වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කිරි හොද්දක් හදන්න පුළුවන්ද?

කිරි හොද්දක් හදන්න පුළුවන්ද?

ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන්නේ කුසලතා සපිරුණු රංගන ශිල්පිනියක්. ‘නිරිසත්වයෝ’, ‘අපි අපි වගේ’, ‘සැනකෙළියයි මායා’, ‘ආවර්ජනා’ ආදී ටෙලි නාට්‍යවල රඟපාමින් ඔබ හමුවට පැමිණි ඈ ජනප්‍රිය නළු ගාමිණී හෙට්ටිආරච්චි හා සුභාෂිනි හෙට්ටිආරච්චිගේ දියණියයි. ඇගේ විවාහ මංගල්‍යය පැවැත් වෙන්නේ අද (ජුලි 10 වැනිදා ) කිංස්බරි හෝටලයේ දී වග අප කියන්නේ බොහොම සතුටෙන්. මේ ‘සරසවිය’ ඈ හා කළ කතාබහක්.

* ඔබගේ හිත ගත්ත ඔහු කවුද?

වෙනුර සේනානාත් වල්පිට.

* කොහොමද ඔබට වෙනුරව මුණ ගැසෙන්නේ?

ඒක යෝජනාවක්.

* ආදරයක් නෙවෙයි එහෙනම්?

ඇත්තටම ඒක අම්මා ගෙනාව යෝජනාවක්. අම්මාගේ පාසලේ යාළුවෙක් තමයි මේ යෝජනාව ගෙනාවේ.

* කාලයක පටන් ආදරවන්තයන් සෙව්වා?

ඔව්. කිහිප දෙනෙක්ගෙන්ම යෝජනා ආවා. ඒත් ඒ එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැහැ.

* වෙනුරව හිතට ඇල්ලුවා?

මුලින්ම වෙනුරව දැක්කේ එක්තරා භෝජන සංග්‍රයකදී. ඒ රාත්‍රී උත්සවයට ඔහුගේ පවුලේ අයත් සමඟ ඔහු හිටියා. එහෙදි තමයි හැමෝම හඳුනා ගත්තේ. ඒ වගේම වෙනුරවත්.

* ඔවුන් එතනට එන වග ඔබ දැනගෙනයි හිටියේ?

ඔව්, කලින් දැනගෙන සිටියා. ඔවුන් එන වග කියලා තිබුණා.

* ඊට පස්සේ?

එතනදි මම වෙනුරත් සමඟ වගේම ගෙදර අයත් සමඟ කතා කළා. ඔවුන් හොඳ පවුලක් කියලා හිතුණා. අපේ පවුලේ අය බලපු කාරණා සියල්ලම ඒ අයගේ පවුලේ තිබුණා. ඉතිං මම කැමැති වුණා.

* මොනවද ඒ බලපු කාරණා?

කලාවට කැමැති ද කියන එක වගේම ඒවා රස විඳින්න කැමැත්තක් තියෙන්න ඕනෑ. මම ඉදිරියට ඉගෙන ගන්න නිසා ඒවාට කැමැත්තක් තියෙන්න ඕනෑ. බෞද්ධ වෙන්නත් ඕනෑ. ඒ වගේ කරුණු රාශියක් ඔවුන් සම්බන්ධයෙන් නිවැරැදි වුණා.

* ඒ සියල්ල නිවැරැදි වුණා?

වෙනුරගේ තාත්තා නීතිඥවරයෙක්. අම්මා කලින් වැඩ කරලා තිබුණේ රජයේ දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂවරියක් විදියට. දැන් විශ්‍රාමිකයි. ඒ දෙන්නම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තමයි පාස් අවුට් වෙලා තිබුණේ. කලාවට හිතයි. ඒ සියල්ලටම වඩා වෙනුර කියන්නේ පොළවේ බය ගහලා ජීවත් වෙන කෙනෙක් කියලා මට දැනුණා. නිහතමානියි. ඒ කාරණා සියල්ලටම මම බොහොම කැමැතියි.

* ඔවුන් ඔබට කැමැති වුණාද?

අපි සරච්චන්ද්‍රයන්ගේ ගෲප් එකේ කියලා දැනගත්තට පස්සේ ඒ අය ගොඩක් අපට කැමැති වුණා.

* ඔහු කුමන ප්‍රදේශයේද?

කඩුවෙල ප්‍රදේශයේ. ඔහුයි මල්ලියි විතරයි පවුලේ ඉන්නේ. මල්ලි විවාහ වෙලා ඇමෙරිකාවෙයි ඉන්නේ. වෙනුර විදේශ සමාගමක කළමනාකාරවරයෙක් විදියට රැකියාව කරනවා.

* ඊළඟට මොකද වුණේ?

වෙනුරගේ ගෙදර අය අපේ ගෙදර ආවා. අපේ ගෙදර අයත් එහේ ගියා. අපි දෙන්නත් කැමැති වුණා.

* එදා මුණ ගැසුණාට පස්සේ නැවතත් ඔබ දෙපළ මුණ ගැසුණද?

ඔව්. අපි දෙන්නා එදා හරියට කතා කළෙත් නැති නිසා මාලඹේ තියෙන පැබ් එකේදී හමුවුණා.

* මොනවද එදා වෙනුර ඇහුවේ?

