වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




හිත කියවන්න පුථවන් කෙනා හමුවුණාම බඳිනවා

හිත කියවන්න පුළුවන් කෙනා හමුවුණාම බඳිනවා

තනිමංසලට මහේන්ද්‍ර එක්වෙයි

තම සිතෙහි සැඟවී සිටින අයෙකුටම ආදරය කරන්නට ලැබෙන්නේ නම් එය අහම්බයකින් සිදුවන්නකි. එසේ නොවූවද ඔවුහු සිය හදවතට ළං වූ, තමන්ට ආදරය කරන අයකු සිය ජීවිත ගමන ගෙනයෑමට තෝරා ගනිති. එහෙත් මේ අතර සමහර අයකු තවමත් සිය හදවත නියම අයුරෙන් අවබෝධ කරගත් කෙනෙකු සොයනවා විය හැකිය. ඒ නිසා තවමත් ඔහු හෝ ඇය තනිකඩව සිටිනවා විය හැකිය. මෙවර ‘තනිමංසලට’ සහභාගි කරගත්තේ හදවත හඳුනා නොගැනීම නිසා තවමත් තනිකඩව සිටන තරුවකි. ඔහු මහේන්ද්‍ර වීරරත්නයි.

* මේ දවස්වල ඔබ නිතරම පුංචි තිරයේ දකින්න ලැබෙනවා?

ඔව්, පාරා වළලු, වාසුලි කන්ද, තිමිරගිර, සඳ සාවි කියන ටෙලි නාට්‍යවලින් මාව මගේ රසිකයන්ට දකින්නට හැකියි. ඊට අමතරව ‘චේ ගුවේරා’ කියන වේදිකා නාට්‍යයේත් මම රඟපානවා. එය පසුගිය දිනවල රාජ්‍ය සම්මාන උළෙලටත් ඉදිරිපත් කළා.

* හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?

මෙහෙම ඉන්නඑක තරම් සැපතක් තවත් නම් කොයින්ද? හොඳට කාලාබීලා , මගේ වැඩකුත් කරගෙන, කුරුල්ලෙක් වගේ නිදහසේ පියාසර කරලා ඉන්න තරම් තවත් සැපතක් ඇත්තේ නැහැ.

* ඒ තරමටම නිදහසක් ඔබ සොයනවද?

ඔව්, හැබැයි කුරුල්ලෙක් වගේ පියාසර කළාට යහපත් දේශයකටයි පියාසර කරන්න මම නිතරම හිතාගෙන ඉන්නේ.

* කුරුල්ලකුගේ නිදහස ඔබ අගය කරනවා?

කුරුල්ලෙක් ආකාසයේ කොයිතරම් නිදහසේ පියාසර කරනවද කියලා අපට පේනවා. ඒ නිදහස භුක්ති විඳිමින් මමත් කිරිල්ලියක් මුණ ගැහෙන තුරු පියාඹනවා. ඊට පස්සේ කිරිල්ලිය සමඟත් පියඹනවා.

* කිරිල්ලියක් හමුවනතුරු තනිවම ඔබ පියඹනවා?

ඔව්, තනිවම යහපත් දේශයක් බලා පියඹනවා.

* ඇයි? එහෙමනම් මේතරම් කාලයක් තනිවම ඉන්න අදහස් කළේ?

කාලයක් මගේ සම්බන්ධයක් තිබුණා. ඒ වසර පහක කාලයක්. ඒත් ඇය මගෙන් ඈත් වුණේ නොසිතුව විලාසයකින්. මම ඒ ගැන නම් කතා කරන්නත් කැමැති නෑ.

* තවමත් නියම කෙනා මුණ ගැසුණේ නැද්ද?

තවමත් මට ආදරය කරන නියම කෙනා මුණගැසිලා නැහැ. ඒ ගැනත් ටිකක් හිතන්න කියලත් හිතාගෙන ඉන්නවා.

