වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ලේබල් ලයිබල් වෙලා

ලේබල් ලයිබල් වෙලා

පසුගිය සතියෙන්...

ලංකා පාර්ලිමේන්තුව පිහිටුවන ලැබූ දින සිට පාර්ලිමේන්තුවේ සැසි වාර ආරම්භ කිරීමේ උත්සවයන්හිදී ඉංග්‍රීසියෙන් පමණක් නිල නිවේදන නිකුත් කළේය. 1961 දී පටන් මා මුල්වරට එම නිවේදන සිංහලෙන් ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර මෙයට එවක පුවත්පත්වලින් පවා විශාල ප්‍රසිද්ධියක් දී තිබිණි. මා සිංහලෙන් ඉදිරිපත් කිරීම ආරම්භයට ප්‍රථම එතෙක් කරගෙන එනු ලැබුවේ කථානායකතුමා රැස්වීම මෙහෙයවීමට සභා ශාලාවට පිවිසෙන විට වේත්‍රධාරියා විසින් Mister Speaker යනුවෙන් නිවේදනය කරනු ලැබීය. මෙය මා සිංහලෙන් නිවේදනය කිරීම ආරම්භ කළේ ‘ගරු කථානායකතුමා’ යනුවෙන්ය. මේ අයුරින් නිවේදනය කිරීම ආරම්භ කොට ටික කලක් මා විසින් මේ කටයුත්ත සිදු කරනු ලැබුවේ බොහොම සතුටින්ය.

භාෂා පරිවර්තනයට ගිහින් මට වෙච්ච අපහසුතාත් නැතුවා නොවෙයි. කතා කරන පුද්ගලයා අනුවත් ඉංග්‍රීසි භාෂාව කතා කරන ශබ්දය වෙනස් වෙනවා. වියට්නාමය, චීනය, හොකොං, ඕස්ට්‍රේලියා ජාතිකයන්ගේ ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්න අමාරු වන අවස්ථා තියෙනවා. මේ තත්ත්වය දැනෙන්නේ භාෂා පරිවර්තනයකට ගියහම. කීප අවස්ථාවකදී මම භාෂා පරිවර්තනයට ගිහින් ඔය වගේ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඔන්න එක දවසක් ඒකල පැත්තේ කර්මාන්ත ශාලාවක් විවෘත කරන්න ආපු සුද්දියක් ලයිබල් කියල වචනයක් කියනවා කතාවේදී. මම තමයි භාෂා පරිවර්තක වශයෙන් කටයුතු කළේ. සාමාන්‍යයෙන් ලයිබල් කියන්නේ මම දන්න විදියට කෙනෙකුට අපහාසාත්මක විදියට කතා කරන එකට. මම ටිකක් විපරම් කරලා බැලුවා. ඒ පාර මට තේරුණා මේ කාන්තාව කියන්නේ ලේබල් කියන අර්ථය කියලා.

රාජ්‍ය සේවයේ ඉන්න අතරේ මම නිවාඩු දවස්වලට පුද්ගලික සේවයටත් එක් වුණා අතට කීයක් හරි වැඩිපුර හොයා ගන්න. දන්න දෙයින් කීයක් හරි හොයා ගන්න එක වරදක් නොවන නිසා දවසක් මට පුද්ගලික ආයතනයක පරිවර්තන කටයුත්තකට ගියහම වියට්නාම ජාතික සුද්දෙක් කරපු කතාවක් මට සිංහලයට පරිවර්තනය කරන්න ලැබුණා. ඔන්න සුද්දා කතා කරනවා I Came to Die කියාල. ඒ සුද්දා ශබ්ද කරන විදියට ඇහුණේ ඔය ආකාරයට.

