වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




තනිකඩයකුගේ අවසානය

තනිකඩයකුගේ අවසානය

මල් වත්තක මල් මෙන් සල්මන් ඛාන්ගේ ජීවිතයට ද සුන්දර තරුණියන්ගෙන් අඩුවක් නැත. එහෙත් ඒ අතරින් ඔහු ජීවිතයට සදහටම කිසිවෙක් ළං කර නොගැනීම ක්ෂේත්‍රයේ කොයි කාටත් ඇති ගැටලුවකි. මේ වසර අවසානයේදී ඒ ගැටලුවට සුබ පිළිතුරක් ලැබෙන බවට ඉඟියක් ලැබී තිබේ.

හතළිස් අට හැවිරිදි සල්මන් ඛාන් තමන් මේ වසර අවසානයේදී හුදෙකලා ජීවිතයෙන් සමු ගැනීමට ඉඩ ඇති බව පවසා තිබේ. ඒ බොලිවුඩ් තාරකාවක සමඟ නම් නෙවෙයි. ලූලියා වන්චර් රොමේනියානු තාරකාව සමඟයි.

‘ජීවිතයේ තීරණාත්මක මංසන්ධියක තමන් මේ කාලයේ සිටින බව’ සල්මන් පවසන්නේය. ලජ්ජාශීලීව සිටීම ඉක්මනින්ම අත හැරීමට ඔහුට සිදු වී තිබේ. ඒ ජීවිතයේ විශේෂ සිද්ධියක් තවත් මාස කිහිපයකින් සිදුවීමට තිබෙන නිසයි. ඒ අන් කිසිවක් නොව විවාහයයි.

‘මම අනුගමනය කරන්නේ මිනිස් දහමයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු ආගම් අනුගමනය කරනවා. නිවැරැදිම දේ කරනවා. ඒ නිසා මා ආශීර්වාද ලද්දෙක්. මගේ පියා පතන්, මව හින්දු. කුඩම්මා ජනප්‍රිය නිළි හෙලන් කතෝලික, මස්සිනා පන්ජාබ. ඒ නිසා මං සම්පූර්ණයෙන්ම වෙනස් බිරියක් කැන්දාගෙන එන්න සිතුවා. සැම විටම පෙම්වතිවයන්ට හොඳ මිතුරකු වුණා. ඒ නිසා අනෙක් පෙම්වතුන්ට වඩා මං වෙනස්.

කුඩා කාලයේ නරක, දඟ ළමයෙක්. නඩු, සිරගත කිරීම් වගේ දේවල් මං ගැන අසන්න නොලැබුණා නම් මවත් පියාත් මං වගේම ලාබාලව පෙනේවි.’

සල්මන් මාධ්‍යවේදීන් ඉදිරියේ පාපොච්චාරණයක යෙදෙන විලසින් පැවසුවේය. කෙසේ වුවත් දිගු කාලයක් වැඩිම ඉල්ලුමක් ඇති බොලිවුඩ් තනිකඩයාගේ තනිකඩ ජීවිතය ලූලියා නිසා නිම වෙන්නේ නම් එය කාගේත් සතුටට හේතු වෙනවා ස්ථීරය.