වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිසකුට එරෙහිව නැඟී සිටින මිනිසුන්

මිනිසකුට එරෙහිව නැඟී සිටින මිනිසුන්

අමෙරිකාවේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ උක් වතු යායක මෙහෙවරක යෙදෙන කළු ජාතික වහළුන් පිරිසකි.ඔවුන් අතරින් එකෙක් වනුයේ ප්ලාට්ය.ප්ලාට් මෙලෙස බැල මෙහෙවරක යෙදුන ද ඔහු එයට දවස් කිහිපයකට පෙර නිදහස් මිනිසකු ව සිටියේය.ඔහු ට එකල බිරිඳක් ද දරු දෙදෙනෙක් ද විය.එමෙන්ම ඔහු වඩුවෙකු මෙන්ම වයලීන වාදකයකු ද විය.ගෙයක් දොරක් ද විය.කල්ලෙකු වුවද ඔහුට සුදු ජාතික මිත්‍රයන් ද විය. ඔවුන්ගෙන් දැනුවත්ව ඔහුට වරදක් ද නොවිණ.

ඒ කාලයේ කල්ලන් ට අද තරම් වත් නිදහසක් නොවිණ.අමෙරිකාවේ නිදහසේ ජීවත් වන කල්ලන් පවා එයින් සියවසකට පෙර වහලුන් ලෙස අප්‍රිකාවේ සිට ගෙන ආ පරම්පරාවන්ගේ පැවත එන්නන් විය .සොලමන් ද එබන්දන් ගෙන් පැවැත ආවෙකි.එහෙත් ඔහු උත්පත්තියෙන්ම නිදහස් මිනිසෙක් විය. ඔහුට සති දෙකක කාලයක් වෙනුවට අමතර ආදායමක් උපයන්නට වයලින වාදකයකු ලෙස රැකියාවක් ගෙන ඒමට ආගන්තුක සුද්දන් දෙදෙනෙක් යෝජනා කළහ.

ඔවුන්ගේ හමුව අවන්හලක දී සිදු විය.එහිදී සුද්දන් සමග මත් වන ඔහුට පියවි සිහිය ලබන විට දෑත් සහ දෙපා යදමින් බැඳ තිබිණ. එතෙක් ඔහුගේ නම සොලමන් නොර්තප් නම් විය.එහෙත් කල්ලෙකු වන බැවින් ඔහුගේ කතාව අසන්නට කිසිවකු නොවිණ. ඔහු විකුනා දැමිණ.ඔහු ප්ලාට් නමින් නම් කරනුයේ එයින් පසුවය.වහලුන් ලෙස විකුණා දමනුයේ ඔවුන්ගේ ආත්ම ගරුත්වය කෙළෙසා දමමිණි.එහි දී ඔහු දකිනුයේ දරුවන් මවකගෙන් වෙන් කරන ආකාරයය.තම වර්ගයාගේ කඳුළුය.යටත් වන තෙක්ම ඔහුට ලැබෙනුයේ දරුණු පහර වල්ය.

පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් චිත්‍රපටය ඇරඹෙනුයේ එලෙසය. අමෙරිකාව ගොඩ නැගෙනුයේ අප්‍රිකානු වහලුන්ගේ ලෙයින් කඳුලින් බැව් අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.

සිනමාව කතා කියන මුල් යුගයේ තිරයට එන ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත් ගේ බර්ත් ඔෆ් අ නේෂන් චිත්‍රපටයේ පටන් අද මේ වන තුරුම අප්‍රිකානු වහලුන් පිළිබඳ කතා හොලිවුඩ් සිනමාවට නැංවූ අවස්ථා එමටය.එහෙත් මේ අතරින් අතිශය ආන්දෝලානාත්මක චිත්‍රපට කිහිපයක් මගේ මතකයට එයි.එකක් නම් රූට්ස් නම් ටෙලි වෘතාන්තයයි.ඇලෙක්ස් හේලි නම් කළු ජාතික නවකතාකරු විසින් ලියන ලද මේ කෘතිය වසර ගණනාවකට පෙර ජාතික රූපවාහිනිය මගින් විකාශය කරන සමයේ එය මෙරට මහත් ආන්දෝලනයකට හේතු විය.

