|
පිට පිට හය වතාවක් මට කම්මුලට ගැහුවා
ශ්‍රීමාල් වෙඩිසිංහ කියන උස මහත නළුවාගෙන් එකදිගට කම්මුල් පාරවල් හයක් වැදුනොත් ඒ කෙනාට කොහොම දැනේවිද? හරියට වට දහසක් කරකවලා අතහැරියා වගේ තියේවි. හැබැයි ප්‍රේමදාස විතානගේට නම් ඒ තත්ත්වය එච්චර ගානක් වුණේ නැහැ. රන්ජන් රාමනායක ගේ ‘රන්ජා’ චිත්‍රපටය රූ ගත කරද්දී ශ්රීමාල්ගෙන් එකපිට එක හය වාතාවක් කම්මුල්පාරවල් කාගෙන ජයග්‍රාහී හත්වැනි වතාවටත් ප්‍රේම් කන හරහා පහරක් වද්දගත්තෙ රංගනයේදී එවැනි දේවල් නිරන්තරයෙන් සිදුවන නිසා. කෙසේ නමුත් ප්‍රේම් මීට ප්‍රථම ද අවස්ථා ගණනාවක දී විවිධ නළුවන්ගෙන් කම්මුල් පාරවල් කාලා තියෙනවලු. ඔහු නම් කියන්නේ මේ විදිහට අනුන්ගෙන් කම්මුල් පාරවල් වැඩිපුරම අනුභව කළ එකම නළුවා තමන් බවයි. ප්‍රේම් මේ වනවිට කලා ක්ෂේත්රයට ඇවිත් අවුරුදු හතළිස් දෙකක්. ඔහු වයස අහන හැමෝටම කියන්නේ ඉපදිච්ච ගමන්ම කලාවට ආපු නිසා වයසත් හරියටම හතළිස් දෙකක් කියලා. ඒත් වදෙන් පොරෙන් අපි ඔහු ගේ වයස දැනගත්තා.
ඇත්තම කිව්වොත් මට අවුරුදු හැටයි. පේන්නේ කොල්ලෙක් වගේ නේද? ප්‍රේම් කතාව ඇරැඹියේ එතැනින්. ඔහු කලා ක්ෂේත්රයට ඇවිත් තියෙන්නේ වෙසක් නාට්‍යවලින්. මගේ ගම නාවල. හැත්තෑව දශකයේ මුල් භාගයේ ගමේ වේදිකා ගතකළ විදුර, රොඩී කෙල්ල ආදී නාට්‍යවල රඟපෑවා. රංගනයට ඇති නොනිමි ආසාව නිසාම මං අවස්ථා හොයමින් කාලය ගතවෙද්දී ‘දිනුම් කණුව‘ චිත්‍රපටයේ පුංචිම පුංචි දර්ශනයකට පෙනී සිටින්න හම්බවුණා.
ඔබව එහි හොයා ගන්න දෙපාරක්ම ෆිල්මි එක බැලුවා නේද? අනේ ඔව්, දෙපාරක්ම බැලුවා තමයි. ඒත් හොයාගන්න බැරි වුණා.
ඊට පස්සේ? ජය අපටයි, චාන්දනී, හිඟන කොල්ලා, යුද ගිනි මැද, රජ හොරු, රන්ජා, ඇද්දා ලනුව දැම්මා කොඩිය වැනි චිත්‍රපටවල රඟපෑවා. ‘සිංදු බිංදු’ තමයි පළමු ටෙලි නාට්‍යය වුණේ. සැනසිලි සුවඳ, කිරි කඳුළක්, කෝපි කඩේ, දෙපත් නයි, සරා, අනෙක් ටෙලි නාට්‍ය කිහිපයක්. ඒ අතරින් කෝපි කඩේ මිනී පෙට්ටි සාප්පුවේ මුදලාලිගේ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. මං කෝපි කඩේ සියවැනි කථාංගයේ සිට අද දක්වාම ඉන්නවා.
ප්‍රේම් වේදිකාවේ සක්‍රීයබව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ ගැනත් කියමු? ආයෙත් අහලා. වේදිකාව මගේ මූලාරම්භය නිසා වර්තමානය දක්වාම මං එහි රැඳී ඉන්නවා. සිවම්මා ධනපාල, අයෑම් ශ්‍රී ලංකා, සූටි ගමරාල වගේ නාට්‍ය කරකර රට වටේම යනවා.
ප්‍රේම් ගැන ජනපි‍්‍රය කතාවක් තියෙනවා.? මං දන්නවා ඔය අහන්න හදන එක. මට පීනන්න බැරි කතාව නේද? හරියටම හරි... ඉස්සර නම් මං කාටවත් ඒ ගැන කිව්වේ නැහැ. මට චරිතයක් ලැබුණා පීනන දර්ශනයක් තියෙන. ඉතින් ලැජ්ජාවට මං කාටවත් කිව්වේ නැහැ මට පීනන්න බැහැ කියලා. මං වතුරට බැස්සා. මෙන්න දැන් ටික ටික මාව ගිලෙනවා. පුදුම විදිහට බය හිතුණා. ප්‍රඩක්ෂන් එකේ කට්ටියක් පැනලා බේරගත්තේ. එදා ඉඳලා මට චරිතයක් ලැබෙද්දී නොවැරදීම අහනවා පීනන්න, වතුරට බහින දර්ශන තියෙනවද කියලා.
ඔබ රංගනයට එන කාලෙ සමපැහැපත් අය තමයි නළුවන් වුණේ. ඒ අතරේ ඔබට සෑහෙන්න කට්ටක් කන්න ඇති නේද චරිත ලබාගන්න? ඔය නොකියා කියන්නේ මම කළුයි කියලනේ. ඉතින් කළු කොච්චර හොඳද. ඔබ කිව්ව තත්ත්වය මත මං කළු නිසා ගොඩක් අය මාව මුලදි රංගනයට ගත්තේ නැහැ. ඒත් මූණ හුරු වෙද්දි ටික ටික කට්ටිය මට චරිත දුන්නා.
සුදු වෙන්න රූපලාවණ්‍ය ක්රමෝපායන් පාවිච්චි කරන්න තිබුණානේ? අනේ මොකටද. උපන් කළුව මට හොඳයි.
නාට්‍ය කරන්න ගිහින් රෑ දෙක වෙනකම් කනත්තක හිටියා කියන කතාව මොකක්ද? ඒක වුණේ ‘මිණිපුර හටන’ නාට්‍යය කරද්දි. දවස් කිහිපයක්ම බොරලැස්ගමුව පැත්තේ කනත්තක රෑ දෙක පහුවෙනකම්ම හිටියා. කිසිම බයක් දැනුණේ නැහැ. මමත් ඉතින් හොල්මනක් වගේනේ.
පවුලේ විස්තරත් සඳහන් කරමු? මගෙ බිරිය ඥානා මීපගමගේ. මට ළමයි පස්දෙනෙක් ඉන්නවා. රූපිකා, රසිකා, නිලුකා, සමීර සහ ලක්ෂාන්. ඒ අයගෙන් බාලයා ලක්ෂාන් හැර අනෙක් හතර දෙනා බැඳලා. ඒ අයටත් ළමයි ඉන්නවා. එහෙම බලනකොට මං සීයා කෙනෙක්.
|