|
දවස් පහළොස් දහසක් ගැන මනෝගේ මතක චිත්‍රය
ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නවවැනි නාට්‍ය උළෙල 17 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හි දී
‘මනෝ’ කලා ලොවේ කාගෙ කාගෙත් හදවතේ උපන් ආදරණීය නාමයක්. ඒ ආදරණීය සහෘදයා අලුත් වැඩකට අත තියලා. අපට ආරංචි වුණේ එහෙමයි. ‘ඒ මොකක් ද?’ ඒ ගැන සොයන්න ඒ ආදරණීය සහෘදයා සොයා ගෙන අපි ගියේ බොරලැස්ගමුවට. ‘බොහොම කාර්යබහුල දවසක්.’ ඔහු දුටුමනතින්ම අපට සිතුණා. කාර්යබහුලත්වයේ ගිලුණු එක් නිමේෂයක අපි කතාව ආරම්භ කළා. ‘දවස් පාළොස්දාහ’ මගේ නව වැනි නාට්‍ය උළෙල. එය ඒ නමින්ම නම් කරන්න පෙළ ගැසුණේ අපූරු හේතුවක්. මනෝ කොළඹට ආවේ 1963 වසරේ. ඒ නාට්‍ය කරන්න හිතාගෙන. හෙන්රි ජයසේනයන් ගේ ‘මකරා’ ඔහුගේ ජීවිතයේ අපූරු මං සලකුණක්. එදා ඉඳලා අද වනතුරුම දවස් පාළොස්දාහක්. ‘දවස් පාළොස්දාහ’ ඒ නම හොඳයි. හැමෝම කිව්වා. මනෝ නාට්‍ය උළෙල ඒ නමින් නම් කළා. ‘දවස් පාළොස්දාහ’ කරළියට එන්නේ ඒ විදියට. ඒ විතරක් යැ, මේ නාට්‍ය උළෙල කාලයක් තිස්සේ මනෝගේ නාට්‍ය නරඹන්න ඉන්න ප්‍රේක්ෂකයන්ට දිව්‍ය ඔසුවක් වේවි. වසර 30 ක් තරම් කාලයක් වුණු ‘පුත්‍ර සමාගම’ නාට්‍යය උළෙලට ඇතුළත් කළේ ඒ නාට්‍යයට බොහෝ දෙනෙක් ආදරය කළ නිසා. ‘නව පරපුරට, ගුරුභවතුන්ට දවස් පාළොස්දාහ අපූරු පිළිතුරක්.’ මනෝ කිව්වේ හිනාවෙවී. ‘සමාජයේ හරස්කඩක්, ආකෘතිවල වෙනස්කම්, සමකාලීන අදහස් හඳුනා ගන්න අපූරු උදව්වක්’. ඒ වගේම මනෝගේ නාට්‍ය ගැන හදාරන විශ්වවිද්‍යාල සිසුන්ටත් ඉතා ප්‍රයෝජනවත් වේවි. නාට්‍ය ගැන කතා කරන, නාට්‍ය කෘති, සී.ඩී. අලෙවි වන වෙනම උප සංස්කෘතියක් මේ සතියේ ගොඩ නැගේවි. බොහොම දෙනෙක් කියන කතාවක් ඒ. මේ තරම් කාලයක් ගතවුණු නාට්‍ය පෙරහරත් සමඟ කාලයක පටන් රඟපෑව නාට්‍ය ශිල්පීන් රැසකුත් රඟපානවා. ඒකත් විශේෂයක්. මේ විශේෂතා අතර තවත් විශේෂ කතා රාශියක් හැංගිලා. ඒ කරළියේ තිරයෙන් එහා මායිමේ. සිනාමුසු දේ වගේම ඔවුන් මුහුණදුන් අකරතැබ්බත් ඒ අතර එමටයි. ඒ අතීතයේ සැඟවුණු මතකයේ තතු මනෝ අවදි කළේ ටිකෙන් ටික. සෙමෙන්. සෙමෙන්. මේක සිද්ධ වුණේ බොහොම කාලයකට ඉස්සර. එදා නාට්‍ය වේදිකා ගත වුණේ ගාලු පුරවරයේ. පස්වරු 2.30 ට වාගේම 6.30 දර්ශනයත් සූදානම් කියලා සංවිධායකවරු කිව්වා. 