එමෙන්ම ස්ටිවන් ස්පිල්බර්ග් නිර්මාණය කරනලද ද කලර් පර්පල් චිත්‍රපටය මෙන්ම ස්පිල්බර්ග් ගේ අමිස්ටඩ් ද වහල් මෙහෙය පිළිබද තේමාවක් කොට ගත්තකි.කලකට ඉහත ජස්ටින් විජේවර්ධන ශූරීන් විසින ටොම් මාමාගේ කුටිය නමින් සිංහලට පරිවර්තනය කරන ලද හැරියට් බීබර් ස්ටොට්ගේ අන්කල් ටොම්ස් කැබින් නවකතාව ද මේ අතරින් තවමත් මගේ මතකයේ රැඳී පවතින්නකි.එහෙත් ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් මේ අතරින් වෙනස් වනුයේ එය නිදහස් මිනිසෙකු ලෙස ඉපිද වහලෙකු ව දිවි ගෙවූ මිනිසෙකුගේ අත්දැකිමක් පාදක කර ගත්තක් වන නිසාම නොවේඑය අන් සියල්ලට වඩා වහල්කමේ සාපය කෲර හා මිලේච්ඡ අන්දමට සිනමාවට නංවා ඇති හෙයිනි.

කල්ලෙකු වුවද නිදහස් මිනිසෙකු ලෙස උපදින සොලමන් වහලෙකු ලෙස විකුණා දැමීමෙන් පසු ඔහු තවත් මිනිසකු ගේ පොදු දේපළක් බවට පත්වෙයි.වෙනසකට ඇත්තේ ඔවුන් දෙදෙනාගේ හමෙහි පැහැය පමණී.එක් හිමිකරුවෙකු ගෙන් තවත් හිමි කරුවෙකුට විකුනා දැමෙන ඔහුට ඒ ඒ හාම්පුතුන්ගේ සිතුවිලි අනුව ජීවිතය ගත කරන්නට සිදු වෙයි. මේ අතරින් ඔහු අත් විඳීන ඇතැම් තිරශ්චීන අත්දැකීම් අතිශය කටුක එමෙන්ම රෞද්‍ර ඒවා වෙයි. මිනිසුන්ගෙ ජීවිතය හෝ මරණය පිළිබඳ හිමිකාරිත්වය සිය වහල් හිමියාටම පැවරෙයි

ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් චිත්‍රපටය නරඹද්දි මා තුළ ඇති වු බලවත්ම කම්පනය නම් එහි රඟපෑ බහුතරය කල්ලන් වන බැවින් ඔවුන් මේ කෲර ඉරණම විභාග කරන නිර්මාණය සමග කවරාකාරයෙන් මානසික ගනුදෙනුවක් කරන්නට ඇත් ද යන ගැටළුවයි.එය ට හේතුව එහි බහුතරය සියවස් ගණනාවකට පෙරාතුව එම ඉරණමට මුහුණදුන් පරම්පරාවනට අයත් සාමාජිකයන් වීම නියත කරුණක් වන හෙයිනි.

ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් ඇකඩමි සම්මාන උළෙලේ වඩාත්ම කැපී පෙනෙ ලකුණ වනුයේ හොඳම අධ්‍යක්ෂණයට හිමි කම් නොකීව ද ඉතිහාසයේ මුල් වරට කළු ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකට හොඳමචිත්‍රපටයට හිමි සම්මාකය පිරි නැමීමයි.ඒ ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් අධ්‍යක්ෂක ස්ටීව් මැක්වීන් කළු ජාතික සිනමාකරුවකු වීමය.එය ඔහුගේ තෙවැනි චිත්‍රපටයයි.

ඔහු ගේ මුල්ම චිත්‍රපටය 2008 වසරේ දී කාන් සිනමා උළෙලේ කැමරා ඩිඔ සම්මානය දිනා ගත් හන්ගර් වන අතර දෙවැන්න් ෂේම් නම් විය. මුල් චිත්‍රපට යුගලෙන්ම ලොව පුරා සිනමා විචාරකයන් ගේ අවධානයට යොමු වන ස්ටීව් මැක්වින් සිය තෙවැන්න ලෙස නිර්මාණය කරන්නට සැරසෙනුයේ අමෙරිකාවේ ජීවත් වු අප්‍රිකානු වහලුන් පිළිබදවය. එහිදී ඔහුගේ ඇස මේ කෘතිය දෙස යොමු කරනුයේ මැක්වින් ගේ භාර්යාව විසින් බව පැවසේ.

