|
රඟපෑවට සිංදු කිව්වට කෙනෙක් කලාකරුවකු වෙන්නේ නැහැ
රොජර් සෙනෙවිරත්න යම් ක්ෂේත්රයකට එන්න ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනෑ කට පුරා රොජර් අයියා කියනවට මම වඩාත් කැමැතියි
මම රොජර් සෙනෙවිරත්න හඳුන්වා දීමට සටහනක් නොලිව්වෙමි. ඒ රොජර් යන අකුරු තුන මෙරට සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ හදවතෙහි නොමැකෙන ලෙස සනිටුහන්ව ඇති බැවිනි. ඔහු මෑතකාලීනව කරන කියන දේවල් පිළිබඳ අප නෙත් යොමා බලා සිටියේ රංගන ශිල්පියකු වශයෙන් රොජර්ට ඇති කැමැත්ත නිසාමය. ඔහු ක්‍රම ක්‍රමයෙන් දේශපාලන ක්ෂේත්රය ආක්‍රමණය කරමින් සිටින්නේ සොඳුරු ආඥාදායකයකු පරිද්දෙනි. ඉතින් ඒ රසවන්තයා ‘සරසවිය’ හරහා මෙසේ සිය ප්‍රේක්ෂකයන් ඇමතීය.
රොජර්, ජීවිතය කාර්යබහුලයි නේද? ඇත්තටම ඔව්. මගේ කාර්යබහුලකමට හේතුව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. පෙර වගේම විශ්වාසයෙන් ජනතාව මාත් එක්ක ඉන්නවා. මට විශ්වාසයි ආයෙත් ඔවුන් මාව නිසි තැනට පත් කරාවි.
එතකෙට ඔබ තුළ සිටින රංගන ශිල්පියා? මා තුළ සිටින රංගන ශිල්පියා එහෙම්මම ඉන්නවා. අදටත් මං රඟපානවා. මං රඟපාන සකිසඳ සුවාරිස් නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම පිය හසර සහ සකිසඳ ගුනේරිස් යන නාට්‍ය එන්නත් තියෙනවා.
දේශපාලන ජීවිතය ඔබට ආගන්තුක නැහැ කියලා මං අසා තිබෙනවා? ඔව්. ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියේ මං පළාත් සභා මැතිවරණයත් සමඟ දේශපාලනයට ආවා. ඒත් මම කාලයක් තිස්සේ දේශපාලනය කරපු කෙනෙක්. අපේ කලා ක්ෂේත්රයේ වැඩි දෙනෙක් ඒක දන්නවා. කලාවේ ප්‍රශ්න ඇති වුණාම ඒවට ඉදිරිපත් වූ එකම කෙනා රොජර් සෙනෙවිරත්න. මගේ අප්පේ මං දේශපාලනය කරන්නේ 1978 ඉඳලා.
හරි, ඔබ පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වුණායින් පසුව කලාව වෙනුවෙන් කළේ මොනවද? අද රංගන ක්ෂේත්රයට එන්න අලුතින් බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන් යා යුතු මඟ හරියට දන්නේ නැහැ. අපි ඒ අය එකතුª කරලා වැඩ මුළු පැවැත් වූවා. ඉන් අවසානයේ ඔවුන් විසිර යාමට නොදී ක්ෂේත්රයට එකතු කළා. විමල් වීරවංශ මහත්තයා හරහා අසරණ කලාකරුවන්ට නිවාස ලබා දුන්නා. එකී මෙකී නොයෙකුත් දේවල් මං කලාව වෙනුවෙන් කළා.
ඔබ යාළු මිත්‍රයින්ට වැඩිපුර උදව් කළේ නැහැ කියලා ආරංචියි? මගෙන් උදව් තියෙන්නේ යාළු මිත්‍රයින්ට වඩා උදව් අවශ්‍ය පුද්ගලයින්ට.
ඒත් ඔබට ළෙංගතු ඔවුන්ව අමතක කළාම ඒ අය තැන් තැන්වල කියනවනේ ‘රොජර්ට මුල අමතක වෙලා’ කියලා? අපේ සමහර අය ඉන්නවා උදව් ඕන. නමුත් ඒක මූණටම කියන්නේ නැහැ. ඉතින් මට දිව්‍ය ඥාණය නැහැනෙ. රොජර් සෙනෙවිරත්න කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. උදව්වක් ඕනෑ නම් බය නැතුව මට කියන්න. මේ ලිපිය කියවන අය ඇති අනන්තවත් මගෙන් උදව් ගත්තු. මං හැම සතියකම සඳුදා මගේ මහජන දිනය. ඇවිත් හම්බ වෙන්න. මේ වෙන කොට මං මන්ත්‍රී ධූරය ගත් දින සිට දිවයිනේ නන් ප්‍රදේශයන්හී මිනිස්සු හැත්තෑ හය දහසක් විතර මාව ඇවිත් හමු වෙලා ඇති.
දේශපාලනයට ඇවිත් මොනවද අහිමි වෙච්ච දේවල්? අහිමි වෙච්ච දේවල් අනන්තයි.
ඒ මොනවාද? ඒ ගැන මට කියන්න බැහැ. අහිමි වුණේ මගේ භෞතික සම්පත්.