2.30 දර්ශනය වේදිකා ගතවුණේ කිසිම ගැටලුවක් නැතිවම. ඒත් ගැටලුව මතුවුණේ 6.30 දර්ශනය ආරම්භයත් සමඟ. ‘මනෝ අයියේ අද අපිට කිසිම සංග්‍රහයක් නැහැ වගෙයි.’ නාට්‍යයේ රඟපෑව නථවෙක් කිව්වේ වෙනදා ලැබෙන සංග්‍රහය පරක්කු නිසා. මනෝටත් මේක නොතේරුණාම නොවෙයි. ‘ඔන්න ඔහේ ඉවසමු මල්ලී’ මනෝ කිව්වේ ඕනෑම දෙයකට සූදානම් ශරීරයෙන්. ‘ඊළඟ දර්ශනයට සූදානම් වෙමු.’ නඩේගුරාගේ අණ පිළිපඳින්න හැමෝම සූදානම්. පැයක් ගතවුණා. දෙකක් ගතවුණා. ‘මනෝ අයියේ වෙලාව 7.00 යි.’ ඒ ඇමතුªවෙන් ජයලත් මනෝරත්න හරියට දුම්මලවරම ගත්ත කට්ටඩියා වගේ. එහාට දුවනවා. මෙහාට දුවනවා. දිගටම කල්පනාවේ. මනෝගේ නෙත නිතරම ඔරලෝසුවේ කටුව ළඟ. ‘රාත්‍රී 7.30 යි.’ ‘අද නම් අපිව රවට්ටලා.’ විස්තර සොයාගෙන එන්න ගිය කෙනා අවේ එහෙම කියන ගමන්. ඒ අතරෙන් ඇසෙන්නේ ප්‍රේක්ෂකාගාරේ කසු කුසුව. තිරය විවෘත වුණා. නඩේගුරා වේදිකාවට පිවිසුණේ ප්‍රේක්ෂක කසු කුසුව මැද්දේ. මුථ වේදිකාවම මීයට පිම්බා වගේ. ‘අපිට පොඩි කරදරයක් වෙලා.’ නඩේගුරාගේ ස්වරය මුථ නගරශාලාව පුරාම විහිඳුණේ ශෝකී ස්වරයත් සමඟ. ‘මහත්තයලා බය වෙන්න එපා. අපි ඉතුරු ටික බලා ගන්නම්.’ පේ‍්‍රක්ෂකයෝ කිහිපදෙනෙක්ම පැවසුවේ හදවතෙන්ම. ‘සඳගිර’ වේදිකා ගතවුණා. රාත්‍රිය දුරු කරන නියෝන් එළි අතරෙන් මතුවුණේ අපූරු රසිකයෙක්. ‘යමු මාත් එක්ක.’ කරාපිටියේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් විදියට නමක් දිනා සිටි පියරිසි අපට පෙරමුණ ගත්තා. විවිධ තැන්වල නවත්වමින් බොහොම අපහසුවෙන් සොයා ගත්ත බත් පැකට් ටික ඔහු අපට බෙදලා දුන්නා. මේ අතර මනෝත්, පියරිසිත් දිගු කතාබහකට මුල පිරුවා. එවිටයි ඔහු පේරාදෙණියේ වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලා මනෝ දැන ගත්තේ. ඒ වගේම ඔහු මනෝගේ නාට්‍යවල අපූරු රසිකයෙක්. ඇබැද්දියක් වුණත් එදා රාත්‍රිය නම් බොහොම සුන්දරයි. වෛද්‍ය පියරිසිගේ නිවෙසේ සංගීත සාජ්ජයක්. අවසානයේ ඔවුන් කොළඹ ආවේ හිස් අතින්ම. එදා ‘පුත්‍ර සමාගම’ වේදිකා ගතවුණේ බණ්ඩාරවෙල. වේදිකාවේ හිටියේ මනෝත්, අජිත් ජිනදාසත් . දෙන්නම තමන්ගේ රඟපෑම්වල නිරත වුණේ සුපුරුදු පරිදි. වේදිකාව හරහා යන තවත් කෙනෙකුගේ ඡායාවක් හදිසියේම මතුවුණේ මේ අතරතුරදි. මනෝට එකපාරටම ඇතිවුණේ පුදුමයක්. ඒ වෙලාවේ කිසිම කෙනෙක් වේදිකාවේ ඉන්න බැහැ. ‘කවුද මේ?’ අජිත් ජිනදාස දෙබස් කියන අතර මනෝරත්න කල්පනා කළා. පුත්‍ර සමාගම නාට්‍යයේ ඒ දර්ශනය අවසන්. ජයලත් මනෝරත්න තිරය පිටුපස්සට ආවේ තරහෙන්. ‘මොනවද අශෝක කරන්නේ? කවුද අර අපි දෙන්නාගේ සීන් එක අතරේ වේදිකාව මැදින් ගියේ.’ මනෝරත්න කෑගැසුවේ අශෝක සොයිසාට. ඔහු තමයි වේදිකා පරිපාලකයා. මනෝගේ කෑ ගැහිල්ල අශෝක නොවෙයි කනකට ගත්තේ. ‘මොනවද මනෝ ඔයාට තිබුණේ ඔය කිය කිය හිටිය දෙබස්වලට තවත් දෙබස් කිහිපයක් එකතු කරන්න නේ.’ අශෝක කිව්වේ ඇඟට පතට නොදැනී. ඊළඟට අශෝක දෙබස් කියනවා. ‘රාත්‍රිය ගෙවිලා ගියා. සීත සුළං හමනවා. තරුත් මැකිලා. ඉරත් පායාගෙන එනවා. හොඳටම දවල් වෙලා නේ. අර කිරි කාරයත් කිරි අරගෙන යන්නේ.’ එතකොට නම් හැමෝටම හිනා. දන්නේම නැතිව හිතේ තිබුණු තරහව මැකිලා මනෝරත්නගේ උවනට සිනාවක් මෝදුවුණා. මේ සිද්ධිය නම් වුණේ පොළොන්නරුවෙදී. රාත්‍රි 7.00 ට ‘පුත්‍ර සමාගම’ වේදිකා ගත වුණා. ප්‍රේක්ෂාගාරය කොයිතරම් නිශ්ශබ්ද ද කිව්වොත් ඉඳීකටුවක් වැටුණත් ඇහෙන තරම්. කාලය ගෙවිලා ගියා. වේදිකාවේ හිටියේ තාත්තයි, පුතයි. ඒක බොහොම සංවේදී වෙලාවක්. තමන්ගේ නැතිවුණු පුතා තාත්තට හමු වෙලා. ඒත් ඒ තමන්ගේ තාත්තා නොවුණත් මේ මහලු මිනිසාව රවට්ටන්න ඒ පුතාට සිදුවෙලා. දෙන්නගේ සෙනෙහසේ තරම දෙබස්වලට නැගෙනවා. තාත්තයි, පුතයි ආදරයෙන් වැලඳ ගන්නේ බොහොම සංවේදීව. එකපාරටම වේදිකාවෙන් නැඟුණේ විලාපයක්. ඒ විලාපයම තවත් වරක් නැඟුණා. ප්‍රේක්ෂකාගාරාය කලබල වුණා. ‘කවුද ඒ’ හැමෝගෙම උවනේ තිබුණේ ඒ වගේ ප්‍රශ්නයක්. ඒ විලාපය තවත් වරක් නැඟෙද්දී හැමෝම කලබල වෙලා. වේදිකාවේ රංගනයත් නැවතිලා. ‘මොකක්ද කියලා බලමු’ මනෝ කිව්වේ අනෙක් අයට. හැමෝම ප්‍රේක්‍ෂකාගාරයට ගියා. ගැහැනු කෙනෙකුට කලන්තය හැදිලා. පසුව සොයලා බලනකොටයි කාරණය වැටහුණේ. නාට්‍යයේ වගේම සිදුවීමක් ඇයට සිදුවෙලා. ඒ සංවේදීබව දරාගන්න බැරිවුණු ඇය සිහි