වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




එයා වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්

එයා වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්

පසුගිය සතියේ වෙන්ව ගිය කඳපොල කුමාරතුංග ගැන බිරිය සහ දියණියගේ මතක ආවර්ජනය

සිනිඳු මිහිඳුම් සේලයකින් සැරසුන මහී කාන්තාව තවත් රමණීය දිනයක ඇරඹුම සටහන් කරන්නට සැරසී සිටියාය.

ඕ මුළු මහත් කඳපොළගම පුරාම තම අණසක පතුරුවාලුවාය. මනෝ රම්‍ය දවසක ඇරඹුමත් සමඟම කඳපොළ ගම්මානයට පින්වන්ත දරුවෙකුගේ උපත සිදු වන්නේ ද ස්වභාව ධර්මයේ ආශිර්දය ද සමඟිනි. මේ 1940 වර්ෂයේ අගෝස්තු මස පස් වැනිදාය.

සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ කඳු ශිඛර මෙන්ම ආශ්වාදජනක පරිසරයකට උරුමකම් කියන කඳපොළ ගමට කීර්තියක් අත්කර දෙන ඇසු පිරූ තැන් ඇත්තෙකු වන බව මේ කුල කුමරුවාගේ වේලාපත්කඩ බැලූ නක්ෂත්‍රකරුවා පැවසීය. එම නිසාම හේ ගමේ නමින් ද පිදුම් ලැබුවේය.

කඳපොළ මහින්ද විද්‍යාලයට මූලික අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වූ මේ දරුවා පසුව ශාන්ත සේවියර් විද්‍යාලයට ඇතුළත්ව ද්විතීය අධ්‍යාපනය ලැබුවේය. අනතුරුව තම වැඩිමහල් සොයුරිය වෙසෙන කොළඹ මහරගමට පැමිණි ඔහු මහරගම බුද්ධඝෝෂ විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට යෑමට තරම් දස්කමක් දැක්වීය.

පාසල් සමයේ පටන් සාහිත්‍යයට මෙන්ම කවීත්වය ද කලාවට ද එක සේ දස්කම් පෑ මේ දරුවා පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් කලා විෂයන්ගෙන් ඉහළ සමාර්ථයක් සහිතව ගෞරව උපාධියක් ලබා ගත්තේය.

කඳපොළ කුමාරතුංග නම් වූ ඔහු මෙරට සිනමාව සාහිත්‍ය මෙන්ම සිවිල් සේවයට ද දායක වූයේය. පසුගියදා ජීවිතයේ හැත්තෑ හත්වැනි උපන් දිනය සැමරීමට මසක් පමණ තිබියදී මේ සුන්දර මිනිසා දිවි මාවත හැර ගියේය. මෙවර පිය සටහන් වෙන් වන්නේ කඳපොළ කුමාරතුංග නම් අපේ කාලයේ සුන්දර මිනිසෙකුගේ මතකාවර්ජනය සඳහාය. ඒ ඔහුගේ දෙටු දියණිය වෛද්‍ය චාමින්දි කුමාරතුංග සහ බිරිඳ හේමා මැණිකේ පරකටවැල්ල සමගය.

කඳපොළ කුමාරතුංගයන් මෙලොවින් සමුගෙන හරියටම සත් දිනක් ගෙවෙන මොහොතේ ඔහු පිළිබඳ මතක අතර සැරිසරන්නට වීම, මේ දෙදෙනාටම දරාගත නොහැකි ශෝකයක් විය.

මේ සිනමාකරුවා, සාහිත්‍යවේදියා, ගීත නිබන්දකයා මෙන්ම සොඳුරු නිර්ව්‍යාජ මිනිසාගේ වියෝවීම දරාගත නොහැකිව ගලාගිය කඳුළු කැට තවමත් වියැලී ගොස් නොමැත.

එම නිසාම ඔහු ගැන සිහි කිරීම හදවත පසාරු කර ඊයම් ගුලියක් ගිය සේ රිදුම් දෙන්නක් විය. හදවත පතුලෙන්ම නැඟී ආ ගැඹුරු සුසුමකට නිදහසේ වා තලයට මුසුවන්නට ඉඩ දී හේමා මැණිකේ හඬ අවදි කළාය.

කඳපොළ කුමාරතුංග නම් උතුම් මිනිසා උපදින්නේ නුවරඑළිය කඳපොළ ගමේ. පාසල් කාලේ ඉඳන් සාහිත්‍යයට, කලාවට, ගීත ගායනයට මේ හැම දේටම ඔහු දක්ෂයෙක්. පේරාදෙණි විශ්ව විද්‍යාලයට ඔහු සමත් වෙන කොට මමත් එහි ශිෂ්‍යාවක්. ඒ වෙනකොට එයා සාහිත්‍ය පැත්තෙන් වඩාත් ඉදිරියට ගිහින් හිිටියේ.

