වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සැමී ලෙස ජගත්ගේ රඟපෑම ගැන ඔබේ අදහස කුමක්ද?

සැමී ලෙස ජගත්ගේ රඟපෑම ගැන ඔබේ අදහස කුමක්ද?

රූපාන්තරණ සමඟ රිදී තිරයට එන තරු තුනෙන් අහමු

අමිල කරුනානායක, මිලින්ද මඩුගල්ල සහ කැළුම් කුලරත්න මේ දිනවල ජනප්‍රිය රූප බවට පත්ව ඇත්තේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණ චිත්‍රපටයේ රංගනය නිසාය. රිදී තිරයට ආගන්තුක මේ කඩවසම් තාරුණ්‍යයට සරසවිය යොමු කළ පැන 25 කි මේ.

1. සම්පූර්ණ නම:

අමිල – අමිල කරුණානායක

මිලින්ද – මිලින්ද මඩුගල්ල

කැළුම් – කැළුම් කුලරත්න

2. පාසල:

අමිල – නාලන්දා විද්‍යාලය - කොළඹ

මිලින්ද – නාලන්දා විද්‍යාලය - කොළඹ

කැළුම් – කුරුණෑගල මලියදේව විද්‍යාලය

3. පළමු චිත්‍රපට රඟපෑම්:

අමිල – රූපාන්තරණ

මිලින්ද – අනිත්‍යා

කැළුම් – රූපාන්තරණ

4. ලග්නය:

අමිල - මේෂ

මිලින්ද – ධනු

කැළුම් – ධනු

5. සිංහල සිනමාවේ ප්‍රියතම නළුවා:

අමිල – කමල් අද්දරආරච්චි

මිලින්ද - ජෝ අබේවික්‍රම

කැළුම් – ගාමිණී ෆොන්සේකා

6. සිංහල සිනමාවෙ ප්‍රියතම නිළිය:

අමිල - බොහෝ නිළියන් ඉන්නවා. ඒ අතර දමිතා අබේරත්න විශේෂයි.

මිලින්ද - ස්වර්ණා මල්ලවාරච්චි

කැළුම් - සබීතා පෙරේරා

7. ප්‍රියතම චිත්‍රපටය:

අමිල – මචං

මිලින්ද – හංස විලක්

කැළුම් – පරසතුªමල්

8. නාලක විතානගේට අමතරව කැමතිම අධ්‍යක්ෂවරයා:

අමිල – උදයකාන්ත වර්ණසූරිය

මිලින්ද – චාමර ජනරාජ්

කැළුම් – උදයකාන්ත වර්ණසූරිය

9. ලංකාවේ සංචාරයකට යන්න ආසම තැන:

අමිල – නුවර

මිලින්ද – රිවර්ස්ටර්න්

කැළුම් – නුවර

10. අද සිනමාව තිබෙන තැන ගැන මොකද හිතෙන්නේ?

අමිල – රූපවාහිනිය හා වෙනත් මාධ්‍ය නිසා චිත්‍රපට කර්මාන්තය කඩා වැටුණු බවක් දක්නට ලැබෙනවා. ලංකාවේ හෝල්වල ප්‍රමිතියත් ඊට බලපාලා තියෙනවා. කෙසේ නමුත් මේ වන විට තිබූ තත්ත්වයට වඩා සුබදායී ගමනක් ඇරැඹිලා තියෙනවා කියලා හිතෙනවා.

මිලින්ද – අද ලංකාවේ සිනමාව හොඳ අතට හැරෙමින් පවතිනවා. අලුත් අධ්‍යක්ෂවරු, නළු නිළියෝ පැමිණෙනවා. ඒ නිසා තරගකාරිත්වය ඇතුළේ හොඳ නිර්මාණ බිහි වෙනවා.

කැළුම් – දැන් සිනමාව ටිකක් ඔළුව උස්සගෙන එනවා.

11. චිත්‍රපට නළුවෝ මෙගා නාට්‍යවල රඟපෑම ගැන මොන වගේ මතයක් ද දරන්නේ?

අමිල – චිත්‍රපට නළුවන් මෙගාවල රඟපෑ යුතු නැහැ කියලා මට හිතෙනවා. චිත්‍රපට ශාලාවලට සල්ලි දීලා මිනිස්සු එන්නේ තරු බලන්නත් එක්ක. ඉතිං හැමදාම දකින මූණු බලන්න මිනිස්සු චිත්‍රපට ශාලාවලට එන්නේ නැහැ.

මිලින්ද – කිසිම සතුටක් නැහැ. හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි කියනවා වගේ, මෙගා නාට්‍යවල හැමදාම දකිනා නළු නිළියෝ දවසින් දවස මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා.

කැළුම් - මෙගාවල රඟපානවට මං කැමැති නැහැ. නමුත් දැන් තියෙන වියදම එක්ක නළුවන්ට ඕනෑ දෙයක් කරන්න වෙලා තියෙනවා.