මැක්වින් කලු ජාතිකයකු වුව ද ලන්ඩනයේ උපත ලද්දෙකි.එමෙන්ම ඔහු වර්තමානයේ ජිවත් වනුයේ ඇම්සර්ටඩෑම් නගරයේය.චිත්‍රපටයේ තිර රචනය ලියන ලද්දේ ජෝන් රිඩ්ලි විසිනි.රිඩ්ලි හොඳම පරිවර්තිත තිර නාටකය උදෙසා මෙවර ඇකඩමි සම්මානය දිනා ගත්තේය.ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් ඇකඩමි සම්මාන උළෙලේ දිනා ගත්තේ සම්මාන තුනකි.

එනම් හොඳම චිත්‍රපටය, තිර රචනය සහ සහාය නිළිය යන සම්මාන තුනයි.එහෙත් එය හොඳම අධ්‍යක්ෂණය,නළුවා,සහාය නළුවා ඇඳුම් නිර්මාණය,සංස්කරණය,නිෂ්පාදන සැළසුම්කරණය යන අංග සදහා නාම යෝජනා දිනා ගන්නා ලදී.සිනමා කෘතියක් ලෙස එය සමග හොඳම චිත්‍රපටය ලෙස චිත්‍රපට හයක් තරග වැද තිබුන ද මා පෞද්ගලිකව විශ්වාස කරන ලද්දේ මෙවර වඩාත්ම තියුනු තරගය ඇති වනුයේ ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් සහ ග්‍රැවිටි චිත්‍රපටය සමග බවය.

එමෙන්ම මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනනු ඇත්තේ ග්‍රැවිටි බව මම විශ්වාස කළෙමි.ඇකඩමි සම්මාන යනු ලොව උසස් ම ප්‍රමිතියෙන් යුත් සම්මාන උළෙල නොවේ.එහෙත් එය තරම් ලොව අවධානය දිනා ගන්නා තවත් සම්මාන උළෙලක් නොමැති තරම්ය.එයට හේතුව එහි එන තරු ගුණයයි.එමෙන්ම එය සිනමාව පිළිබඳ වර්තමානයේ ලොව ආකල්ප විමසන සිනමා උළෙලයි.එහෙත් ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් මේ වසරේ ගොල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ මෙන්ම එංගලන්තයේ බැෆ්ටා සම්මාන උළෙලේ ද හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේය.මෙම සම්මාන උළෙලයන් ත්‍රිත්වයේම එකවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනීම දුර්ලභ අවස්තාවක් ලෙස සැළකිය හැක.

පසුගිය වකවානුව ඇතුළත සිනමාව ඩිජිටල්කරණය වීමත් සමග හොලිවුඩ් සිනමාව ඕනෑවටත් වඩා දැවැන්ත වූ බව සිනමා රසිකයකු ලෙස මගේ හැඟිමයි.එනම් සිනමා තාක්ෂණයේ විශ්මයට වැඩි තැනක් දෙන එය මිනිස් සන්තානයට රිංගීමේ ක්‍රියාවලිය හෙමිහිට අමතක කළ න්‍යායයක් ඉස්මතු කරන ලකුණු පහල කර සිටියේය.එහෙත් සිනමාවේ වැඩි ජීව ගුණය ඇත්තේ එහි දැවැන්ත කමට වඩා එය කෙතරම් මිනිසා සමග බද්ධ කරණ යවනුයේ ද යන කාරණය මතය.ඩොලර් මිලියන විස්සක් වැය කරනු ලැබ පළමු වටයේ ඩොලර් මිලියන් 140 ක ආදායමක් ඉපැයීමට සමත් වන ට්වෙල් ඉයර් අ ස්ලෙව් චිත්‍රපටය එයට වඩා ජිවමාන සාක්කි සපයන්නකි.