නවකතා, කෙටි කතා කිහිපයක් රචනා කරලා තිබුණේ. වාසිටියේ සාහිත්‍ය පැත්තෙන් ප්‍රසිද්ධ නමක් දිනාගෙන ඒ වෙන කොටත් වැඩ කළේ. විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ කඳපොළ ගම්පොල වැවතැන්න විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබුණ. ඊට පස්සේ කිරිල්ල මහා විද්‍යාලයට මාරුවක් ලැබුණා.

ඊටත් පස්සේ පොළොන්නරුව කල්මුණේ පැත්තේ පවා ගුරුවරයෙක් විදියට වැඩ කළා. මේ සේරම අතරේ එයා සාහිත්‍ය කාර්යයේ නියැලෙන්න අමතක කළේ නැහැ. කඳපොළ කුමාරතුංගයන් ලැබූ සම්මාන දෙස බලමින් ඕ පැවසුවාය. නෙත් කෙවෙනි අඟින් ගලා ගිය කඳුළ වමතින් පිස දැමූ ඈ නැවතත් මතකයන් අතර සැරිසැරුවාය. එයා ගුරුවරයෙක් විදියට ඉන්න කාලේම අපි අතර ආදරයක් ඇති වුණා. එයා නිරහංකාර ආදර්ශමත්, මානුෂීය ගුණාංග තියෙන වචනයේ අර්ථයෙන්ම මහත්මයෙක්. අපි ආදරය කරන කාලේ එයාට තිබුණේ විනීත ගති පැවතුම්.

කොහොම හරි කාලයක් ගත වෙලා අපි විවාහ වුණා. ඒ වෙනකොට එයා පොත් කිහිපයක් ලියලා ජනප්‍රිය වෙලා හිටියේ. ඒ එක්කම එයා චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයටත් පිවිසිලා හිටියා. ඒ රොබින් තම්පෝ මහත්මයා සමඟ. කාලයක් යනකොට එයා සී. එස්. විභාගයත් කළා.

ඊට පස්සේ පොළොන්නරුව උප දිසාපති ලෙසත්, වැලිමඩ උප දිසාපති ලෙසත් වැඩ කළා. හේමා මැණිකේ මාතාව එසේ පවසමින් ඉන් ඔබ්බට කතා කරගත නොහැකිව දුකින් පිරුණු දෙනෙතින් මඳ වෙලාවක් නිහඬව සිටියාය. කඳපොළ කුමාරතුංගයන්ගේ මද්දුම දියණිය වූ දැනට වෛද්‍යවරියක ලෙස ඉමහත් සේවයක් ඉටු කරන චමින්දි ප්‍රසාදිනී කුමාරතුංග සිය පියාගේ ජීවන ගමනේ පිය සටහන් සමඟින් අප දැනුවත් කළේ දුක හද පතුලේ සඟවා ගනිමිනි.

‘තාත්තා පරිපාලන සේවයේ නියැලෙන ගමන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේත් නියලුණා. රොබින් තම්පෝ මහත්මයත් සමඟ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා ඊළඟට ‘දයාබර නිලූ’ කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එයාගේ හිතේ තිබුණ ආශාවක් ඉෂ්ට කර ගත්තා. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමේ ආශාව. ඊට පසුව බදුලු කෝච්චිය, සත්කුළු පව්ව, වාසිටි කෙල්ල, විජය-ගීතා, ටැක්සි ඩ්‍රැයිවර්, සමාවෙන්න මා රත්තරනේ ආදී චිත්‍රපට රැසක් තාත්තා අතින් නිර්මාණය වුණා.

එම චිත්‍රපට බොහෝමයක ගීතවල පද රචනය කළෙත් තාත්තා. ඒ වගේම තාත්තට හොඳට ගීත ගායනා කරන්නත් පුළුවන්. ඔහොම ඉන්න කොට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරි වුණා. සී. එස්. විභාගය කරලා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට එක් වුණා. විවිධ අමාත්‍යාංශවල ලේකම්, සහකාර ලේකම් ආදී පරිපාලන තනතුරුවල තාත්තා සේවය කළත් කිසිම දවසක එයාගේ කලා කටයුතු හා රාජකාරි කටයුතුවල පටලැවිල්ලක් ඇතිකර ගත්තේ නැහැ.

