වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මතක සුළඟ රූ ගන්වද්දී ගීතා කාන්තිගේ හම ගියා

මතක සුළඟ රූ ගන්වද්දී ගීතා කාන්තිගේ හම ගියා

අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ් බණ්ඩාර ඕස්ට්‍රේලියාවේ අත්දැකීම් කියයි

ආචාර්ය මහේෂ් බණ්ඩාර?

ඔව්. ඒ මං තමයි.

ඔබ නේද මේ දිනවල ජාතික නාලිකාවේ විකාශය වෙන මතක සුළඟ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා?

ඒකටත් මට කියන්න වෙන්නේ ඔව් කියන පිළිතුර.

මතක සුළඟ හි ගුවන් කාලය

සෙනසුරාදා සහ ඉරිදා උදෑසන

එකොළහයි තිහ.

හරියටම හරි.

ටෙලි නාට්‍යකට අලුත් ගුවන් කාලයක්?

මතක සුළඟ සමඟිනුයි ඒ අලුත් ගුවන් කාලය ඇරැඹුණේ.

බය හිතුණේ නැද්ද?

ටිකක් බය හිතුණා. මේ ටයිම් එක ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට නුහුරුයි. ඒක තමයි බයට හේතුව.

කොහොමද ප්‍රතිචාර?

මං හිතුවට වඩා හොඳයි. මගේ හිතට සැනසීමක් දැනුණා මේ වෙලාවෙත් ටෙලි නාට්‍ය නරඹන අය ඉන්නවා කියලා දැනිලා.

දැනට කොටස් කීයක් විකාශය වුණාද?

දොළහයි. තව එකොළහක් යන්න තියෙනවා.

ඒ කියන්නේ මතක සුළඟ කොටස් විසි දෙකක ටෙලි නාට්‍යයක්, මෙගා එකක් නෙවෙයි?

මෙගා කරන්න මං ආස නැහැ. එය එක කොටසක් හරියට එඩිට් කළොත් විනාඩි පහක් විතර ඉතුරු වන්නේ. ඒ ටික තමයි විනාඩි විස්සකට විතර ඇදලා තියන්නෙ. මට ඒ වගේ බොරුවක් කරන්න බැහැ ප්‍රේක්ෂකයින්ට.

නමුත් වැඩිපුර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින්නේ මෙගාවලට?

මුලදි එහෙම ඉන්නවා. පසුකාලීනව හැලෙනවා. සමස්ත නාට්‍යයම එපා වෙනවා.

බොහෝ දෙනෙක් රූපවාහිනිය වටා රොක් වන්නේ රාත්‍රි කාලයේ. මතක සුළඟ එවන් වෙලාවක විකාශය වුණා නම් තවත් ජනප්‍රිය වෙන්න තිබුණා?

ඇත්ත. රූපවාහිනියේ නාට්‍ය පෝලිම හරිම දිගයි. මං මතක සුළඟ කරලා ගොඩක් කල්. මට තවත් මේක ගෙදර තියාගෙන ඉන්න බැහැ. නාට්‍ය පෝලිම පැනලා යන්නත් හිත දෙන්නේ නැහැ. එහෙව් තත්ත්වයක් මත මේ වගේ ගුවන් කාලයක් මට ලැබුණම මම විකාශය නොකර ඉන්නේ කොහොමද.

මතක සුළඟ ඔබේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය?

ඔව්.

කවුද මේ මහේෂ් බණ්ඩාර කියන්නේ?

මං කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයෙක් නෙවෙයි.

එහෙනම්?

මං ජ්‍යෙෂ්ඨ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක්.

කොහෙද?

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ.

එතකොට කලාවට ඇති නෑදෑකම?

ලංකාවේදී මම සිනමාකරණය පිළිබඳ හැදෑරුවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ නිතර කලාව අධ්‍යයනක නියැලුණා. කලාවට මම හරි ආදරෙයි. ලංකාවේ කලාකරුවන් මෙහෙ යම් යම් කලා වැඩ කටයුතුවලට එනකොට බොහෝ විට අපේ ගෙදර තමයි නතර වෙන්නේ.

ටෙලි නාට්‍යයක් කරන්න හිතුණේ ඇයි?

සල්ලි තිබුණට ටෙලි නාට්‍යයක් කරන්න බැහැ. කලින් කිව්වා වගේ බොහෝ කාලයක් අධ්‍යයනය කළා. නළු නිළියන් යාළුවො වෙද්දී කලාවට ඇති මගේ උනන්දුව හින්දා ඔවුන් නිතරම මට යෝජනා කළා ටෙලි නාට්‍යයක් කරමු කියලා. ඉතිං මං එහෙම හිතලා හොඳ කාලයේ නාට්‍යයක් කළා.

ඔබමද මෙහි නළු නිළියන් තෝරා ගත්තේ?

මතක සුළඟ කතාව මගේ. කතාව ලියද්දීම මං නළු නිළියන් තෝරා ගත්තා. එක් කෙනෙකු දෙන්නෙකු හැර හැමෝම මං හිතපු අය නාට්‍යයහි චරිත මැව්වා.