12. චිත්‍රපටයේ අමතක නොවන අත්දැකීම් මොනවාද?

අමිල – මට විතරක් නෙවෙයි හැමෝටම අමතක නොවන අත්දැකීම මගේ ජීවිතය බේරීම. එක දර්ශනයකදී වාහනයක හැපෙන රඟපෑමක් මට තිබුණා. ඒකෙදි රියදුරාගේ අනවබෝධයෙන් මාව තව පොඩ්ඩෙන් වාහනයට යට වෙනවා.

මිලින්ද – එක දර්ශනයක් තිබුණා අමිල වාහනයකට හැපෙන. ඒකෙදි වේගයෙන් ආපු වාහනේ නැවතුණේ අමිල ඔන්න මෙන්න කියල. ඒ වෙලාවේ මට දැනුණේ පුදුම බයක්.

කැළුම් – මං මැරිල වැටිල ඉන්න දර්ශනය පැය එකහමාරක් විතර ෂූට් කළා. මුත්‍රා ගඳ ගහන තැනක බිම වැතිරිලා පැය එකහමාරක් හිටියා.

13. සැමීගේ කතාවේ ජගත් චමිලගේ රංගන ගැන යමක් කියමුද?

අමිල – ඇත්තටම ඉතා ඉහළ රංගනයක්. ඔහු ලෝකයේ හොඳම නළුවා වන්න තරම් ප්‍රබල රංගනය ඔහුගේ කැපවීමේ උපරිම ප්‍රතිඵලයක්. අපේ රටේ එවැනි දක්ෂයන් සිටීම වාසනාවක්.

මිලින්ද – ඇත්තටම ඒ රංගනය හරිම සාර්ථකයි. ජගත් චමිල කියන්නේ අපට සිටින සම්පතක්. ඔහුගේ රංගනය දැක බලා අපටත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා.

කැළුම් – ඒ රංගනයේ සාර්ථකත්වය ලොව හොඳම නළුවා වීමෙන්ම දැනෙනවා. අපිට මෙවැනි සම්පත් තිබීම සතුටට කරුණක්.

14. රංගන තරු දේශපාලනයට යොමුවීම හොඳද?

අමිල - මං හිතන්නේ වරදක් නැහැ. රසිකයන් තරුවලට ආදරෙයි. නමුත් තරු දේශපාලනයට පිවිසිය යුත්තේ යහපත් අරමුණක් පෙරදැරි කොට ගනිමිනුයි.

මිලින්ද – ඒක නිශ්ඵල ක්‍රියාවක්. කලාකරුවන්ට මිනිස්සු තියෙන ආදරේ දේශපාලඥයකුට ලැබෙන්නේ නැහැ.

කැළුම් – අරමුණ යහපත් නම් හොඳයි.

15. රංගනයට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය මොන වගේද?

අමිල – ඇත්තටම විශාල සහායක් ලැබුණේ. හැමෝම අපට බොහෝ දේ කියලා දුන්නා. ඔවුන්ගේ නිහතමානී ගුණාංග අපට ලොකු ආදර්ශයක් වුණා. ප්‍රවීණයන් මෙතරම් සුහදශීලියි කියලා දැනුණේ මේ චිත්‍රටයේ කටයුතුª කිරීමේදීයි.

මිලින්ද – බන්දුල විතානගේ, රවීන්ද්‍ර රන්දෙණිය වගේ ප්‍රවීණයන් අපට විශාල ශක්තියක් වුණා. මේ චිත්‍රපටයට දායක වූ සියලුම දෙනා අපට ලබා දුන්නේ ලොකු ශක්තියක්. අපි තැනක ඉන්නවා නම් ඒ ගෞරවය ඔවුන්ට ලැබිය යුතුයි.

කැළුම් – ඉතා ඉහළයි. රවීන්ද රන්දෙණිය මහතා, බන්දුල විතානගේ මහතා රංගනයට පමණක් නොවෙයි ජීවිතයටත් අපට බොහෝ දේ කියා දුන්නා.

16. නළුවෙක් වෙන්න ලස්සන අවශ්‍යමද?

අමිල - මෙහෙමයි. දෙපැත්තක් තියෙනවා. ලස්සනට මිනිස්සු ආසයි. රූපය හරියට පවත්වා ගෙන යාම රංගන ශිල්පියකුට ආභරණයක්.

මිලින්ද – නැහැ. හොඳම උදාහරණය ඉර්ෆාන් ඛාන්. ඔහු සුදු ලස්සන නළුවෙක් නෙවෙයි.

කැළුම් – නැහැ. හැකියාව හා කැපවීමයි අත්‍යාවශ්‍යයි.

17. රඟපාන්න ආසම චරිතයක් හිතේ ඇතිනෙ . . .?