විසඥ වෙලා. මේ සියලු කටයුතු අතර මනෝ වාහනයක් සොයලා ඈ නිවෙසට පිටත් කළා. ආයෙත් පුත්‍ර සමාගම වේදිකා ගතවුණා. දවසක් මනෝගේ ‘කනේරු මල්’ නාට්‍ය කණ්ඩායම ගියේ කටුගස්තොට - වළල ට. කොළොම්පුරයෙන් ඔවුන් ගමන් ආරම්භ කළෙත් තරමක් ප්‍රමාද වෙලා. දැන් ඉතිං නාට්‍යය වේදිකාගත කරන වෙලාවත් සෙමෙන් ළං වෙලා. තවමත් පේරාදෙණියේ. ‘මොනද කරන්නේ’ මනෝ කල්පනා කළේ වැටෙන්න යන විපත්තිය ඉව වැටුණ වගේ. ‘රථාචාර්යතුමා ඉක්මන් කරමු’ වාහනය ගෙනයන රථාචාර්යතුමාට අනෙක් අය කියන්නේ වෙන්න යන දේ දන්න නිසා. ‘කමක් නෑ අපි වාහනේම මේකප් කරමු’ හැමෝගෙම එකඟතාව ලැබුණේ ක්‍ෂණයකින්. වේශ නිරූපණ ශිල්පියා තමන්ගේ වැඩේ පටන් ගත්තා. එකිනෙකා ගේ සැබෑ මුහුණු සෙමෙන් සෙමෙන් වෙනස් වෙනවා. මුළු බස් එකම විකාරයක් වගේ. මුහුණු හංඟා ගන්නත් බෑ. පාරේ යන බස්වල මගියෝ මේ බස්එක දිහා බලන්නේ පුදුමයෙන්. සමහරු හිනා වෙනවා. සමහර බස් ඉදිරියට ගිහින් නවතාගෙන. ඔවුන් බලන්නේ මේ මොනවගේ මිනිස්සුද කියලා. මනෝ ඇතුළු පිරිසටත් ඒ සිද්ධියට නම් හොඳටම හිනා. සමහරු හිනා වුණේ බඩ අල්ලාගෙන. වෙනදා වගේම එදත් ජෝන්ද සිල්වා රඟහල කට කපලා එකයි. ප්‍රේක්‍ෂකයෝ මනෝගේ ‘නෙළූ රන් රෝස’ නාට්‍ය උළෙල නරඹන්න ඇවිත්. එදා වේදිකාගත වුණේ ‘තලමල පිපිලා’ නාට්‍යය. විදුලිය විසන්ධි වුණේ හදිසියේම. මුළු ප්‍රේක්‍ෂකාගාරයම කළුවරයි. පැයක් ගතවුණා. දෙකක් ගතවුණා. ‘ජෙනරේටර් එකක් තියෙනවද’ මනෝ එහි සිටිය සේවකයෙකුගෙන් ඇහුවේ බොහොම සෙමින්. ‘අනේ නෑ මහත්තයෝ’ සේවකයා කිව්වේ මනෝගෙ බලාපොරොත්තු සුන් කරමින්. එළියෙ හොඳටම අනෝරා වැස්ස. ‘අපි නාට්‍ය ගීත කියමු ලයිට් එනකම්’ සංවිධායක කමිටුවේ හිටිය ජැක්සන් අපේ හිත මිත්‍රයා ගේ යෝජනාව නරකම නෑ. නාට්‍ය ගීත පෙළක්ම ගැයුණා. ඒත් විදුලිය නම් ලැබුණේ නෑ. ප්‍රේක්‍ෂකයන් ගේ ජංගම දුරකථනවල එළිය දැල්වුණා. ඉටිපන්දම් එළිය හැමතැනම විහිදුණා. ‘තලමල පිපිලා’ වේදිකාගත වුණේ ඒ ආලෝකයෙන්. වේදිකා නාට්‍යය අවසානයේ වේදිකාවෙන් නැඟුණු අත්පොළසන් හඬේ වෙනදා නැති ජවයක් ගැබ්වෙලා. මනෝට හිතුණේ එහෙමයි. ‘අපූරු අත්දැකීමක්’ හැමෝගෙම මුවෙන් ඒ වචන ටික පිටවුණේ ඊට කලින් කතිකාවක යෙදුණා වගේ.
|