ඒ වගේම අම්මා ඒ වෙන කොට ගුරු සේවයේ ඉඳලා සහකාර විදුහල්පති හා විදුහල්පති යන වගකීම් සහිත භූමිකාවක හිටියේ. හැබැයි මේ දෙන්නම කිසිම දවසක කාර්යබහුල පුද්ගලයෝ වුණා කියලා දරුවන්ගේ වගකීම් පැහැර හැරියේ නැහැ. මම තමයි පවුලේ මද්දුමයා. මට වැඩිමහල් අක්කා එයා වින්ද්‍යා, මට බාල මල්ලි එයා රනිල් මාධව. අපි තුන් දෙනාට කිසිම දවසක ජීවිතයේ දුක් විඳින්න කිසිම ආකාරයකින් ඉඩ තියලා නැහැ. ඒ වගේම තාත්තයි අම්මයි දෙන්නම උපරිම ආදර්ශවත් චරිත විදියට තමයි ජීවත් වුණේ. ඒ වගේමයි මනුස්සකම අතින්.

තමන් අතින් සිදු වෙන්න තියෙන යුතුකම් වගේම වගකීම් හරියට ඉෂ්ට කරන්න මේ දෙන්නම කැපවීමෙන් කටයුතු කළා. ඒ වගේමයි තාත්තගේ කලා ජීවිතය. පුවත්පත් ලිපි, නවකතා, කෙටි කතා,ගීත නිබන්ධන වගේම චිත්‍ර ශිල්පයටත් යම් කිසි දක්ෂතාවක් තාත්තා තුළ තිබුණා. තිර රචනයටයි, චිත්‍රපට අධ්‍යක්ෂණයටයි ගියාම එයා එයාගේම ලෝකෙක ඉඳන් ඒ ඒ දේවල් හරියටම කරන්න උත්සාහ කරනවා. ඒ වගේමයි වෘත්තීය ජීවිතයත්.

කඳපොල කුමාරතුංගයන් ගැන දියණිය චමින්දි මතකාවර්ජනය කලේ හදවත තුළින් ගලා එන පිය සෙනෙහසක කඳුලට මෝදු වෙන්නට ඉඩ තබමිනි.

තාත්තා චිත්‍රපට විතරක් නොවෙයි හිම රාත්‍රිය, ධවල මන්දිරය, උඳුම්බරා, සත්රුවන් වරුසා, ගිම්මානයේ, රෑ මනමාලි ආදී ටෙලි නාට්‍යයත් නිර්මාණය කළා.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පසුව තාත්තාගේ සම්පූර්ණම කාලය යෙදවූයේ ඔහුගේ නිර්මාණ කටයුතු සඳහා. තව ටෙලි නිර්මාණ කිහිපයක් විකාශය වෙන්නත් තියෙනවා. 2007 වසරේදී විතර තාත්තාගේ ඔලුවේ ගෙඩියක් ආවා. ඒකෙන් තාත්තා ගොඩාක් පීඩා වින්ඳා. කොහොම හරි ඔපරේෂන් එකක් කරලා තාත්තව සනීප කර ගත්තා. ඊට පසුව ලොකු නිර්මාණවලට එයාට ඔලුව වෙහෙසන්න අමාරු වුණා. ඒත් සාහිත්‍ය නිර්මාණ සමඟමයි එයාගේ ජීවිතය ගෙවුණේ.

පසුගිය දවසක තාත්තා හදිසියේ අසනීප වුණා. උණ සමඟ සෙම ගතියත් වැඩි වුණා. දවස් ගණනක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගත්තා. අන්තිමට පසුගිය ජූනි විසි හය වැනිදා තාත්තාගේ නිර්මාණ වගේම පණ වගේ ආදරය කළ අපි හැමෝම තනි කරලා එයා නොඑන්නම ගියා.

තාත්තා ජීවිතේ අස්ථිර බව තේරුම් අරන් ජීවත් වුණේ. ඒ නිසා අපි හැමෝගෙමත් සිත් දහමට, සොබා දහමට ලං කරලා තියලයි තාත්තා ජීවිතෙන් සමු ගත්තේ. එදා කරපු නිර්මාණ අද එයා ජීවත්ව සිටිනවා කියන හැඟීම අපි තුළ ඇති කරවනවා.

ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන විශේෂයෙන්ම සරසවිය පුවත්පත තාත්තා ළඟින්ම ඇසුරු කළා. ඒ නිසා තාත්තගේ ජීවිතයෙන් සමු ගැනීමත් මේ විදියට සටහන් කිරීම ගැන පවුලේ අය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වූ හැම දෙනාටමත්, ඒ පිළිබඳ ලිපි පල කළ හැම දෙනාටමත් තාත්තා වෙනුවෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙනවා.

බිරිඳත් දියණියත් සරසවියට පැවසූහ.