වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මං රඟපාන්නේ විනෝදයට නොවෙයි

සාරංග - උමාලි පෙම් කතාව වීඩියෝවට නැගුණු හැටි

හුස්ම සිඹින්නම් – පෙම් පවනැල්ලේ

ආදරෙන් වෙලා . . .

ඔබ ළඟ ඉන්නම් – ඔය ඇස් අස්සේ

හීනයෙන් පවා . . .

ඈත දුරු රටක සිටින තම පෙම්වතිය ගැන දුරස්වීමේ ශෝකය දරා ගත නොහැකි පෙම්වතෙක් ගයන ගීයක්.
 

මේ හිත ගත්ත රූ හීන චායා

නෙතු ගාව නැවතිලා පායා . . .

පෙම්වතාට දුරු රට සිටින පෙම්වතිය එසේ ගයන්නේ දුරස් වීම ළඟදීම හමුවීමක් වන බවකි.

මේ දවස්වල නිතර ඇහෙන ජනප්‍රිය ගීතයේ හිමිකරුවන් වෙන්නේ රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නයි. මේ ගීතය ගැන සාරංග පැවසුවේ මෙවන් කතාවක්.

‘මමයි උමාලියි ‘සඳවතක සේයා’ ටෙලි නාට්‍යයේ මීට වසර හතකට පමණ පෙර එකට රඟපෑවා. ඉන් පසු අප පෙම්වතුන් වුණා. කාලයත් එක්ක උමාලි අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගියා. මම රංගන ශිල්පියෙක් වුණත් පෙම්වතිය දුරස් වීමේ දුක කියන්නේ මොකක්ද කියලා මට දැනුණා. ඒ නිසා සචිත උදයංග කියන නව පරපුරේ ගීත රචකයාට මගෙයි උමාලිගෙයි පෙම් කතාව පාදක කරගෙන ගීතයක් ලියන්න ආරාධනා කළා. ඊට සංගීතය මුසු කළේ සංජුල හිමාල. පසුගියදා මේ සඳ විෂුවල් එකතුවත් නිර්මාණය කළා. ඒක නිෂ්පාදනය කළේ චරිත් අබේසිංහ. චරිත් විජේසේකර, මරීනා පෙරේරා හැඩ ගැන්වීමෙන් එක් වුණා. ඒ වගේම අනුක් මෙන්ඩිස් වගේම ලස්සන ෆ්ලෝරාත් මේ වීඩියෝ එක ලස්සනට නිම කරන්න දායක වුණා.

සාරංගගේ කතාවට නිහඬව සවන් දී සිටි උමාලිත් සිය හඬ අවදි කළා.

‘මේ මාසේ 14 වැනිදා අපි විවාහ වෙනවා. මේ වීඩියෝ එකයි, ගීතයයි නිර්මාණය කළේ අපේ විවාහයත්, ආදරයත් සිහි ගන්වන්නයි. වසර හතක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ අපි දෙන්නාගේ විවාහය වෙනුවෙන් මේ ගීතය එළි දක්වන්න ලැබීමත් හරිම සතුටුයි.

භද්‍ර යෞවනයේ පසු වූ සාරංග සහ උමාලි යුවතිපතීන් ලෙස ජීවිතයේ නවමු ඉසව්වකට පා තබන්නට සූදානම් මොහොතේ. ජාතික කලා පුවත්පත ලෙස හෙට දිනයේ යුග දිවියට පා තබන මේ යුවළට ඉත සිතින් ආසිරි පතයි.