වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති පැස්කුවල් පුදුමයට පත් කළ අපේ ගායක ගායිකාවෝ හත්දෙනා

කීර්ති පැස්කුවල් පුදුමයට පත් කළ අපේ ගායක ගායිකාවෝ හත්දෙනා

ඔහුගේ හඬ මිහිරියි. ආකර්ෂණීයයි. ප්‍රේමණීයයි. එදා මොදාතුර ඔහුගේ ගීත රැගෙන ආවේ ආදරයයි.

ඒ හඬට ආදරය නොකළ කෙනෙකු නොමැති තරම්ය. ඔහු කීර්ති පැස්කුවෙල්.

සංගීතයේ රිද්මය වෙනස්ම අයුරකින් රැගෙන ආ ඔහු අද කතා කරන්නේ සංගීත චාරිකාව තුළ ඔහුගේ සිත් ගත් ගායන ශිල්පීන් ශිල්පිනියන් හත් දෙනෙකු ගැනයි.

නෙවිල් ප්‍රනාන්දු

සිංහල සංගීත ක්ෂේත්‍රයට කණ්ඩායම් සංගීතයේ රසය මුසු කළ පුරෝගාමියා ලෙසින් මා දකින්නේ නෙවිල් ප්‍රනාන්දු නම් වූ ඔහුයි. සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ නිර්මාණවල තිබෙන්නා වූ ගුණාත්මක බව වගේම හරවත් බවට මා වඩාත් ප්‍රිය කළා.

හැටේ දශකයේ අග භාගයේ සිට හැත්තෑව දශකයේ මුල් භාගය දක්වා අපට ඔහුගේ නිර්මාණ සැබැවින් විඳින්නට අවස්ථාව ලැබුණා. ඒ තුළින් මා හැමදා දුටුවේ සංගීතය පිළිබඳ නෙවිල් ප්‍රනාන්දු නම් වූ කලාකරුවා සතු වූ අවබෝධයයි.

ඒ වගේම ඔහුගේ නිර්මාණ ශෛලිය තුළින් බටහිර සංගීතයේ තාක්ෂණික ක්‍රම මනා ලෙස හඳුන්වා දුන් බව කිව්වොත් මා නිවැරැදියි. පසුකාලීන පරම්පරා රැසක නවකයන්ට ඒ තුළින් උගත හැකි බොහෝ දේ තිබෙන බව මගේ හැඟීමයි. මමත් කුඩා කාලයේ පටන් නෙවිල් ප්‍රනාන්දු නම් වූ මේ විශේෂ සංගීත ශිල්පියාගේ ගී රස විඳි රසිකයෙක්. ඒ වගේමයි මම ඔහුව අධ්‍යයනය කළා. ඒ ඔහුගේ නිර්මාණ සතු වූ සුවිශේෂත්වය නිසාමයි.

ක්ලැරන්ස් විජේවර්ධන

ක්ලැරනස් විජේවර්ධන කියන්නේ අපේ රටේ කණ්ඩායම් සංගීතය වෙනස්ම මඟකට යොමු කළ සංගීතඥයෙක්. ඒ වගේමයි වාදකයෙක් ලෙසින් සංගීත දිවිය ආරම්භ කරමින් ඔහුටම ආවේණික වූ සංගීත ශෛලියක් ඉදිරිපත් කළ සුවිශේෂ ගායකයෙකු ලෙසත් මා ඔහු දකිනවා.

ඔහුගේ නිර්මාණ වගේම ඔහු අනෙක් අය ද වෙනුවෙන් කළ නිර්මාණ දෙස බලන විටදී කෙතරම් දක්ෂ මිහිරි තනු නිර්මාණය කළාදැයි අවිවාදයෙන් පවසන්න පුළුවන්.

ඔහුගේ සුවිශේෂත්වය වන්නේ සරල බව හා රසවත් භාවයයි. සමාජයේ සෑම තරාතිරමකම වයස් භේදයකින් තොරව ඔහුගේ ගීත එදා රස වින්ඳා වගේම අදටත් රස විඳිනවා. ඔහුගේ සංගීත ශෛලියේ විශේෂත්වය එයයි.

ඒ නිසාම ක්ලැරන්ස් විජේවර්ධන නම් වූ සොඳුරු සංගීතඥයා අද්විතීය සංගීතඥයකු වගේම අමරණීය කලාකරුවකු ලෙසින් මා දකිනවා.