අප රටේ බොහෝ කලාකරුවන්ගේ සැඳැ සමය එතරම් යහපත් නැහැ. ඇතැමෙක් ආණ්ඩුවෙන් උදව් කරන තෙක් බලාගෙන ඉන්නවා. මොකක්ද ඔබේ අදහස? කලාකරුවා කාගෙන් හෝ උදව් නොඉල්ලන කෙනෙක් විය යුතුයි. කලාකරුවකු කියන්නේ ඉන්ද්‍ර ඛීලයක් වගේ කෙනෙක්. ඔවුන්ට පුළුවන් රටක් නළවන්න. ඒ වගේම කලාව භාවිතයෙන් මිනිස් සිත් සුවපත් කළ හැකියි කලාකරුවකුට. ඒ වගේ කෙනෙක් ජීවිතයේ අන්තිම කාලය ගෙවන්න ඕනෑ විදිහත් මුල ඉඳලම හිතන්න වෙනවා. එහෙම ක්‍රමයක් සම්පාදනය නොකොට කාටත් බැන බැන ඉඳලා වැඩක් නැහැ වයසට ගියාම.
අද වන විට ලංකාවේ කලා ක්ෂේත්රය ගමන් කරන පෙදෙස ගැන සෑහීමකට පත් වෙනවාද? ඒකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. අපේ ජනාධිපතිතුමා යුද්ධය දිනා නිදහසේ දොර විවර කරලා දුන්නා. අපි ඒ පාරේ යන්න ඕනෑ. කලාව ඇතුළේ පවුලත් සමඟ බලන්නට පුළුවන් ටෙලි නාට්‍ය හැදෙන්න ඕනෑ. අපේ නිර්මාණ ජාත්‍යන්තරයට යා යුතුයි.
මම ඔබට පොඩි බාධා කිරීමක් කරනවා. අපේ නිර්මාණ ජාත්‍යන්තරයට ගියා. ඒත් ඒවා දකින අයට ලංකාව ගැන මැවෙන්නේ වැරැදි චිත්‍රයක් නේ? මං එවැනි නිර්මාණකරුවන්ට අධෝ මුඛයෙන් හිනා වෙනවා. ඒ අය කරන්නේ අපේ සුන්දර මාතෘ භූමිය ජරාජීර්ණය කරන එකයි. මේවා කරන්න ආධාර දෙන්නේ එන්. ජී. ඕ. ඔවුන්මයි මේ පහත් නිර්මාණවලට සම්මාන දෙන්නේ. ලංකාවෙන් ඉදිරිපත් කළ එක්තරා සිනමා නිර්මාණයක් කෑන්ස් සිනමා උළෙලේ සම්මානයක් ලැබුවා. හොඳට හොයලා බලන්න, එහෙම චිත්‍රපටයක් හදපන් කියලා අධ්යක්ෂවරයාට මුදල් වියදම් කරලා තියෙන්නේ එන්. ජී. ඕ. එකක්.
ඔබ කලින් පිළිතුරේදී පැවසුවා නේද පවුලේ අය එකට නරඹන්න පුළුවන් ටෙලි නාට්‍ය හැදෙන්න ඕනෑ කියලා. ඒත් එහෙම ටෙලි නාට්‍ය අද තියෙනවාද? ඒක තමයි මං කිව්වේ. අද හරයක් නැති ටෙලි නාට්‍ය ගොඩයි. මේවට වගකියන්න ඕනෑ රූපවාහිනී නාලිකා. ඔවුන්ට වගකීමක් තියෙනවා ගුණවත් දේ විකාශය කරන්න. ඒත් එහෙම වෙනවද කියලා ගැටළුවක්.
මෙවර පළාත් සභා මැතිවරණය අපේක්ෂාවෙන් සිටි කලාකාරිණියන් කිහිප දෙනෙකුට නාම යෝජනා ලැබුණේ නැහැ? ඒ අය කලාකාරිණියොද කියන එක මං අහනවා ඔබෙන්?
ඒ කිව්වේ. රඟපෑවට, සිංදු කිව්වට කෙනෙක් කලාකරුවකු වෙන්නේ නැහැ. එහෙම නම් ලංකාවේ ඉන්න සියලුම ජනතාව කලාකාරයෝ.
ඒ කියන්නේ මා ඉහත සඳහන් කළ අය කලාකාරිණියෝ නෙවෙයිද? යම් කිසි ක්ෂේත්රයකට එන්න ඒ පිළිබඳ දැනුමක් තියෙන්න ඕනෑ. ඒ විෂයයට ඇති දැනුවත්භාවයේ වපසරිය පුළුල් වෙන්න ඕනෑ. සම්මුඛ සාකච්ඡාවකදී කලාකරුවකු ෆේල් වෙන්නේ ඇයි, ඒ පිළිබඳ දැනුමක් නැති නිසා. මාධ්‍යවේදීන් තමන්ගෙන් අහන ප්‍රශ්නවලට දෙන උත්තර අනුව අපට පැහැදිලි වුණානේ ඇතැම් අයගේ දැනුමේ ස්වභාවය. එහෙම නේද. ඔන්න ඔබ අහපු පැනයට මගෙන් නියම උත්තරයක්.
ඔබ අද වන විට ප්‍රකට දේශපාලඥයෙක්. දැන් වඩාත් කැමැති රොජර් අයියා කියනවටද රොජර් සර් කියනවටද? මට ගොඩක් අය කියන්නේ රොජර් අයියා කියලා. සමහර අය ලොකු අයියා කියනවා, රොජා කියනවා, රොජ් කියනවා. අතලොස්සක් සර් කියලත් කියනවා. ඒත් මං ආස මට කටපුරා රොජර් අයියා කියලා අමතනවට.
කොහොමද ඉදිරිය? මෙහෙම්මම හොඳීන් නිදහස්ව වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතරෙදි අපේ රටේ පුංචි දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික මට්ටමෙන් ව්‍යාපෘති කිහිපයක්ම කරන්න අදහස් කරනවා. මොකද පුංචි දරුවන්ට මං ගොඩක් ආදරේ නිසා. |