* ඒ කියන්නේ ඔබ විවාහ වන කාරණය අතහැරලා නැහැ?

විවාහය කියන කාරණයේ දී කිසිම කෙනෙකුට වයසක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ කාරණය මටත් පොදුයි.

* ඇයි කලින් සම්බන්ධයට මොකද වුණේ?

ඒ ගැන කතා කරන්න මම කොහෙත්ම කැමැති නෑ.

* ඇයත් රංගනයට සම්බන්ධ කෙනෙක්ද?

නෑ, ඇය රංගනයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. වසර පහක ආශ්‍රයක් මඟින් අපට අපව හඳුනා ගන්න බැරි වුණා නම්, වෙන කෙනෙක් මේ අවුරුදු දෙකක් ඇතුළත කොහොමද තවත් කෙනෙක්ගේ හදවත හඳුනා ගන්නේ. ඒකයි මට තිබෙන ප්‍රශ්නය වන්නේ.

* ඔබ කියන්නේ ආදර සම්බන්ධයක දී හදවත හඳුනා ගැනීම වැදගත් බවද?

ආදරයකදි හදවත හඳුනා ගැනීම බොහොම වටිනා කාරණයක්. එය කරන්න හැකිවන්නේ ආශ්‍රය කිරීම මඟින්. ඒ අනුව හදවතට කතා කරන, හදවතේ තිබෙන දේ හැඟෙන කෙනෙක් තමයි ජීවිතයකට වඩා වැදගත් වන්නේ.

* බොහෝ විවාහ වුණු අය විවාහ වී සිටින්නේ හදවත හඳුනාගෙන කියලද ඔබ ඔය පවසන්නේ?

එහෙම නොවීම නිසා නේ, අද ඒ අය අතර ඔය තරමට ප්‍රශ්න පැන නැඟිලා තියෙන්නේ. මෙහෙම ඉන්නතුරු මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ජීවිතේ බොහොම නිදහස් ජීවිතයක්.

* ඒ නිදහස අද ඔබ භුක්ති විඳිනවා?

ඇත්තටම මේ තරම් නිදහසක් මම භුක්ති විඳින්නේ ඒ තනිකඩ ජීවිතය නිසා. ඕන වෙනකොට කෑමක්, බීමක් කාලා බීලා, මම නිදා ගන්නවා.

* බිරියක් නැති වුණා කියලා වෙනසක් ඔබට නැහැ?

එවැනි කෙනෙක් ඕනෑ. මොකද පිරිමියෙක් සම්පූර්ණ වන්නේ බිරියක් නිසා කියලා මම හිතනවා. ඒත් නියම කෙනා හමු නොවුණොත් අපි අමාරුවෙ වැටෙනවා.

* ඔබ වඩාත් කැමැති මොනවගේ කෙනෙකුටද?

ඇය මොනවගේ කෙනෙක් ද කියලා කියන්න මට බැහැ. ඒත් ඒ කෙනාට හදවත කියවන්න බැරිනම් වැඩක් නැහැ. මම යමෙකුව තේරුම් ගන්නේ ඇස් දෙක බලලා හදවත කියවලා නම්, ඇයත් එහෙම විය යුතුයි. ඇයටත් මගේ ඇස් දෙක බලාගෙන මගේ හදවත කියවන්න හැකිවෙන්න ඕනෑ.

* තනිකම, පාළුවට ඔබගේ ජීවිතයේ ඉඩක් තියෙනවද?

අනේ නැහැ, එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මට අම්මා ඉන්නවා. ඊට අමතරව මගේ අයියාගේ ළමයි ඉන්නවා. ඔවුන් නිතරම මගේ ළඟ ඉන්න නිසා කිසිම පාළුවකට, තනිකමකට මගේ ළඟ ඉඩක් නැහැ. අනෙක් වෙලාවට මම නාට්‍ය පිටපතක් කියවනවා. චිත්‍රපටයක්, පත්තරයක් බලනවා. ඊට පස්සේ මම රූ ගත කිරීම්වලට සහභාගි වෙනවා. දවස ගෙවෙනවා දන්නෙම නෑ

* කුමන අවස්ථාවක දී හෝ තනිකමක්, පාළුවක් නොදැනෙන බවද ඔබ පවසන්නේ?