මිල්ටන් මල්ලවාරච්චි

මිල්ටන් මල්ලවාරච්චි අපේ ගායන ක්ෂේත්‍රයට දායාද වුණු දක්ෂ ගායන ශිල්පියෙක්. මියුරු ප්‍රේමණීය හඬක් හිමි ගායකයෙක්. ඇත්තටම මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ පෙම්වතුන්ගේ ගායන ශිල්පියෙක්.

ඊට අමතරව ඔහු විශිෂ්ට තනු නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ ගීතවල බොහෝ තනු නිර්මාණය කළේ ද ඔහු විසින්ම වීමත් විශේෂයි. ඔහුගේ හඬ තුළ තිබූ ප්‍රේමණීය බව පෙම්වතුන් මුසපත් කළා කිව්වොත් මා නිවැරැදියි.

ඇත්තටම මිල්ටන් මල්ලවාරච්චි නම් වූ මෙම සුවිශේෂ ගායන ශිල්පියා ප්‍රේම කතාවල වැදගත් තැනක් ගත්තා. එවැනි වූ තත්ත්වයක් ලෙහෙසියෙන් කෙනෙකුට දිනා ගන්නට නොහැකි දෙයක්.

ඔහුගේ ගායනය තුළ වූ හඬ හදවත්වලට කතා කරන්නට සමත් වූ එකක්. මමත් සැමදා ගරු කරන ගායන ශිල්පීන් අතරේ ඔහු ද සිටිනා සේම ඔහුගේ ගීත රස විඳින රසිකයෙක්.

පණ්ඩිත් අමරදේව

ගීතයක පද මාලාව මෙන්ම ස්වර මාලාවත් එකට එක්කර ජීවය ලබා දෙන අපේ රටේ ගායන ශිල්පීන් අතරේ අග්‍ර ස්ථානයේ සිටින්නේ පණ්ඩිත් අමරදේවයන්.

ඔහුගේ ගීවල සුවිශේෂත්වය වන්නේ හඬ තුළින් ගීතයට ලබා දෙන ජීවයයි. ඒ වගේම අමරදේවයන්ගේ ගීත ඕනෑ තරම් රස විඳින්නට පුළුවන් ගීත. ඒවා කවදාවත් කාටවත් එපා වෙන්නේ නම් නැහැ. ඔහු විසින් ගීතයක පද මිමිණුවද ධ්‍යානයකට සම වැදුණා සේ අසන්නන් තමා වෙත රඳවා ගන්නට ඔහුගේ හඬ සුවිශේෂ වෙනවා.

මගේ ගායන දිවියට අමරදේවයන්ගෙන් දුටු විශේෂය වුණෙත් ඔහු සතු වූ හැඟීම්බර ගායනයයි. මමත් ගායනයේදී හැඟීම්බර ලෙසින් ඉදිරිපත් කරන්නයි උනන්දු වුණේ.

එය මම පණ්ඩිත් අමරදේවයන් තුළින් අධ්‍යයනය කළා. ඒ වගේමයි බොහෝ දේ ඉගෙන ගත්තා. අමරදේවයන් කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ මා බොහෝ සෙයින් ගරු කරන සංගීතඥයෙක්.

එච්. ආර්. ජෝතිපාල

එච්. ආර්. ජෝතිපාල එදත් අදත් එක ලෙස ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගායකයෙක්. ඒ වගේමයි වියෝවෙන් පසුවත් ජනප්‍රියත්වයේ ඉහළටම ගිය කලාකරුවෙක් වෙනවා නම් ඒ ඔහුමයි.

ඒ වගේමයි මමත් ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයන් අතරට එක්ව සිටීම මටත් විශාල සතුටක්. ඔහු වේදිකාවේ ගී ගයන විටදී බේස් ගිටාර් වාදන ශිල්පියකු ලෙසින් ඔහුගේ ගායනයට දායක වෙන්න ලැබීම ගැනත් මගේ හිතේ තියෙන්නේ සතුටක්.

මගේ මතකයේ හැටියට ජෝතිපාලයන්ගේ අවසාන ප්‍රසංගය වුණේ 87 වසරේ ගම්උදාව වේදිකාවයි. එදා ෆෝචූන් සංගීත කණ්ඩායම සමඟ මමත් ඒ සඳහා සහභාගි වුණා.

