|
මං රඟපාන්නේ විනෝදයට නොවෙයි
ලංකා ලයිව් සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සරසවියට කතා කරයි
* සුබ දවසක් සෙනාලි . . . කොහොමද ඔයාගේ වැඩ කටයුතු? බොහොම හොඳින් කරගෙන යනවා අයියේ.
* ඔබ දැන් සම්මානනීය නිළියක්? අම්මෝ . . . ඒ තනතුර මට බරපතල වැඩියි. මං තවම පුංචිම පුංචි නිළියක්.
* ඒත් ඔබ පසුගියදා ගෞරවාදරයට පාත්‍ර වුණේ ජනප්‍රියම නිළිය ලෙසින්. ඒ ගැන විස්තර කියමු? ඒ සම්මාන උළෙලේ නම ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස් 2014. පළමුවරටයි එම සම්මාන උළෙල පැවැත්වුණේ. මේ මං ලද පළමු සම්මානය.
* කවුද ඔබ පළමුවරට සම්මානනීය වූ මොහොතේ පළමු වරට සුබ පැතුවේ? සම්මානෙත් අරගෙන මං කෙලින්ම දුවලා ගියේ අම්මා ගාවට. අම්මගේ ඇස්වල කඳුළු. ඇය තමයි මට හා හාපුරා කියලා විෂ් කළේ.
* සෙනාලිට පසුව ජනප්‍රිය නිළි ලැයිස්තුවේ හිටිය අය මේ දවස්වල ජනප්‍රියතම නාට්‍යවලින් නිතර දකින අය. එහෙත් ඔබ එක ටෙලි නාට්‍යකවත් නැහැ? එහෙව් තත්ත්වයක් මත ඔබ කොහොමද ජනප්‍රිය නිළිය වුණේ? මේ සම්මාන උළෙලෙහි ජනප්‍රිය නළුවා නිළිය තේරුවේ ජාතික පුවත්පතක පළ වූ කූපන් හරහා සහ අන්තර් ජාලයේ ඡන්ද විමසුමකින්. මාස කිහිපයක් තිස්සේ ඒ සඳහා ජනතාවගේ කැමැත්ත ලබා ගත්තා. මාව ජනප්‍රිය නිළිය හැටියට නිර්දේශ වෙලා තියෙනවා කිව්වම මං පුදුම වුණා. ඇත්තම කිව්වොත් මං ඒ සම්මාන උළෙලට ගියේ ජනප්‍රිය නිළියට සම්මාන ගන්න කොට අත්පුඩි ගහන්න. මං හිතනවා සිරි පැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතනාට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරය කරන්න ඇති කියලා. ඒ චරිතය නිසයි අද මං මෙහෙම සම්මානයට පාත්‍ර වුණේ.
* එදා සම්මාන උළෙලින් අනතුරුව කී දෙනෙක් ඔබට ඔරවගෙන ගියාද? මට නොපෙනෙන්න එහෙම කළාද දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය මූණට නම් සුබ පැතුවා.
* කවදද ආයෙ එංගලන්තයට යන්නේ? මේ මාසේ අග තමයි යන්න හිතාගෙන ඉන්නේ. තව වසර හතරක් විතර එහෙ ඉඳගෙන අධ්‍යාපනය හදාරන්න තියෙනවා. නිවාඩුවට ලංකාවට ආවාමයි රංගන කටයුතුවල නියැලෙන්නේ.
* ද මොන විශ්ව විද්‍යාලයේද සෙනාලි ඉගෙන ගන්නේ? කේම්බ්‍රිජ් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ.
* අංශය ? ජීව විද්‍යා අංශය.
* කවුරු වෙන්නද සෙනාලි හිතාගෙන ඉන්නේ? මං විද්‍යඥවරියක් වෙනවා.
* ඊට පස්සේ? විද්‍යාඥවරියක් වෙලා එංගලන්තයට සේවය කරන්නේ නැහැ. මගේ උපන් රටටයි මං සේවය කරන්න හිතාගෙන ඉන්නේ. අධ්‍යාපනය හැදෑරුවාට පස්සේ ස්ථිර පදිංචියට ලංකාවට එනවා.
