වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




බෙම්පි ලෙස හමු වන රංජිත් ජයසේකර

බෙම්පි ලෙස හමු වන රංජිත් ජයසේකර

අද වන විට දේශපාලන ක්ෂේත්‍රයට අවතීරණ වූ කලා තරු බොහොමයක් සිටිනනවා. රංජිත් ජයසේකර කියන්නෙත් එවැනිම කලාකරුවෙක්. 90 දශකයේ අග භාගයේදී කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු රංගනය වගේම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනය වැනි අංශ කිහිපයකින්ම දායකත්වය සපයන අතරම සූරියැව ජයසේකර සිනමා ශාලාවේ අධිපතිත්වයත් දරනවා. මේ විදියට කලා ක්ෂේත්‍රයේ කටයුතු අතරදී දේශපාලනයටත් පිවිසීම පිළිබඳ රංජිත් ජයසේකර සමඟ කතා කරන්නත් සරසවිය තීරණය කළා.

ප්‍රථමයෙන්ම ඔබේ කලා දිවියේ ආරම්භය ගැන දැනගන්නට කැමැතියි?

කුඩා කාලයේ පටන්ම කලාව මගේ ඇඟේ තිබුණා. පාසල් කාලයේදීත් මම විවිධ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවා. මගේ ගම හම්බන්තොට බෙලිඅත්ත. 1978 වසරේදී පුවත්පත් දැන්වීමක් දාලා තිබුණා ශේෂා පළිහක්කාර මහත්මයාගේ ‘ගුරු ගෙදර රංගායතනයට’ සිසුන් බඳවා ගන්නවා කියලා. ඒ අනුව මටත් ඒ සඳහා ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, චන්න විජේවර්ධනත් එදා ඒ පංතියේ හිටියා.

මගේ මුල්ම රංගනය යෙදුණේ ගාමිණී හේවාපතිරණ මහතාගේ ‘මැණික් මාලිගා’ චිත්‍රපටයේ. ඉන් පසුව එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ ‘සප්ත කන්‍යා’ ආරියදාස පීරිස් මහතාගේ ‘සුභා’ ඇතුළු චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය රැසකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වල පද්මසිරි කොඩිකාරගේ ‘කොරළේ මහත්තයා’ ටෙලි සිත්තමේ බෙම්පිගේ චරිතයට දායක වෙනවා. ඊට අමතරව මේ වන විට මම ටෙලි නාට්‍ය කිහිපයකුත් නිෂ්පාදනය කරලා තියෙනවා.

දැන් ඔබ දේශපාලනයට පිවිසෙන්නත් තීරණය කරලා නේද?

දේශපාලනයට පිවිසේ නම් අද ඊයේ නොවෙයි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී මෙරට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වන විටත් මම එදා එතුමාට සහයෝගය ලබා දුන්නා. ඊට පසුව 1989 වසරේ පළමු පළාත් සභා මැතිවරණයේදී මගේ සොයුරු නිමල් රංජිත් ජයසේකර මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වූ විට දී ඔහුගේ ලේකම් ධූරය දරමින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මම ක්‍රියාකාරී විදියට දේශපාලනයට පිවිසියේ 1994 පළාත් සභා මැතිවරණයෙන්. ඒ අනුව මට සෑහෙන වැඩ කටයුතු කොටසක් කරන්න අවස්ථාව ලැබුණා.

කලාකරුවෙකුට දේශපාලන ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

මම දකින විදියට කලාවයි දේශපාලනයයි එක සමානයි. ඒ වුණත් මේ ක්ෂේත්‍ර දෙකම හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනෑ. දේශපාලනයෙන් බඩ වඩා ගන්න ගියොත් තමයි වැඩේ වරදින්නේ. හම්බන්තොට දිස්්ත්‍රික්කයේ කලාවට ලැදි බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ට අත දෙන්න ඉදිරියට යන්න නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ සඳහා කලාව පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්. ඔවුන් වෙනුවෙන් නොමිලයේ රංග පාඨමාලා පැවැත්වීම වගේම රුහුණු කලා පදනම මඟින් ප්‍රදේශයේ පැරැණි කලාකරුවන්ට සෙතක් සලසන්නත් බලාපොරොත්තු වෙනවා.

රංගන ක්ෂේත්‍රයේ ඉදිරි සැළසුම ගැනත් සඳහන් කරමු?

ඉදිරියේදී මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම මම නිෂ්පාදනයෙන් දායක වූ ‘කරදිය’ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වේවි. දේශපාලන කටයුතු වගේම රංගන කටයුතුත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.