වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ අම්මා ලියූ ගීතයක් වෙනත් රචකයකුගේ නමින් ගැයෙනවා

පොඩි මල්ලී - ගාමින්දගේ මව මිය යයි

අපේ අම්මා ලියූ ගීතයක් වෙනත් රචකයකුගේ නමින් ගැයෙනවා

පොඩි මල්ලීගෙන් අම්මා ගැන ආදරණීය සටහනක්

අම්මාත් - තාත්තාත් ජූලි වර්ජකයෝ

‘පොඩි මල්ලී’ යන විශේෂිත නාමයෙන් කලා ලොවේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ජීවත් වන ගාමින්ද පි‍්‍රයවිරාජ්ගේ මෑණියන් පසුගියදා මෙලොව හැරදා ගියාය. සිය මෑණියන්ගේ වියෝවෙන් ශෝක වන ගාමින්ද සිය මව පිළිබඳ මතකය මෙසේ ගෙනහැර පායි.

ඔබගේ මෑණියන්ගේ නම?

කමලා කුලරත්න. ඈ මිය යන විට හැට අට වැනි වියේයි පසු වුණේ.

ඈ මිය ගියේ විශේෂිත වූ දිනයක නේද?

ඔව්. ඇගේ උපන් දින යෙදිලා තිබුණේ පෙබරවාරි මාසයේ 19 වැනිදා. ඈ එදින රාත්‍රියේ 8.40 ට පමණ මිය ගියා.

ඔබටයි පළමුවෙන්ම පණිවුඩය ලැබෙන්නේ?

ඔව්. මම එතකොට හිටියේ රැකියාවේ කටයුත්තක් සඳහා සහභාගි වෙන ගමන්. දුරකතන අංකය මරදාන ප්‍රදේශයට අයත් වුණු එකක් නිසා මම තරමක් ගැස්සුණා. අම්මා ගැන පණිවුඩයක් විය යුතුයි කියලා මා අනුමාන කළා.

අනුමානය හරි ගියා?

මට කතා කළේ ජාතික රෝහලෙන්. ඒත් එක්කම අම්මා මිය ගිය බවත් පැවසුවා. මට එකපාරටම දැනුණේ පුදුම දුකක්. මම වාහනය පාර අද්දර නතර කරගෙන ටිකක් හිටියා. ඒ ගැන මුලින්ම කිව්වේ අයියට. මේ ගැන තාත්තා දැනුවත් කරන්න කියලත් මම ඔහුගෙන් ඉල්ලා සිටියා.

අම්මගේ වියෝව තාත්තට දරා ගන්න හැකි වුණාද?

අයියා ඒ පිළිබඳ තාත්තට කියලා තිබුණේ ටිකෙන් ටික. ඒ වෙන විට තාත්තා ඇතුළු හැමෝම අම්මා ගැන සිටියේ අවදානමකයි. ඒ නිසා මම හිතන්නේ ඒ අවදානම ගන්න තාත්තා සූදානම් වෙලා ඉන්න ඇති කියලත් හිතෙනවා.

අම්මා හිටියේ අසනීපයෙන්ද?

මුලින්ම ඇයට ආවේ පපුවේ අමාරුවක්. ඊට ඉස්සෙල්ලා ඈ බොහොම හොඳට හිටියා. පපුවේ අමාරුව ආවට පස්සේ අපි වෛද්‍යවරයකුට අම්මාව පෙන්නුවා. එවිටයි ඔහු බයිපාස් එකක් කළ යුතු බව පැවසුවේ. මීට කලින් පපුවේ අමාරුව හැඳුණත් බයිපාස් එකක් කරන්න අම්මා කැමැත්තක් පළ කළේ නැහැ. ඒත් මේ කාරණයේදී ජීවිතය බේර ගන්න ඒක කළ යුතුම වුණා. මේ වෙලාවේදී නම් අම්මා ඒකට එකඟතාවය පළ කළා. එතකොට අපටත් ඇති වුණේ සතුටක්. අනික බයිපාස් සැත්කමක් කියන්නේ අද සුලබ කාරණයක්.

