වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පරමාදර්ශී සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර්

මගේ පරමාදර්ශී සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර්

අමෙරිකාවේ සිනමාව ඉගෙන සැමීගේ කතාව තැනූ ප්‍රියංකර විතානාච්චි

දාහතර වියැති කොලු ගැටයකු දුටු දවල් හීනයක් කිසිවකු ගණන් ගත යුතු නැත. එහෙත් පසු කාලෙක ඒ සිහිනය සැබෑවක් වී ලොවක් ඒ පිළිබඳ උදම් අනන්නට පටන් ගත් කළ නම් එය වෙනම විමිසිලිමත් විය යුතු කාරණයකි.

ඒ කළු, කොලු ගැටයා එදා දුටුවේ ගුවන් නියමුවකු, වෛද්‍යවරයකු නැතහොත් ඉංජිනේරුවකු වීමේ සාම්ප්‍රදායික ළමා සිහිනයක් නම් නොවේ. එය එකී වයසට ඔරොත්තු නොදෙන තරමක පැහිච්ච හීනයකි. ඒ කෙදිනක හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනයයි.

ඒ සිහිනය දිගේ බොහෝ දුරක් පිය මං කළ ඔහු අවසානයේ නතර වූයේ සිනමාකරුවකු වීමේ තම අතීත අභිප්‍රාය වඩාත් හොඳින් ඉටු කර ගනිමිනි. ‘නිව්යෝක් සිටි’ ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලත් ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ඔහු ප්‍රියංකර විතානාච්චිය.

* සිනමාව ඔබේ ප්‍රියතම විනෝද මාධ්‍ය වන්නේ පුංචිම සන්දියේ පටන්. ඒ අතීතය, අපේ වර්තමාන කතාබහට වඩාත් හොඳ ප්‍රවේශයක්?

පොඩි කාලේ ඉඳලම මම සිනමාවට කැමැතියි. ඔබ කිව්වා වගේම. මට මතක නෑ මුලින්ම බලපු චිත්‍රපටය මොකක් ද කියලානම්. ඒත් පවුලේ අපි හැමෝම සිනමාවට හරි කැමැතියි. අවුරුදු දාහතරෙදි මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘අහසින් පොළෙවට’ බලලා සිනමා ශාලවෙන් එලියට එනකොට තමයි හිතුණේ ‘මටත් පුළුවන් නම් කවදා හරි මේ වගේ චිත්‍රපටයක් කරන්න’ කියලා. ඒ ආසාව නිසා තමයි පොත පත කියවලා, අධ්‍යයනය කරලා මම සිනමාවට වඩාත් සංවේදී වුණේ.

* ‘සිනමාකරණය’ පිළිබඳ ඔබ හදාරන්නේ ලොව පිළිගත් ඉහළම විශ්ව විද්‍යාලයකින්?

ඔව්. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා දෙකක් මම හැදෑරුවා. එයින් එකක් කළේ සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ. එහිදී විනාඩි පහක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න තිබුණා අපට. විනාඩි පහ ඇතුළත අපි කතාවක් කියන්න ඕනෑ මුල, මැද, අග ඇතුව. හැබැයි දෙබස් පාවිච්චි කරන්න බෑ. ඒකට අපි කියන්නේ nonsim  කියලා. දෙබස් පාවිච්චි නොකළාට සංගීතය සහ අනෙකුත් ශබ්ද අපිට පාවිච්චි කරන්න පුළුවන්. රූප මාධ්‍යයෙන් තමයි අපි කතාව කියන්නේ.

* එය ලොකු අභියෝගයක් වෙන්න ඇති?

විශාල අමාරු කාර්යයක්. සමහරු හිතන්න පුළුවන් අනේ විනාඩි පහනේ ඕක මොකක්ද කියලා. නෑ, ඒක තමයි අමාරුම වැඩේ. ඒගොල්ල තව කොන්දේසියක් දැම්මා. විනාඩි පහයි තප්පර තිහක් අපට යන්න පුළුවන්. හැබැයි තත්පර තිස් එකක් වුණොත් යුනිවර්සිටි එකට අපි ඩොලර් සීයක් ගෙවන්න ඕනෑ. සංයමයකින් ඉතා සැකෙවින් ඒ කතාව කියන්නයි ඔවුන් එහෙම කොන්දේසියක් පැනෙව්වේ. ඒ චිත්‍රපටය මම නම් කළේ ‘Beauty (ලස්සන) කියලා. ඒකට මට මෙහෙදි ‘උන්ඩා’ සම්මානය ලැබුණා. ඒ තමයි මගේ සිනමා ගමනේ ආරම්භය.