අභියෝග ආවේ නැද්ද මතක සුළඟ කරද්දී?

කරදර බාධක නම් අනන්තයි. වැඩි වශයෙන්ම ප්‍රශ්න ආවේ ඕස්ට්‍රේලියාවේදී. මොකද ප්‍රඩක්ෂන් ටීම් එකත් සීමා කරන්න වුණා ලංකාවෙන් ගෙනියන. ඒක නිසා අප හැමෝම තමන්ගේ කාර්යයට අමතරව තුන් හතර දෙනෙකුගේ වැඩ කළා. කැමරා ආම්පන්න ඉස්සුවා, ලයිට් ඇද්දා. ගීතා කාන්ති, කුසුම් පෙරේරා වගේ අය තමන්ගේ රූගත කිරීම් නිම වුණා කියලා පැත්තකට වෙලා නිකම් ඉන්නෙ නැතුව තේ හැදුවා. ඉව්වා. හරිම අමාරුවෙන් ඒ අභියෝග ජයගෙන මතක සුළඟ නිර්මාණය කළා.

රූගත කිරීම් අතරතුර ගීතාගේ හම ගියා කියලා ආරංචියි?

ඒක වුණේ මෙහෙමයි. රූගත කරද්දී අපි පාවිච්චි කළේ ඕස්ට්‍රේිලියාවේ නිෂ්පාදනනේ. එහි සබන් කැටයක් ඇඟේ ගාලයි ගීතට එහෙම වුණේ. අන්තිමේ ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න සිද්ධ වුණා. මට ඇයගේ සමීප රූප කැමරාවට ගන්න බැහැ, මුහුණේ හම ගිය තැන් හොඳට පෙනෙවා. රූගත කිරීම කල් දැම්මා.

මතක සුළඟ අද පවතින තත්ත්වයට පත් කරන්න

නිෂ්පාදනයෙන් දායක වූ පිරිස මතක් කළොත්?

ඉන්ද්‍රණි පෙරේරා, සමන්ප්‍රිය සුමනසේකර, ලලිත් අමරවීර, නාලිකා පද්මසේන, ජයසිරි ලියනපතිරණ, මහී මහානාම, කරු කටුවන්දෙනිය, වෛද්‍ය දයා අමරසේකර, නිශාන්ති ජයකොඩි , රාණි බණ්ඩාර යන අය තමයි නිෂ්පදනයෙන් එකතු වුණේ.

ඔබේ ඊළඟ නිර්මාණ කාර්යය?

අනිවාර්යයෙන්ම චිත්‍රපටයක් වේවි.

ටෙලි නාට්‍ය කරන්න එපා වෙලා වගෙයි?

ටෙලි නාට්‍ය නම් එපා වෙන්නේ නැහැ. නමුත් කෙරුවට පෙන්න ගන්න බැහැනේ.

ඉතින් මෙරට නොපෙන්වා ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවකට දෙන්නකෝ?

ඊළඟට මතක සුළඟ ඕස්ට්‍රේලියාවේ පෙන්වනවා. දැනටමත් ඒ ගැන කතා කරගෙන ඉවරයි.

චිත්‍රපටයත් ඕස්ට්‍රේලියාවේ රූගත කරනවාද?

මම එහෙම තමයි හිතාගෙන ඉන්නේ. බොහෝ විට එහි සම්පූර්ණ රූගත කිරීම් මෙහෙ සිද්ධ වේවි.

ලොකු වියදමක්?

ඒ වුණාට දර්ශන තල ලස්සනයිනේ. මට ඕස්ට්‍රේලියාව කියන්නේ හොඳට පුරුදු තැනක්. මට නිදහසේ මෙහෙදි වැඩ කරගෙන යන්න හැකි වේවි.

ලංකාවට එන්න හිතක් නැද්ද?

දැනට නැහැ. බලමු ඉදිරියේදී.

ආචාර්ය මහේෂ්ගේ ගම කොහෙද? පවුලේ විස්තර? ඉගෙන ගත්තු පාසල එහෙම?

මං පන්නල කොටුවැල්ලේ. ඉගෙන ගත්තේ තර්ස්ටන් විද්‍යාලයෙන්. මගේ බිරිය රාණි බණ්ඩාර. පුතා දුෂාන් වෛද්‍යවරයෙක්, දුව මෙලීසා තවම ඉගෙන ගන්නවා. ඒ දෙන්නා ඉපදුණේ නවසීලන්තයේ.

ඔබ අද වන විට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මොකද හිතෙන්නේ?

මං ඉන්න ක්ෂේත්‍රයත් එක්ක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වෙන්න හිතෙනවා කියන්නෙම අමුතු අදහසක්. කොහොම හරි මං එහෙම වුණා. හිතට වෙනමම සැහැල්ලුවක් දැනෙනවා. කලාවේ නියැලෙද්දී මගේ ටෙලි නාට්‍යයේ රසික රසිකාවෝ එය නරඹලා මාව ඉදිරියට යවන්න මඟ හදලා දුන්නා. ආයේ නිර්මාණකරණයේ යෙදෙන්නේ මං ඒ හින්දයි.