අම්මා සැත්කමට සහභාගි වුණා?

සැත්කම තිබුණේ මීට මාසයකට කලින්. සැත්කම කරන්න සති කිහිපයකට පෙරම අම්මා ජාතික රෝහලට ඇතුළත් කළා. ඒ කාලයේ ඈ බොහොම හොඳට හිටියා. මාත් නිතරම වගේ ඈව බලන්න ගියා. ඈ එහි සිටියේ බොහොම කැමැත්තෙන්. ඒ වනවිට මම ජනප්‍රිය කෙනෙක් නිසා වෛද්‍යවරු හා හෙදියන් පවා මාව හඳුනාගෙනයි සිිටියේ. ඒ නිසා අම්මාව පරීක්ෂා කරන්න එන වෛද්‍යවරු මා ගැන නිතරම අම්මාගෙන් අහලා තිබුණා. ඈ ඒ ගැනත් බොහොම සතුටෙන් තමයි සිටියේ. ඒ ගැන ඇගේ සිතේ තිබුණේ ආඩම්බරයක් බව මට හැගුණා.

සැත්කමට ගත්තට පස්සේ?

සැත්කම හොඳින් සිදු වුණා. ඊට දින දෙකකට තුනකට විතර පස්සේ මේ සැත්කම කළ ඕනෑම රෝගියකුට තම නිවෙසට යා හැකියි. ඒත් අම්මා හිටියේ තරමක් අපහසු තත්ත්වයේ. මේ තත්ත්වය එන්න එන්නම දරුණු තත්ත්වයට හැරුණා. ඈට කෑම පවා පෙව්වේ බට මාර්ගයෙන්.

ඔබ රැකියාවට පවා ගියේ නෑ?

මේ වෙන විට මම සම්පූර්ණයෙන්ම රැකියාවට යන එක නවත්වලයි තිබුණේ. මමත්, බිරියත් මාරුවෙන් මාරුවට අම්මාව බලන්න ගියා. ඒ අතර අයියලත් ආවා. හැමෝම මාරුවෙන් මාරුවට ඇයගේ දුක සැප බැලුවා. දවස් 22 ක් විතර අම්මා හිටියේ අයි. සී. යූ. එකේ. ඒ වගේම ඒ තරම් දවසක් ඈව තියා ගත්ත එක ගැන වෛද්‍යවරුන්ට හා හෙදියන්ට පිං දෙන්න ඕනෑ.

ඔබට රැකියාව නැති වුණාද?

නෑ. මට අම්මා මිය යන්නට පෙර වැඩට යන්නට සිදු වුණා. මොකද ඒ වන විටත් මම මාසයක් විතර නිවාඩු අරගෙනයි තිබුණේ.

අම්මා මිය ගියා කියන පණිවුඩය ලැබුණු වෙලාවේ මොන වගේ හැඟීමක් ද දැනුණේ?

ඇත්තටම ඕනෑම පුද්ගලයකුට අම්මලා ඉන්නේ එක්කෙනා නේ. මටත් ඒ කාරණය පොදුයි. ඒ නිසා ඈ ගැන මගේ හිතට ඇති වුණේ පුදුම දුකක්. මොකද ඒ සැත්කමට ඉස්සෙල්ලා හරියට අම්මත් එක්ක මට කතා කරන්න බැරි වුණා. ඈයත් එක්ක අපි ඒ ගැන වැඩිය කතා නොකළේ ඈ බය වේවි කියාලා සිතූ නිසා. ඒ නිසා ඒ ගැන මගේ සිතේ පුංචි දුකක් තියෙනවා. ඒත් මිය යන්නට විනාඩි කිහිපයකට කලින් අයියලා හාමුදුරුවෝ වඩම්මවාගෙන ඇවිත් පිරිකරක් පූජා කරලා පිරිත් කිව්වා. ඊට විනාඩි කිහිපයකට පස්සෙයි අම්මා මිය ගියා කියලා දුරකතන ඇමතුම ආවේ.