අමිල – ක්‍රීඩකයකුගේ චරිතයකට ආසයි.

මිලින්ද – අද්භූත චරිතයක් රඟපාන්න ආසයි.

කැළුම් – වීරයාගේ චරිතයට කැමැතියි.

18. මෙතෙක් කියැ වූ හොඳම පොත?

අමිල – කාන්තාරයේ කුසුම.

මිලින්ද – ඇටමැස්සා.

කැළුම් – ගම්පෙරළිය.

19. ෂෙලා සහ මැණික් දෙන්නගෙන් හොඳ කවුද?

අමිල - මං වැඩිපුරම වැඩ කළේ ෂෙලා එක්ක. නමුත් දෙන්නම හොඳ මිතුරියන්.

මිලින්ද - දෙන්නම හොඳයි. හරිම සහෘදයි.

කැළුම් – රඟපෑමෙන් දෙන්නම හොඳයි. ෂෙලා තමයි වඩා කිට්ටු මිතුරිය.

20. රූපාන්තරණ චිත්‍රපටයේ තමන්ගේ රංගනය ගැන මොකද හිතෙන්නේ?

අමිල – මං සියයට සියයක් හොඳයි කියලා කියන්නේ නැහැ. දැන් බැළුවම අඩුපාඩු තියෙනවා. ඩබින් හදාගන්න ඕනෑ. නමුත් රංගනය ගැන ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා සෑහීමකට පත් වෙන්නට පුළුවන්.

මිලින්ද – මගේ රංගනය ගැන ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. මට මගේ චරිතය වෙනුවෙන් උපරිම කැප වුණා. මා හිතනවා මගේ ඇරැඹුම සාර්ථකයි කියලා.

කැළුම් – මගේ චරිතයට සාධාරණයක් ඉටු කරන්නට හැකි වුණා කියලා හිතෙනවා.

21. ලංකාවේ චිත්‍රපට මණ්ඩලවල ඇති අර්බුදකාරී වාතාවරණය ගැන අදහසක් තියෙනවාද?

අමිල – ඒක වෙනම කතා කළ යුතුª මාතෘකාවක්. දැන් මණ්ඩල ස්වාධීන නැහැ. ඔවුන් කටයුතු කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව. ඒක වැරැදියි.

මිලින්ද – හැම චිත්‍රපට ශාලාවකම එකම ආකාරයේ පහසුකම් තිබෙනවා නම් හොඳයි. දැන් එක එක මණ්ඩලවල ශාලා ක්‍රියාත්මක වෙන්නේ එක එක විදියට. ඒක ප්‍රේක්ෂකයාට අසාධාරණයක්.

කැළුම් - මේ අර්බුදයෙන් තැලෙන්නේ නිර්මාණකරුවන් සහ ප්‍රේක්ෂකයන්.

22. බිරිඳගේ නම මොකක්ද?

අමිල - මිහිරුනී ජයවර්ධන.

මිලින්ද – තවම අවිවාහකයි.

කැළුම් – තවම අවිවාහකයි.

23. ප්‍රතිචාර කොහොමද චිත්‍රපටයට?

අමිල - ඉතා ඉහළයි. බොහෝ දෙනකු දුරකථනයෙන් කතා කොට සුභපැතුවා. ඒ ප්‍රතිචාරය අපිට තවත් ඉදිරියට තල්ලු කරනවා.

මිලින්ද – ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක ඉදිරි ගමනට ලොක ශක්තියක්.

කැළුම් – දැනට ලැබෙන සියලු ප්‍රතිචාර සුබදායකයි.

24. රංගනය ඉගෙන ගන්නේ කොහොමද?

අමිල – මම චිත්‍රපට බලල තමයි රංගනය ඉගෙන ගන්නේ. අපට රංගනය ඉගෙන ගන්න පාසලක් නැහැනේ.

මිලින්ද - මේ දිනවල රංගනය ඉගෙන ගන්නේ පොත පතින්. ඒ වගේම චිත්‍රපට නරඹලා ඒ ඇසුරින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ලංකාවේ ස්වයං අධ්‍යනයක යෙදෙනවා හැර රංගනය ඉගෙන ගන්න තැනක් නැහැනේ.

කැළුම් – චිත්‍රපට නරඹලා තමයි. අපට වෙන තැනක් නැති එක හරිම අවාසිසහගතයි.

25. ලංකාවේ ඉපදුන එක ගැන මොකද හිතෙන්නේ?

අමිල – ඇත්තටම ඒ තරම් පිනක් තව කොහෙන්ද?

මිලින්ද – ඒක පිනක්. කවුරු කොහොම කිව්වත් ලෝකේ හොඳම මිනිස්සු ඉන්නේ ලංකාවේ.

කැළුම් – පිනක් කියලා හිතෙනවා. සන්තෝෂයි.