* ටෙලි නාට්‍ය නිර්මාණකරණයටත් ඔබ පිවිසුණා?

මම මුලින්ම කළේ ‘සමාන්තර’ කියන ඒකාංගික ටෙලි නාට්‍යය. ඊට පස්සේ ‘නික්මන’ කියලා තවත් ඒකාංගික ටෙලි නාට්‍යයක් කළා. නමුත් ඒක විකාශය වුණේ නෑ. ඒ අතරතුර කාලයේ මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ විශ්ව විද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරයකු විදිහට සිනමාකරණය ඉගැන්නුවා. ඒ තැන්වලදී හමු වූ ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ තමයි මේ නිර්මාණ කටයුතුවලදී මට රුකුලක් වුණේ.

* දැන් අපි ‘සැමීගේ කතාව’ට එමු. එල්මෝ ජයවර්ධනයන්ගේ ‘Sam’s Story’   නවකතාව ඇසුරින් තමයි ඔබ මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. එහි පසුබිම ගැන කතා කළොත්?

චිත්‍රපටයක් කරන්න මම තිර රචනයක් සොයමින් හිටියේ. හමු වුණ තිර නාටක දෙක තුනක් කියවා බැලුවත් ඒවා මට එතරම් ගෝචර වුණේ නෑ. දෙවැනි එක මම තිර රචනයක් ලියන එක. මම දන්නවා ඒකටත් කල් ගත වෙනවා. අවසානයේ මම තීරණය කළා නවකතාවක් ඇසුරෙන් තිර රචනයක් ලියනවා කියලා. එක් හිතවත් මහත්මයෙක් මට පොත් කිහිපයක් දුන්නා. එයින් එකක් තමයි ‘ඉචථ’ඵ ඉබධපර’. ඒක කියවන කොට මට රූප රාමු මැවී පෙනුණා. එතකොට සැමී ගැන ලොකු ළෙන්ගතුකමක් අනුකම්පාවක් ඇති වුණා. ඉතින් මට හිතුණා මේකෙන් මට ‘ෆොරස්ට් ගම්ප්’ වගේ චිත්‍රපටයක් කරන්න පුළුවන් වෙයි කියලා. සිනමාව නමැති මගේ ආත්ම ප්‍රකාශනය සැමී හරහා කළ යුතුයි කියන තැනට අවසානයේ මම ආවා.

* නවකතා පොතේ හුන් නාමමාත්‍රික ‘සැමී’ ඔබ ඇත්තටම සොයා යනවා. ඔහුව නිරීක්ෂණය කරනවා. එහෙම ලොකු කැපවීමකින් හා හැදෑරීමකින් තමයි ඔබ මේ චිත්‍රපටයට අත ගහන්නේ?

ඔව්, සෑම් වගේම එවැනි වෙනත් පුද්ගලයන්ගේ හැසිරීම් රටා මම අධ්‍යනය කළා. ඔවුන්ගේ ඇවැතුම් පැවතුම් කෙසේ ද කියා සොයා බැලුවා. මම හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි දැන ගියොත් ‘කතරගම’ නොදැන ගියොත් ‘අතරමග’ කියන එක. මෙතනදි මේක විශිෂ්ට නවකතාවක් වුණ එක මට වාසියක් වුණා. ඒත් ඇත්ත වශයෙන්ම මේ පොතේ හිටපු සැමීයි, ඇත්ත සැමීයි සහමුලින්ම වෙනස් පුද්ගලයෝ දෙන්නෙක්.

* ඇත්ත සැමීයි, පොතේ සැමීයි දෙන්නෙක්?

කපිතාන් එල්මෝ ජයවර්ධන ඇත්ත සැමීගේ යම් යම් දේවල් අරගෙන තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ. නමුත් මේ සෑම්ගේම ජීවිත කතාව නෙවෙයි. එතකොට සැමීට වෙන යම්, යම් අකරතැබ්බ ඇත්ත සෑම්ට ඒ විදිහටම සිද්ධ වෙලා නෑ. ඉතින් නමුත් අර පොත ඒ විදිහට ලියලා තියෙන්නේ පාඨකයන්ට යම් රසයක් ලබා දෙන්න. එතකොට මම මේ පොත අරගෙන ඒකට යම් සිනමාත්මක අර්ථකතනයක් දිය යුතුව තිබුණා.