ජනප්‍රිය කෙනෙක් වුණු ඔබ පිළිබඳ අම්මාගේ සිතේ තිබුණේ මොන වගේ හැඟීමක්ද?

අම්මා ගොඩක් මා ගැන ආඩම්බර වුණා. ඒත් වැඩසටහන් කරන මුල් කාලයේ සමහර වැඩසටහන් කරද්දී ඈ කිව්වේ පුතේ ඔයත් එක්ක මිනිස්සු තරහා වේවි කියලයි. ඈ මා ගැන සිටියේ පූර්ණ අවබෝධයෙන් කියලා මම දන්නවා. මම ජනප්‍රිය පුද්ගලයෙක් විදියට අද මෙතැන ඉන්නේ ඈ නිසා.

ඒ කාලයේ මොකක්ද වුණේ?

මම A/L කළේ මැක්ස් විෂයයන්වලින්. ඒත් මට කැම්පස් යන්න බැරි වුණා. කොහොම වුණත් පාසලේදී මම නිවේදන කටයුතුවලට, සාහිත්‍ය කටයුතුවලට බොහොම දක්ෂයෙක්. ඒ නිසා මම මහරගම යූත් එකෙන් කළ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය හා වීඩියෝ තාක්ෂණය පාඨමාලාව කළා. ඒ කාලයට අනුව ඒ සඳහා ගෙවන්න තිබුණේ විශාල මුදලක්. ඒත් අම්මා මට ඒ මුදල දුන්නා. ඒ පාඨමාලාවයි මගේ ගමන් මගේ හැරවුම ලක්ෂය වුණේ.

පවුලේ විස්තර?

මගේ පවුලේ ඉන්නේ මමයි අයියයි විතරයි. තුෂාර ප්‍රීති විරාජ් කියන මගෙ අයියා ගුරුවරයෙක්. කැන්දලියද්ද පාලුව කියන ගම තමයි අපේ ගම. ගමේ ඉඳගෙන අම්මාත් තත්තත් එක්ක කොළඹ ආව මම පාසල් ගියේ ජනාධිපති විද්‍යාලයට.

ඔබ ආනන්ද විද්‍යාලයෙත් සිසුවෙක්?

ශිෂ්‍යත්වය සමත් වුණාට පස්සේ මම ආනන්දයට ඇතුළත් වුණා. මුලින්ම නම් මම ඉස්කෝලේ ඇරිලා අම්මා වැඩ කළ රැකියා ස්ථානයට ගියා. ඒත් පස්සේ අයියත් එක්ක පාසල් වාහනයේ ආවා, ගියා.

කලාවට පිවිසීමේ මූලාරම්භය කොතැනද තිබුණේ?

මම හිතන්නේ අපේ ගෙදරමයි. ඒ කාලයේ නිවාඩු දවස්වලට අපේ ගෙදර පොඩි පැදුරු සාජ්ජ වැරැදුනේ නෑ. තාත්තට හොඳට සින්දු කියන්නත් පුළුවන්. අපේ ගෙදර ඩොල්කියක්, තබ්ලාවක් තිබුණ නිසා පවුලේම අය එකතු වෙලා සින්දු කියන්න පටන් ගත්තා. එදා ඒ මූලාරම්භය මගේ යටි සිතේ රෝපණය වෙන්න ඇති කියලා හිතනවා.

අම්මා, තාත්තත් ඒවාට බොහොම උනන්දුයි?