එදා මටත් වාදන ශිල්පියෙක් ලෙසින් ඔහුගේ පිටුපස සිටිමින් ඔහුගේ රසික රසිකාවන් සමඟ ගනුදෙනු කරන්න අවස්ථාව ලැබුණා. ඒ මතකයන් ජෝති සේම සැමදා අමරණීයයි. ගායන හැකියාව වගේම නිහතමානිකම ඔහු සදා අමරණීයත්වයට පත් කළා.

විශාරද සුජාතා අත්තනායක

අපේ සිංහල ගායන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැකියාවක් සනිටුහන් කළ ගායන ශිල්පිනියක ලෙසින් මා සුජාතා අත්තනායක නම් වූ ගායන ශිල්පිනිය දකිනවා.

ඇය ඉන්දියාවේ ඉපදුනා නම් මීටත් වඩා ලොවම දිනා ගන්නා ගායිකාවක බවට පත් වන්නට ඉඩ තිබුණු බව මගේ විශ්වාසයයි. ඇත්තටම ඇය අපේ රටට ආඩම්බරයක්. ඇයගේ ගායනයේ ගීතමය බව, ගැඹුර වගේම සංකීර්ණ බව ගායනයට උනන්දු වෙන නව පරපුරට ආදර්ශයක්.

අපේ ගායන ක්ෂේත්‍රයට බිහි වූ ඉතාමත් විරළ ගණයේ ගායන ශිල්පිනියක ලෙසින් මා ඇය දකිනවා.

අසීරු තනු පවා ඇය ගායනා කරන අන්දම මම බොහොම කැමැත්තෙන් රස විඳින රසිකයෙක්. ඇයගේ ගීත ගොන්නක් ඉදිරි පරම්පරාවන්ට විශාල දායාදයක්.

විශාරද නන්දා මාලිනී

නන්දා මාලිනිය මා දකින්නේ හදවතට කතා කළ හැකි පණිවුුඩ ගෙන යා හැකි වූ හඬ පෞරුෂයකින් හෙබි සුවිශේෂ ගායන ශිල්පිනියක ලෙසයි. ඇය විසින් ගැයෙන ආදර ගීත, විරහ ගීත, දේශාභිමානී ගීත ආදි වූ මේ හැම ගීතයක්ම ජනතාවට දැනෙන ආකාරයෙන් ගැයෙන ගීත ලෙස මා දකිනවා. ඇත්තටම එය මට දැනෙනවා.

අසූව දශකය සුවිශේෂ වෙන්නේ ඇයගේ සත්‍යයේ ගීතය ප්‍රසංග මාලාවේ 1982 වසරේ සිට 1985 වසර දක්වා මට එහි ගිටාර් වාදනය වගේම ඇය සමඟ අත්වැල් ගායනයට අවස්ථා ලැබීමයි.

එහිදී අසන්නන් එක අරමුණක තබා ඇය සිය හඬින් ඔවුන්ගේ අවධානය දිනා ගත් අන්දම විශිෂ්ටයි. ඒ අවස්ථාවල අල්පෙනෙත්තක් වැටෙන හඬ පවා ඇසෙන්නට ඉඩ තිබුණා.

ඇයගේ ගීත සිය වාරයක් ශ්‍රවණය කළත් ඒ හැම වාරයක්ම නැවුම් ලෙසයි මට දැනෙන්නේ. ඒ ඇය සතු වූ සුවිශේෂත්වයයි. ජාතියේ පිනට පහළ වූ නන්දා මාලිනිය නම් වූ ඇයගෙන් මතු පරපුරට උරුම වූ සංගීත දායාදයට අප ණයගැතියි.

අද පුදුම හතෙන් මා කතා කළ මේ සුවිශේෂ ගායන ශිල්පීන් ශිල්පිනියන් සත් දෙනා මා වඩාත් ගරු කරන ගායන ක්ෂේත්‍රයේ පුද්ගලයන් අතරට එක් වෙනවා. මටත් ගායන ශිල්පියකු ලෙසින් ඔවුන්ගේ අඩි පාරේ යන්න ලැබීම වගේම ඔවුන්ගෙන් යමක් මගේ ගායන දිවියට ඉගෙන ගන්නට ලැබීමත් මා ලද භාග්‍යයක් ලෙසින් සලකනවා.