* එතනදි ‘Sam’s Story’  නව කතාවට අමතරව ඔබ චිත්‍රපටයට තවත් දේවල් එකතු කර ගත්තා?

නව කතාවකින්ම අපට තිර රචනයක් සකසා ගන්න බැහැ. පොත අනුසාරයෙන් තමයි මේක ලියලා තියෙන්නේ. ඒකට සිනමාත්මක ප්‍රවේශයක් අපි ලබා දෙන්න ඕනෑ. ඇත්තටම එය අභියෝගාත්මක කාර්යයක්.

* ඒ අභියෝගය ඔබ ජය ගත්තා යැයි සිතනවාද?

කපිතාන් එල්මෝ ජයවර්ධන මේ චිත්‍රපටයේ සියයට හැත්ත පහක් පමණ නිමා වූ විට චිත්‍රපටය නැරැඹුවා. ඒ ගැන ඔහු ඉතා තෘප්තිමත් වුණා. ඉතාමත් හොඳට චිත්‍රපටය කෙරිලා තියෙන බව ඔහු පැවසුවා. පොතේ කර්තෘවරයා හැටියට ඔහු එවැනි ප්‍රකාශයක් කළාම එය සතුටට හේතුවක්. ඒ වගේම අභිමානයට කාරණාවක්.

* ජගත් චමිල හැර ලෝකයේ වෙනත් කිසිදු නළුවකුට සැමිගේ චරිතය එතරම් විශිෂ්ට ලෙස රඟපාන්න බැහැ කියා ඔබ ප්‍රකාශ කළා?

ඔව්, ඔව්. මම හිතන්නේ ඒක මගේ හිතේ ඇඳිලා තිබ්බ චිත්ත රූපයත් එක්ක ඔහු චරිතයට ප්‍රවේශ වූ ආකාරය බලන කොට ආපු සිතිවිල්ලක් වෙන්නැති. සමහර චරිත තියෙනවනේ අපි අර කියන්නේ ‘He Was Born to Play this Roll’ කියලා. අර ඒ වගේ දෙයක් තමයි මම ජගත් චමිලගෙන් දැක්කේ. එයා මේ චරිතය වෙනුවෙන්ම ඉපදෙච්ච කෙනෙක්.

* සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයා මුල් කොට ගත් මාධ්‍යයක්නේ. ඒ මාධ්‍ය ඔබ පුළුල් ලෙස හැදෑරූ අයෙක්?

ඔව්.

* නමුත් දැන් ජගත් චමිල ප්‍රධාන නළුවා හැටියට, විශේෂ උපක්‍රම යොදා ගන්නවා ඔහුගේ චරිතය ගොඩ නඟා ගන්න. මම හිතන්නේ සැමීගේ බාහිර ස්වරූපය පවා සොයා ගත්තේ ඔහුමයි. ඒ කැප කිරීම ගැන කතා කළොත්?

දැන් හැමෝම දන්නවා මාලන් බ්‍රැන්ඩෝගෙයි ගෝඩ් ෆාදර් ගෙයි කතාව. ජගත් චමිල තමන්ම සෑම් විදිහට වෙස් ගන්වාගෙන මුලින්ම මාව හමු වෙන්න ආපු දවසේ මට වැටහුණා ඔහු කොයි තරම් ප්‍රඥාසම්පන්න නළුවෙක්ද යන වග. චරිතයක් ගැන පොඩි ඉඟියක් දුන්නම ඒක ප්‍රසාරනය කරගෙන යන්න පුළුවන්. මම හිතුවාට වඩා හොද ‘සැමී’ කෙනෙක් ඔහු මට දුන්නා. ඒක තමයි වෙන්න ඕනෑ නළුවකුගෙන්. අධ්‍යක්ෂවරයා කියන දේම කරනවාට වඩා යම් කිසි දෙයක් නළුවාගෙනුත් එන්න ඕනෑ. එතකොට තමයි කෘතියට යම් කිසි සාධාරණයක් වෙන්නේ.

* නළුවා, අධ්‍යක්ෂවරයා අබිබවා යාමක් සිදු වෙනවාද එතැනදී? මොකද මේ අධ්‍යවක්ෂවරයාගේ මාධ්‍යයනේ?