* එතකොට කලාව? මේ වගේම ඉඩ ලැබෙන හැම වෙලාවෙම රඟපානවා. හැබැයි විනෝදාංශයක් විදිහට නෙවෙයි. මොකද රංගනය කියන්නේ විහිළුවක් නෙවෙයි. ඒක හරියටම ඉටු කරන්න ඕන වගකීමක් වගේ දෙයක්.
* විද්‍යාඥවරියක් වුණායින් පසුව ද විවාහය ගැන හිතන්නේ? නැහැ, නැහැ. තව කාලාන්තරයක් යාවි මං කසාදයක් ගැන හිතන්න.
* හේතුව? මට අවශ්‍ය දේවල් නියම කාලයේදි මට ලැබුණා. මං හිතනවා කසාද බඳින්න ඕන කාලේ මට හොඳ ගති ගුණ ඇති පිරිමි ළමයෙක් හිමි වේවි.
* සෙනාලිගේ හිතේ ඇඳිච්ච රූපයක් තියෙනවාද? නැහැ.
* මොන වගේ අයකුටද ඔබ කැමැත්තෙන් ඉන්නේ? එහෙම අමාරුයි කියන්න. කොයි වගේ කෙනෙක් මාව හොයාගෙන එයිද දන්නේ නැහැනේ. මං ආදරේට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම මං තවමත් හිතාගෙන ඉන්නේ මං පුංචි ළමයෙක් කියලා.
* එහෙනම් සෙනාලිට හරියන්නේ මොන්ටිසෝරියක සර් කෙනෙක්? අනේ මේ, විහිළු කරන්න එපා අයියේ.
* නළුවන්ගෙන් විවාහ යෝජනා ඇවිල්ලා නැද්ද? තවම නම් නැහැ.
* නළුවකුගෙන් විවාහ යෝජනාවක් ආවොත්? ඒ ගැන සලකලා බලනවා. මගේ පෙම්වතා නළුවෙක් ද කියන එක නෙවෙයි, මට හරි යනවද කියන එකයි වැදගත්. නමුත් දැන්මම විවාහය ගැන හිතන්නේ නැහැ.
* සෙනාලිට මේ තරම් දේවල් හිමිවන්නේ කලාවට සම්බන්ධකම් තියෙන ඥාතීන් ගොඩක් සිටින නිසා යැයි කවුරුන් හෝ කිව්වොත්? ඒක බොරු කතාවක්. කලාව කියන දායාදය අපට ලැබුණේ ලොකු නැන්දි මාලිනී ෆොන්සේකා මහත්මියගෙන්. ඇය හෝ වෙන ඥාතියකුගේ තල්ලුවෙන් නෙවෙයි මං ක්ෂේත්රයට ආවේ. මං සිරි පැරකුම් එකේ ඉන්ටර්විව් යද්දිවත් සෝමෙ අංකල්ට ඒ කවුරුවත් කෝල් කළේවත් නැහැ. නමුත් ඥාතීහු හැමෝම මට ආශිර්වාද කළා.
* ඔබෙයි ඇයගෙයි මොනවද තියෙන සමානකම්? ලොකු නැන්දිගේ සිනමා ජීවිතයටවත්, පෞද්ගලික ජීවිතයටවත් මට ළං වෙන්නවත් බැහැ. ඇය මට ගුරුවරියක්. මට විතරක් නෙවෙයි ක්ෂේත්රයේ හැමෝටම ඇය ගුරුවරියක්. එවන් වූ අයකුට මාව සමාන කර ගන්න යන එක නිෂ්ඵල කටයුත්තක්.
* මොකක්ද ඇයගෙන් ඔබට ලැබුණු හොඳම අවවාදය? අඩුවෙන් කතා කරන්න වැඩියෙන් වැඩ කරන්න.
* මාලිනී රඟපෑ චිත්‍රපට අතුරින් ඔබ වඩාත්ම පි‍්‍රය කරන්නේ? නිධානය.
* ඇයගේ කාලයේ තරම් විවිධාකාර වූ චිත්‍රපට අද හැදෙන්නේ නැහැ. එහෙයින් ඔබ වැනි අයෙකුට ලැබෙන අවස්ථා අඩුයි නේද? ඒක නම් එහෙම තමයි. හැබැයි නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබුණා. ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් චරිත. එහෙම හිතලා හිත හදා ගන්නනවා.
|