වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ 4D තාක්ෂණය ලොවට ගෙනෙන ට්‍රාන්ස්ෆෝමර්ස්

සිනමාවේ 4D තාක්ෂණය ලොවට ගෙනෙන ට්‍රාන්ස්ෆෝමර්ස්

සෑම් විට්රිකි හට පාසැල් වියේදීම පියාගෙන් ලැබෙන වටිනා ත්‍යාගයක් වෙන්නේ සුපිරි මෝටර් රථයකි. එය කාර් එකක් වුව ද එයටත් වඩා නිර්මාණශීලී වූ රොබෝ කෙනෙකු බවට පත්වීමට හැකියාවක් ඇති බව පසුව සෑම් දැනගනියි. බබ්ල්බී නම් වූ මේ රොබෝ පිටසක්වලින් පැමිණි රොබෝවෙකි.

මේ රොබෝවට අමතරව තවත් එවැනිම වූ රොබෝවරුන් විශාල පිරිසක් පෘථිවිය වෙත පැමිණ සිටින්නේ ඕල්ස්ට්‍රාක් නම් වූ ඔවුන්ගේ ආත්මයන් ඇතුළත් වූ උපකරණය අයිති කර ගැනීමටය. මෙහිදී යහපත් වූ රොබෝවරුන් සහ නපුරු වූ ක්‍රියාවන්ට යොමු වූ රොබෝවරුන් අතර අරගලයක් සිදු වන විටදී සෑම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද මේ අතරට මැදි වෙන්න සිදු වේ.

ඉන් අනතුරුව සෑම් උසස් අධ්‍යාපනය හදාරණ විටදී ඩිසෙස්ටිකොන්ස් නම් වූ දරුණු රොබෝ යළි පැමිණෙන්නේ ඊජිප්තු පිරමිඩයක් තුළ සඟවා තිබෙන පිටසක්වල ජීවීන් හට අයිති වූ යමක් රැගෙන යාමටය. ඔවුන් ඒ වෙනුවෙන් සෑම්ගේ බුද්ධිය අයුතු අන්දමින් යොදා ගැනීමට තැත් දරයි. පිටසක්වල ජීවින්ට අයත් වූ එම උපකරණයෙන් සූර්යයා පවා විනාශ කළ හැකි බව ඔවුන් වටහා ගනියි. මේ නිසා සෑම් ගේ පවුලේ සාමාජිකයන් යළිත් භීතියට පත් වේ.

මෙම සිදුවීම්වලින් නොනැවතෙන දරුණු රොබෝවන්ගේ මීළඟ අරමුණ බවට පත් වෙන්නේ සඳමත දී සැඟවුණු රොබොවරුන්ට අයත් අභ්‍යවකාශ යානාවක් සොයා ගැනීමයි. එහිදී ද ඇතිවන රොබෝවරුන්ගේ ගැටුමට සෑම් හට මැදිවන්නට සිදු වේ. මේ සෑම අවස්ථාවකදීම තම මෝටර් රථය වූ බබ්ල්බී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේය.

මෙම ත්‍රාසජනක සිදුවීම් මාලාව ගෙන එන්නේ මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ Transformers (2007) Transformers : Revenge of the Fallen Transformers : Dark of the Moon (2011) යන චිත්‍රපට ත්‍රිත්වයෙන් එය රූ ගන්වා ජනතාව හමුවට ඉදිරිපත් කළේය. Transformers : Dark of the Moon  තිරගත කර වසර තුනකට පසු මේ රොබෝවන් යළිත් මිනිසුන් අතරට පැමිණේ. එහෙත් මේ වන විට වාහන නිර්මාණ ශිල්පියෙක් තම දියණිය සමඟින් රොබෝවන් විනාශ කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටියි. ඒ සමඟින් මෙහි ඉදිරිය කෙලෙස සැකසේවිද?

ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වන Transformers : Age of Extinction ගෙන එන්නේ එම කතා පුවතයි. මේ වන විට එය ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත වෙමින් පවතී. පසුගිය ජූනි 27 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ ඉහළින්ම රැඳී සිටින්නේය.

මාර්කි වෝබර්ග්, නිකොලා පෙල්ට්ස්, ජැක් රේනොර්, කෙල්සෙ ග්‍රැමර්, ටයිටස් වෙලිවර්, සොෆියා මයිල්ස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙති. Transformers : Age of Extinction මිනිත්තු 165 ක ධාවන කාලයකින් යුතු වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ 4 D තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවල ආරම්භය සනිටුහන් කළේ ද Transformers 4  චිත්‍රපටයයි. පසුගිය ජූනි 19 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී එය සිදු කෙරිණි. තවද මෙම චිත්‍රපටය හරහා චීනයේ නිෂ්පාදිත සුපිරි ක්‍රීඩා වාහන එකතුවක් ද ලොව පුරා ප්‍රචාරයට සූදානමින් සිටියි. Trumpchi E-Jet නම් වූ සුපිරි මෝටර් රථය මේ වන විට ඉහළ ආකර්ශනයක් දිනාගෙන ඇති බවත් වාර්තා වේ. මිට අමතරව චීනයේ නිෂ්පාදිත රූපවාහිනි, පරිගණක අදී බොහොමයක් දේවල ප්‍රචාරණය මේ දිනවල  Transformers 4 හරහා සිදු කෙරෙන බව නොරහසක්.