සිනමාව අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය. අධ්‍යක්ෂවරයා අබිබවා යනවා කියනවාට වඩා මා හිතන්නේ කෘතියට සාධරණයක් වෙනවා කියන එක. මොකද මෙතනදි වැදගත් වෙන්නේ කවුද කියන එක නෙවෙයි, නිර්මාණය. එතකොට නිර්මාණයට සාධාරණයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට අපි ඉඩ දෙන්න ඕනෑ. අධ්‍යක්ෂවරයාගේ දර්ශනය නිර්මාණය තුළ තිබෙනවා. ඒක කාටවත් ගන්න බෑ. නමුත් මේක සාමුහිකව කරන කලාවක් කියලත් අපි දන්නවා. මම හිතන්නේ අපි දෙදෙනාගේ සංකලනයෙන් ප්‍රේක්ෂකයන් අතරට වඩා හොඳ සැමී කෙනෙක් ආවා.

* ඔබේ අර්ථකථනයන තුළ ගම්‍යමාන වන්නේ නළුවා හෝ නිළිය ‘ප්‍රඥාසම්පන්න’ විය යුතුයි කියන කාරණය?

අනිවාර්යයෙන්ම. ඒක එහෙම වෙන්නම ඕනෑ.

* ජගත් චමිල වගේම සනත් ගුනතිලක, නිල්මිණී බුවනෙක වැනි නළු නිළියන් ප්‍රශස්ත මටටමේ රංගනයක නිරත වෙනවා. ඔවුන්ගෙන් ලද සහයෝගය කෙබඳුද?

ඉතාමත් අගය කොට සලකනවා. ඔවුන් සියලු දෙනාම ඉතාම ආසාවකින්, සහයෝගයකින් වැඩ කටයුතු කළා ඔවුන් සියලු දෙනාම. මම හිතනවා මගේ චිත්‍රපටයේ රඟපෑ සියලු දෙනාම බොහොම ප්‍රඥාසම්පන්න පුද්ගලයන්. මොකද ඔවුන්ට යම් ඉඟියක් දුන්නම චරිත ස්වභාවය ගැන ඊට පස්සේ ඉතිර ටික ඔවුන් විකාශය කරගෙන යනවා.

* ටෙලි නාට්‍යයක්වත් අධ්‍යක්ෂණය නොකළ පිරිස් අද සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. දැන් ඔබ සිනමාකරණය පිළිබඳ ලෝකයේ ඉහළම ආයතනයකින් දැනුම උකහා ගත් අධ්‍යක්ෂවරයෙක්. කියන තැන ඉඳන් අර ප්‍රවණතාව ගැන කතා කළොත්?

මම හිතන්නේ සමහරු ඉන්නවා නේද තමන්ගේ පළමු චිත්‍රපටයෙන්ම හොඳ නිර්මාණ බිහි කරපු අය. එහෙම අය ඉන්නවා. සමහරු ඉන්නවා සහජයෙන්ම හැකියාව අරගෙන එන අය නේද? දැන් මම සිනමාව ඉගෙන ගත්තා. මගේ ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න මට යමක් කරන්න පුළුවන්කමක් තියෙන්න ඇති. ඒත් සමහරු ඒ දක්ෂතා ගේන්නේ උපතින්ම. සමහර විට මට ඒක නැතිව ඇති. නමුත් සිනමාව ඉගෙන ගත්තේ නැතත් හොඳ චිත්‍රපට කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා.

* ඔබ ඉගෙන ගෙන ඒ දේ කළා?

මම දන්නේ නෑ. ඒ කියන්නේ නිර්මාණය කොච්චර හොඳ ද නැද්ද කියන එක. පේ‍්‍රක්ෂකයොයි ඒක තීරණය කරන්න ඕනෑ. මට නම් මගේ නිර්මාණය ගැන තියෙන්නේ තෘප්තිමත් හැඟීමක්.

* විශේෂයෙන්ම අපේ නවක සිනමාකරුවන්ගේ නිර්මාණ දෙස බලද්දී විදෙස් සිනමාකරුවන්ගේ සෙවනැල්ල ඔවුන් මත පතිත වී ඇති බව අපට පෙනෙනවා. එහෙම පරමාදර්ශී සිනමාකරුවෙක් නැද්ද ඔබට?