සොලමන් නොත්රප් හෙවත් ප්ලාට් සිය මුල් ස්වාමියා ගෙන් තෑගි ලබනුයේ වයලිනයයි.එහෙත් දෙවැනි හිමියා ඔහු ගේ වයලීනය භාවිතා කරනුයේ වහලුන් රාත්‍රි විවේක ගන්නා අතර යළි ඔහුගේත් භාර්යාවගෙත් සතුට උදෙසා තවත් වෙහෙස කරවිමටය.මුලින් උක් වගාවේ නියැලෙන ප්ලාට් දෙවැනි යට යොමු කරනුයේ කපු නෙලීමටය. ඔවුන් දිනකට රාත්තල් දෙසියක් නෙළිය යුතුය.වහල් හිමියාගේ ගොදුරක් මෙන්ම ඔහුගේ භාර්යාවගේ ඊර්ෂ්‍යාවටත් හේතුවන යුවතිය පැට්සි දිනකට නෙළිය යුතු කපු ප්‍රමාණය රාත්තල් පන්සියයකි.එය නොලැබුන කල ඇය හාම්පුතාගේ ගොදුරක් බවට පත් වෙයි.එපමනක් නොව ඇය ඔහුගේ භාර්යාවගේ වෛරයේ කොටස් කාරියක් වන්නේය.වරක එහි දී ඇය ඉතා දරුණු කස පහර කෑමකට ලක් වන්නීය.

මේ අතර වාරයේ එහි ඉදි කිරිමකට එන කැනේඩියානු ජාතික වඩුවෙකු වන බාස් (මේ චරිතය නිරූපණය කරනුයේ චිත්‍රපටයේ සම නිෂ්පාදක මෙන්ම ජනප්‍රිය සිනමා තරුවක් වන බ්‍රැඩ් පිට් විසිනි) ප්ලාට් ගේ ජීවිතය පිළිබඳ විමසා බලයි. ඔහුට යළි නිදහස් දිවිය ලබන්නට සැලසෙනුයේ දිවි පරදුවට තබා ඔහු විසින් ප්ලාට් පිළිබඳ ඔහුගේ හිතවතුන් දැනුවත් කරවන බැවිනි.

ඔහුට යළි සිය හිතවතුන් අතරට යන්නට ලැබෙනුයේ එයින් පසුවය.ඒ ඔහුගේ පැරණි හිතවතකු වන සුදු ජාතික ව්‍යාපාරිකයකු ඔහු සොයා යන බැවිනි.එහෙත් සොලමන් යළි සිය නෑසියන් සොයා යන විට කාලය දොලොස් වසරක ගත වී අවසන්ය. ඔහු මුත්තනුවෙකු ව සිටියි.

පසුව චිත්‍රපටයේ දැක්වන පරිදි සොලමන් එයින් පසු සිය වහල් ජීවිතය පිලිබඳ අත්දැකීම් එළි දැක්වූයේය.වහල් භාවයට එරෙහි ක්‍රියාකාරිකයකු විය. එහෙත් ඔහුගේ අවසානය කෙලෙස සිදුවනුදැයි කිසිවකු නොදනිති. ඇතැම් විටක අනුමාන කරන පරිදි සොලමන් ගේ හෙළිදරව්වෙක් අනාවරණය වූ පිරිස ඔහු මරා දමන ලද්දේයැයි සැක කරති.කෙසේ වෙතත් ඔහුගේ අවසානය අබිරහසකි.

සොලමන් ගේ කතාවෙන් වසර කිහිපයකට පසු අමෙරිකානු ඉතිහාසයේ බිහි වුන විශිෂ්ටතම ජනාධිපති වරයා වන ඒබ්‍රහම් ලින්කන් මේ කෘර තර වෙළඳාම එරටින් තුරන් කිරීමේ නීති ගෙන එන්නට සමත් විය.එහෙත් ඔහුට පසු කලක ඒ වෙනුවෙන්ම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වනුයේය.ඇත්ත නම් නීතියෙන් තහනම් වුව ද අද පවා ලෝකය පුරා වහල් වෙළඳාම පවතින්නේය.

ට්වෙල් ඉයර්ස් අ ස්ලේව් එක් අතකින් අමෙරිකානු ඉතිහාසයේ එක් කෘර පරිච්ඡේදයක් හෙලි දරව් කරන්නක් පමණක් නොවේ. මිනිසුන්ගේ ඉරණම පිළිබද අඳුරු පැති කඩක් ද නිරාවරණය කරන්නේය.එපමනක් නොව එය මිනිසුන් පිළිබඳ එක් ආකාරයක කෝපයක් මෙන්ම තවත් මිනිසක් පිළිබඳ අනුකම්පාවක් ද ඇති කරන වර්ගයේ සිනමා කාතියක් වෙයි.ට්වෙල් ඉයර්ස් අ ස්ලෙව් දිගු කලක් මතකයේ රැඳෙන චිත්‍රපටයක් බව මගේ විශ්වාසයයි.එය අතීත කතාවක් අපට කියා දෙයි.එහෙත් ඒ අතීතය ඉතා අමිහිරිය.