මම දන්න විදියට ඔහොම කියන්නේ මං මැරෙන්න ආවා කියන අර්ථය. මම උඩ බිම බැලුවා මේ හාදයා මොනවද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ටික වෙලාවක් ගියහම තමයි මට තේරුණේ මේ සුද්ද කියලා තියෙන්නේ I Came To Day කියලා. මේ වගේ බැරෑරුම් අවස්ථාවලටත් මම භාෂා පරිවර්තනයේදී මුහුණ දෙන්න සිද්ධ වුණා. මොනවා හරි වචනයක් වැරැදුනොත් ඒකේ අර්ථයත් වෙනස් වෙනවා. ඒ නිසා මේ ජොබ් එක බොහෙම කල්පනාවෙන් සීරුමාරුවට කළ යුතු දෙයක් බව ඔලුවේ තියන් තමයි කතා පරිවර්තක ජොබ් එක කළේ.

ඇල්ෆ්‍රඩ් දිනූ සම්මාන

1970 දී පාර්ලිමේන්තුවේ සිංහලෙන් ඉංග්‍රීසියට හරවන කතා පරිවර්තකයන් හිටියේ තුන් දෙනෙක් විතරයි. සී ඩබ්ලිව්. පන්නිල, සෝමා අහංගම, අනිත් කෙනා මම. එදා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එවක පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා වශයෙන් පැවැත් වූ මංගල කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කළේ මම. එතුමාණන්ගේ පියාණන් වූ ඩී. ඒ. රාජපක්ෂයන් එයට කලින් පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජ්‍ය තනතුරත් දැරුවා. ප්‍රසන්න මුහුණකින් හිටි එතුමා නිතර සිනාමුසු මුහුණින් නිතර අප සමඟ එදා පාර්ලිමේන්තුවේ ගත කළා. ඒ නිසාමද කොහෙදෝ මහින්ද රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාත් බොහෝ විවේකී වේලාවලදී අපගේ කතා පරිවර්තකයන්ගේ කාමරයේ අපත් සමඟ රැඳී සිටියා. එදා අපි කවදාවත් හිතුවේ නැහැ අනාගතයේ මෙතුමන් රටේ ජනාධිපති වෙයි කියා නම්.

ඔන්න එක දවසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වුණාට පස්සේ එක එක රටවලට පත් කරලා හිටිය ශ්‍රී ලාංකික තානාපතිවරු කැඳවලා සම්මන්ත්‍රණයක් පැවැත් වූවා. මේ සම්මන්ත්‍රණයට ඒ දවස්වල අපේ රටේ හිටිය සියලු විදේශ තානාපතිවරුනුත් සහභාගි වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත් වූ මේ සම්මන්ත්‍රණයේ භාෂා පරිවර්තනය සඳහා මට ආරාධනාවක් ලැබුණා. සිංහල හා ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු ලෙස එයට මම සහභාගි වුණා. ජනාධිපතිතුමන් සිංහලෙන් ශ්‍රී ලංකා තානාපතිවරුන් ඇමතුවා. ඒ කතාව මම ඒ මොහොතේම ඉංග්‍රීසියට පරිවර්තනය කළා. සම්මන්ත්‍රණය අවසන් වුණා. ජනාධිපතිතුමන් යන්න සූදානම් වුණා. මමත් වීදුරු කුටියෙන් එළියට ආවා.

එතුමන් ආරක්ෂකයන් පිරිවරා එළියට එමින් හිටියේ. මාවත් ඉදිරියේදී එතුමන්ට හමු වුණා. ජනාධිපතිතුමා එක පාරටම මගේ පිටට තට්ටුවක් දාලා හිනා වෙලා යන්න ගියා. ඒත් මේක ආරක්ෂකයන්ට හරි පුදුමයක්. එයාලා දන්නේ නෑනේ අපේ ඉතිහාසය. හැබැයි මට ඒ වෙලාවේ තේරුණ දෙයක් තමයි සමහර පුද්ගලයෝ උසස් තනතුරුවලට ආවහම අතීතය අමතක කරන එක. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ ඒ ගතිය නැහැ කියලා මම එදා සිතින් සතුටු වුණා.

* බැනපු කතාවත් පරිවර්තනය කළා