එදා එයා මගෙන් අහන්න ප්‍රශ්න පත්‍රයක් සකස් කරගෙන ඇවිත් තිබුණා. (ඒක මම දන්නේ පස්සේ). ඒ ප්‍රශ්න පත්‍රයට අනුව එදා මගෙන් එයා විවිධ ප්‍රශ්න ඇහුවා. ඒත් මම වැඩිය කතා කළේ නම් නැහැ. අහන ප්‍රශ්නවලට විතරක් පිළිතුරු බැන්දා. එදා ඒ දුන්න පිළිතුරුවලින් තමයි වෙනුර ඔහුට මාව ගැළපෙනවා කියලා තීරණය කරලා තිබුණේ.

* ඔහු ඇහුව එක ප්‍රශ්නයක්වත් මතකද?

එහෙම කතා කළ දේවල් නම් මට මතක නැහැ. ආ . . . ඔහු මගෙන් ඇහුවා කිරි හොද්දක් හදන්න පුළුවන් ද කියලා. ඔහු කැමැතිම කෑමත් ඒක නිසා තමයි ඒ ගැන මගෙන් අහලා තිබුණේ.

* කේන්ද්‍ර එහෙම ගැලපුණාද?

අපේ තාත්තා නම් ඔය කේන්ද්‍ර ගණන් ගන්නේ නැහැ. නමුත් අම්මා නම් ඒවා ගැන ඉන්නේ දැඩි විශ්වාසයකින්. මගේ නම් ඒ ගැන ඒ තරමටම දැඩි විශ්වාසයක් නැහැ. නමුත් කේන්ද්‍රය සියයට අනූවක්ම ගැළපිලා තිබුණා.

* ඔබ ඔහුගේ කැමැති ගුණාංග මොනවාද?

ඔහුට මම වඩාත් කැමැති වුණේ මගේ අයියා වගේ නිසා. නිතරම මම හෙව්වේ මගේ අයියා වගේ කෙනෙක්. ඔහු වගේම වෙනුරත් බොහොම සුහදශීලියි. විහිළුයි.

* ඔබ රංගන ශිල්පිනියක් කියලා ඔහු දැනගෙන හිටියද?

මුලින්ම නම් ඔහු ඒ වග දන්නේ නැහැ. ඔහුට කියලා තිබුණෙ ඔහුගේම මල්ලී. ඊට පස්සේ නම් මගේ මුල්ම නාට්‍ය ඔහු නරඹලා තිබුණා.

* ඉදිරියේදිත් ඔබ රඟපාන එකට ඔහු කැමැතිද?

ඒ ගැන එයා කැමැතියි. ඒ රඟපෑම් ගැන අදහස් එහෙමත් ඔහු මට කිව්වා. ඒ වගේම මාව විවාහ කර ගන්න ඉස්සර ඔහුගේ විදේශ ගතවෙන අදහසක් තිබුණා. ඒත් මම ඒකට කැමැති නැති නිසා ඔහු ඒ අදහස අතහැරියා.

* විදේශගත වීම ගැන ඔහු නැවතත් විමසුවහොත්?

අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමට මගෙත් පුංචි අදහසක් තිබෙනවා. නමුත් විදේශයක පදිංචියට යන්න නම් මම කැමැති නැහැ.

* වෙනුරගේ අම්මා එහෙම කොහොමද?

අපි බැන්ඳට පස්සේ වෙනුරගේ ගෙදර තමයි පදිංචි වෙන්නේ. ඉතිං වෙනුරගේ අම්මා මට කතා කරන්නේ දෝණි කියලා. මොකද එයාලට ගැහැනු දරුවෝ නැති නිසා මට බොහොම ආදරෙයි. මගේ උපන් දිනයට පසුගිය දවසක ඈ කිරි දානයක් පවා දුන්නා.

* කවුද ඔබව සුන්දර මනාලියක් ලෙස හැඩ ගන්වන්නේ?

‘සැලෝන් රුචිරා’ එකේ රුචිරා අක්කා අතින් තමයි මා හැඩවැඩ වුණේ. අද ඇන්ඳ ඔසරියත් දෙවැනි දවසේ අඳින ඉන්දියන් සාරියත් අන්දලා හැඩවැඩ කරන්නේ ඈ තමයි. ස්මාට් ෆ්ලෝරාගේ මල් සැරසිල්ලත්, ඩිජිටල් අයි කැමරාවත් මඟින් අපේ අද දවස සුන්දර වේවි.

* මංගල උළෙලේ තීම් එක මොකක්ද?

පනහ හැටේ දශකයේ ආකාරයටයි මංගල උළෙලේ සියල්ල නිර්මාණය වෙන්නේ.

* ඔබගේ යෙහෙළියෝ වගේම අනෙක් අය කවුරුද?

මගේ යෙහෙළියන් විදියට ඩිනක්ෂි ප්‍රියසාද් වගේම මගේ නෑදෑ කෙනෙක් වුණු ලක්ෂ්මිත්, වෙනුරගේ යාළුවන් විදියට දෙරණ මාධවත්, නළු එරංග ජීවත්තවත්, මල් කුමර කුමරියන් විදියට ජගත් චමිල අයියාගේ පුතත්. උදාරි වර්ණකුලසූරියගේ දුවත්, රැචිරාගේ දුවත් අපි තෝරා ගත්තා.

* දෙවැනි දවස මංගල්‍යය පැවැත් වෙන්නේ?

ඒ මේ 18 වැනිදා ගලධාරි හෝටලයේ.

* නිවාඩුව ගත කරන්නේ?

මධුසමයට අපි සිංගප්පූරුවට යන්නයි හිතාගෙන ඉන්නේ.

ප්‍රතිභා - වෙනුර ඔබ දෙපළට ‘සරසවිය’ පුවත්පතෙන් සුභ මංගල්‍යයකට සුබ පැතුම්!