නයේ ධනවත් විකටයකුගේ චරිතයකිනි. රූගතවීම්වලට සහභාගිවීම සඳහා ෂයිනි ඉක්මනින්ම ඩුබායි බලා පිටත්වනු ඇත. ඔහු යළිත් රංගනයට එක්වීම ගැන පවුලේ සියල්ලන්ම සිටින්නේ සතුටිනි.

නස්රුදීන් ෂා, ඩිම්පල් කපාඩියා, ජෝන් ඒබ්‍රහම්, සෘති හසන්, අනිල් කපූර්, නානා පතේකර්, පරේෂ් රාවල් සෙසු චරිත රඟති.

තිස් නව හැවිරිදි ෂයිනි දියණියකගේ පියෙකි. අනූපම් ෂයිනිගේ බිරියයි. මෙහෙකාරියට ඔහුගෙන් අතවරය සිදු වී තිබුණේ බිරියත්, දියණියත් ෂයිනිගේ මාපියන් බැලීමට ගොස් සිටියදීය. ඒ මොහොතේ ෂයිනි මත්පැන් පානය නොකර සිටි බවත්, මෙහෙකාරිය ඔහුගෙන් දූෂ්‍ය වී ඇති බවත් වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි විය. එහෙත් අහූජාගේ පෙනුමට, රංගනයට පෙම් බැඳී ඇය මෙය හිතාමතාම කළ බවට ද රාවයක් පැතිරිණි.

මෙහෙකාරිය දූෂ්‍ය කළ බවට සඳහන් කරන වේලාවේ මෙහෙකාරිය පැය භාගයකටත් වඩා වෙනත් මිනිසකු සමඟ කථා කරමින් සිටි බවට අභියාචනයක් ඉල්ලීමේදී සඳහන්කර තිබිණි. කෙසේ වුවත් ඔහු දැන් නිදහස ලබා ඇත. ඒ නිසා රංගනයට ද නිදහස ලැබී තිබේ. රැඟූ පළමු සිනමාපටයෙන්ම (හසරොන් ක්වයිෂීන් එයිසේ - 2006) හොඳම නවක නළුවා ලෙසින් ෆිල්ම්ෆෙයාර් සම්මාන ලැබීමට වාසනාවන්ත වූ නිසා ඔහුගේ රංගන ජීවිතය නම් සිරගත නොවනු නිසැකය.