අපේ අම්මාට හොඳට කවි, නිසදැස්, ගීත ලියන්න පුළුවන්. ඒ කාලයේ ඈ පත්තරවලට කවි ලිව්වා. පොතපත කියවන එකත් අපට අමුත්තක් නොවුණේ අම්මාත්, තාත්තත් පොතපත කියවන්න නැඹුරුව සිටි නිසයි. ඒත් අම්මා කවි ලියන එක එක පාරටම නතර කළා.

ඒ ඇයි?

ඒ කාලයේ තරුණී පත්තරේ තිබුණු තරගයකට අම්මා ලියූ ගීත කිහිපයක් යවලා තිබුණා. ඒ ගීත තරගාවලියේදී තෝර ගත්ත ගීත කිහිපයක් අද ප්‍රසිද්ධ ගායිකාවක් එදා ගැයූ කැසට් පටයකට ඇතුළත් වෙලා තිබුණා. ඒ අතර අම්මා ලිව්ව ගීතයක් තිබුණත්, ඇගේ නම වෙනුවට ඒ ගීතයේ තිබුණේ වෙන කාගෙදෝ නමක්. අද වනවිට බොහොම ජනප්‍රිය වුණු මේ ගීතය ලිව්ව කෙනාගේ නම විදියට ගියේ ඇගේ නම නොවන නිසා ඈට ඇති වුණු හිත් වේදනාවට ඈ කාලයක් ගීතවත්, කවිවත් ලිව්වේ නැහැ.

පවුලේ බඩපිස්සා නිසා අම්මා ඔබට බොහොම ආදරෙයි?

ඒ දවස්වල හැමදාම කොළඹ ඉඳලා එනකොට අම්මා අපට පුහුල් දෝසි, තල කැරැලි, රුළං, බූංජි වගේ පැණි රස කෑම ගේනවා. ඒක ඔවුන් දෙන්නාම රැකියාවෙන් විශ්‍රාම යනතුරුම කළ අපූරු දෙයක්. ඒ වගේම ඒ කුඩා කාලයේදී මම ගීත ගයනවා. අම්මා ඒවා රෙකෝඩ් කරලා තියලා මටම දාලා පෙන්වනවා. මට මතකයි මම ඈ ලිව්ව ගීතයක් ගයන්න ගුවන් විදුලියේ වැඩසටහනකටත් සහභාගි වුණු බව. ඒ කාලයේ මට ඒක අපූරු අත්දැකීමක් වුණා.

කුඩා කාලයේදී ඔබ ලැබූ දුක හිතෙන අත්දැකීම මතකද?

ඒ 80 ජූලි වර්ජනය කාලයේ. අම්මගේ වගේම තාත්තගේත් රැකියාව නැතිව ගියා. අම්මා මස හයක් රැකියාවට ගියේ නෑ. තාත්තා ඊටත් වඩා වැඩි කාලයක්. කොහොම වුණත් ඔවුන් දෙදෙනා බොහොම ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දුන්නා. මල් වැව්වා. ඒ ලැබෙන මුදලෙන් තමයි අපි දෙන්නා පාසල් යැව්වේ. ඒ පුරුද්ද ඈට සැත්කම සඳහා රෝහල් ගත වෙනතුරුමත් තිබුණා. මේ නිසා අපේ ගෙදරම මල් වත්තක් වගේ වුණා. අම්මා මල් වැව්වේ බොහොම ආදරයෙන්. මල් වගේම සෑම පලතුරු ගසක්ම අපේ වත්තේ තිබෙනවා.

අම්මාගේ සමුගැනීම පිළිබඳ අවසාන මොහොතේදී මොකද කියන්නේ?

ඇත්තම කිව්වොත් අපේ අම්මා දක්ෂ ගෘහණියක්, මවක්, බිරියක්. ඈ ජීවත්ව සිටිය කාලයේ බොහොම හොඳට හිටිය කෙනෙක්. මරණෙන් පස්සේ ඈ හොඳ තැනක ඉපදේවි. එහෙමයි මම ඈ ගැන හිතන්නේ.