වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මතයට එරෙහි වූ ඇය මිය ගියාය

සම්මතයට එරෙහි වූ ඇය මිය ගියාය

පාකිස්ථානයේ පුංචි තිරයේ හද බැඳී තාරකාවක වූ සානා ඛාන් යොවුන් වසන්තයේදීම ජීවිතයෙන් සමු ගත්තාය. ඒ මාරක රිය අනතුරකිනි. ඇය පුංචි තිරයේ තවත් ජනප්‍රිය දක්ෂ තරුවක වූ බාබර් ඛාන් සමඟ විවාහ වූයේ මීට තෙමසකට පෙරදීය. සියල්ලෝම දෙදෙනාගේ විවාහය ගැන සතුටු කඳුළු හෙළූහ. රුපයෙන් සහ වෘත්තියෙන් දෙදෙනාම ගැළපුණහ. එහෙත් ඒ ගැළපීම මාරයා නොරිස්සූ සේය.

සානා ඛාන් අනතුර වූ තැනම මිය ගියාය. බාබර් ඛාන් ද බරපතළ තුවාල සහිතව රෝහල් ගතකර තිබේ. අනතුර සිදු වී ඇත්තේ හයිද්‍රාබාද් නගරයට කි. මි. 30 ක් තිබියදීය. බාබර්ට වාහනය පාලනය කිරීමට නොහැකි වීමෙන් අනතුර සිදු වී ඇත. සානා ‘පර්චයියන්’ ටෙලි නාට්‍යයෙන් ද, බාබර් ‘ඒක් තමානා ලහාසිල් සේ’ ටෙලි නාට්‍යයෙන් ද අතිශය ජනාදරයට පත් වූහ. මිය යන විට සානා විසිපස් වැනි වියටවත් පා තබා තිබුණේ නැත.

රංගනයට එක්වීමට පෙර ඇය ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වූවාය.

ඇය සම්මතයට එරෙහි වූ නව පන්නයේ තාරකාවක ලෙස ද ප්‍රකටයි.