සමහර අවස්ථාවලදී දැනෙන අවස්ථා තිබෙනවා. එහෙම තනිකමක්, පාළුවක් දැනුණාට පස්සේ මම කරන්නේ පොතක් අරගෙන මුහුදු වෙරළට යන එකයි. එවැනි අවස්ථාවකදී ස්වභාව ධර්මය සමඟ මම ඒ තනිකම විඳ දරා ගන්නවා.

* පවුලේ තව කවුද ඉන්නේ?

මමත්, අයියත්, අම්මත් විතරයි. අයියා විවාහ වෙලා. අපි පදිංචිව සිටින ආසන්නයේමයි ඔහුත් පදිංචි වී සිටින්නේ.

* අම්මා ඔබට විවාහ වෙන්න කියලා බල කරන්නේ නැද්ද?

ඕනෑ තරම්. දැන් ඉතිං මං මේකෙන් නිදහස් වෙන්න ඕනෑ කියලා ඈ නිතරම කියනවා. එතකොට මම නිතරම කියන්නේ අම්මට බැරි වෙන දවසකට මට කියන්නකෝ, මම කවුරු හරි කෙනෙක් තනියට ගෙනත් දෙන්නම් කියලමයි.

* එහෙම කියලා ඔබ ඇයව මඟ හරිනවා?

එහෙම තමයි.

* අම්මා ඔබට යෝජනා ගෙනෙන්නේ නැද්ද?

අම්මා ගෙනෙන යෝජනාවලින් නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම මම රඟපාන නාට්‍ය බලන බොහෝ දෙනෙක් මට බොහොම කැමැතියි. පසුගිය දවස්වල විදේශ රටවල සිටින බොහොම දෙනෙක් මට විවාහ යෝජනා ගෙනාවා. ඒත් ඒ අය හඳුනන්නේ නැතිව මට ඔවුන්ට එකඟ වෙන්න බැහැ. පවුල් ජීවිතය කියන්නේ ගනුදෙනුවක් නෙවෙයිනේ. අද අපේ අය බොහෝ දෙනෙක් වෙන් වෙන්න බලපාලා තියෙන්නේ දෙන්නා නියම විදියට හඳුනා නොගැනීමයි.

* දිගටම ඔබ ඔය මතයේ හිටියොත් දිනයක තනි වේවි නේද?

මෙහෙමයි. මම විවාහ වෙන්නේ තවත් අවුරුදු දෙකකින් එහෙමත් නැත්නම් අවුරුදු හතර පහකින් විය හැකියි. ඒ කොහොම වුණත් අපි දවසක කොහොමත් තනි වේවි. අපිට ලෙඩක් දුකක් හැදුණට පස්සේ අපි ගැන සොයා බලන කෙනෙක් ඉන්න එක හොඳයි. ඒත් එහෙමයි කියලා කවුරු හරිම කෙනෙක් තමන්ගේ ජීවිතයට ළං කර ගන්න නම් මට බැහැ. එහෙම නම් තනිකම, පාළුව මකන්න කෙනෙක් මට ඕනෑ නැහැ. කෙනෙක් අවශ්‍ය වන්නේ මානුෂීය සම්බන්ධතාවයටයි. බොහෝ දෙනෙක් බැඳෙන්නේ ශරීරයට නේ. විවාහය කියන්නේ එතැනින් එහා ගිය මානුෂීය කාරණයක්. මනෝ විද්‍යාත්මක කාරණයක්. මනෝ විද්‍යාත්මකව ගැහැනු සොය සොයා ඉන්න නම් මට බැහැ. ඒ වුණාට විවාහයටත් නියම කාලය එන්න ඕනෑ.