මට සිනමාකරුවන් බොහොමයක් ඉන්නවා. එයින් අග්‍ර තැන ගන්නවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඊට පස්සේ සත්‍යජිත් රායි, ඩේවිඩ් ලීන්, ස්ටීවන් ස්පීල්බර්ග්, මාටින්ස් කෝසේකි, ඒ වගේ සිනමාකරුවන් අනිවාර්යයෙන්ම මට ආභාෂයක්, ආලෝකයක් වුණා. සෙවණැල්ලක් වුණා. ඔවුන්ගෙන් මම බොහොමයක් දේවල් ඉගෙන ගත්තා.

* මෙතෙක් ඔබ නැරැඹූ හොඳම චිත්‍රපටය?

මම හිතනවා මෙතෙක් මම නැරැඹූ හොඳම චිත්‍රපටය හැටියට මට හිතෙන්නේ ‘ගෝඩ් ෆාදර්’. ඊළඟට ‘ගොළු හදවත’ සහ ‘නිධානය’. ඒවායේ හරිම චමත්කාරයක් දැනෙනවා මට අදටත්.

* ඔබ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරැඹුවේ 2006 වසරේ. නමුත් තිරගත වෙන්නේ වසර අටකට පසුව. ඇයි මේ ප්‍රමාදය?

මුලින්ම කියන්න ඕනෑ මම අර දැනගෙන කතරගම යන්න කැමැති පුද්ලයෙක්. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සදහා ආයෝජකයන් දෙදෙනෙක් ලෑස්ති කරගෙන හිටියා. චිත්‍රපටය රූපගත කරන්න දවස් කීපයකට කලින් එක් කෙනෙක් මෙතනින් අයින් වුණා. ඊට පස්සේ මම චිත්‍රපටයට සම්බන්ධ පිරිසට කතා කරලා මේ බව කිව්වා. චිත්‍රපටයට තිබුණ ආසාව නිසා හැමෝම කිව්වේ අපි මේක කරගෙන යමු කියලයි. ඒ පටන් ගැන්මේදී ඇති වූ යම්, යම් මූල්‍ය අර්බුද නිසා මේක කල් ගියා. ඒ වගේම යම්, යම් තාක්ෂණික ගැටලුත් හේතුවක් වුණා. චිත්‍රපටයට සම්බන්ධ සමහර පුද්ගලයන්ගේ චර්යාවන් හින්දත් කල් ගියා.

* එහෙම අභියෝග තිබුණා?

ඔව්. අභියෝග රැසක්. මම හිතන්නේ අසංක ගිය දේ ගියා. දැන් මේ දිහා අපි බලන්න ඕනෑ සුබවාදීව. දැන් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. මගේ බලාපොොත්තුව කෙසේ හෝ මේ චිත්‍රපටය පේ‍්‍රක්ෂකයන් අතරට ගෙනිහිල්ලා එය සාර්ථකත්වයට පත් කර ගැනීම.

* චිත්‍රපටයක් හදනවාට වඩා අද චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා කියන්නේ විශාල අභියෝගයක්. ඊට මුහුණ දීම සඳහා කොහොමද ඔබ සැලසුම් දියත්කර තිබෙන්නේ?

අභියෝග රැසක් තියනවා. මෙතනදී ප්‍රධානතම ගැටලුව වෙන්නේ අසංක, මට වෘත්තීමය නිෂ්පාදකයකු නොමැති වීම. ආයෝජකයෙක් සල්ලි දාපු පලියට ඔහු නිෂ්පාදකයකු වෙන්නේ නැහැ. අධ්‍යක්කෂවරයාට නිර්මාණය කරන්න පූර්ණ නිදහස දීලා ප්‍රදර්ශන කටයුතුªª, ප්‍රචාරක කටයුතු ආදී දේවල් බලා කියාගන්න එක තමයි නිෂ්පාදකයාගේ වගකිම වෙන්නේ. එතකොට අධ්‍යක්ෂවරයාට වඩාත් නිර්මාණශීලීව තමන්ගේ කාර්යයේ නියැලෙන්න පුළුවන්. දැන් මේකේ නිෂ්පාදකයාත් මම නිසයි ඒ කරුණු අවධාරණය කළේ. වෘත්තීමය නිෂ්පාදකයෙක් ඉන්නවා නම් අනාගතයේදීත් මම කැමැතියි හොඳ සිනමාවට දායකත්වය ලබා දෙන්න.