වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood Music in Media Awards නිර්දේශිත සෙනානි දෘපිකා කුළුඳුල් ගී එකතුව Infinity

Hollywood Music in Media Awards නිර්දේශිත සෙනානි දෘපිකා කුළුඳුල් ගී එකතුව Infinity

ජීවරාණි කුරුකුලසූරියගේ දෙවැනි දියණිය

‘ගම්මානේ කළ එළි වූවා
මාලා මනමාලිය වූදා . . .’

50 දශකයේදී සංගීතඥ තිලකසිරි ප්‍රනාන්දු සමඟින් ලාංකේය සංගීත ක්ෂේත්‍රය ගීතවත් කළ ඒ හඬ සුමිහිරියි. සංගීත ලොව සේම රිදී තිරය ද ඇය හැඩ කළේ බොහෝම අපූරුවටයි. ඒත් අද අපි කතා කරන්නේ ඇය ගැන නම් නොවෙයි. ඇය කලාවට දායාද කළ තවත් සුවිශේෂි අයෙකු ගැනයි. ඇය ජීවරාණි කුරුකුලසූරිය. අද අපේ කථා නායිකාව ඇයගේ ආදරණීය කණිටු දියණිය සෙනානි දෘපිකා විජේසේන.

ඔස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරියක ලෙසින් ලොවට සේවයක් කරන ඇය ද අද සංගීත ක්ෂේත්‍රයේ නව පෙරළියක් කරමින් සිටින්නීය. ඇය සිය මිහිරි ස්වරයෙන් අසන්නන්ගේ සිත් සතන් ද සුවපත් කරන්නීය. ජාත්‍යන්තරයේ අවධානය තමා වෙත නතු කර ගනිමින් සෙනානි පසුගිය වසරේදී හොලිවුඩ් මියුසික් ඉන් මීඩියා අවෝඩ් හිදී තම ගීතයක් වෙනුවෙන් නිර්දේශිත නාම අතරට එක් වෙමින් අමෙරිකා එක්සත් ජනපදයේ නැඟී එන හොඳම ගායක ගායිකාවන් සිය දෙනා අතරට ද ඇතුළත් වීමට සදුසුකම් ලැබුවාය. අද ඇය සුවිශේෂ කටයුත්තක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටින්නීය. ඒ ඇයගේ කුළුඳුල් ගීත එකතුව ‘Infinity’ නමින් එළි දැක්වීමටයි. මෙම ගීතවත් අවස්ථාව 11 වැනිදා එනම් හෙට කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කරන්නට නියමිතව ඇත. සංගීත ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමෙන් සැරිසරන ඒ රුවැත්තිය සමඟ මොහොතක් කතා කරන්න කලාවට ලබැඳි සරසවිය අමතක කළේ නැහැ.

වෙද්‍යවරියක වන ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසි ආකාරය ගැන සඳහන් කරමින් අපේ කතාබහ ආරම්භ කරමු?

මම සංගීතය ගැන උනන්දු වුණේ අවුරුදු පහේ විතර කාලයේදීයි. සංගීතය විතරක් නෙවෙයි මම නර්තනයත් හදාරලා තියෙනවා. අවුරුදු දහයේදී පියානෝ වාදය ප්‍රගුණ කළා. රංගන ශිල්පිනියක්, ගායිකාවක් ලෙසින් මගේ අම්මා සතු වූ කලා හැකියාවන් මට උරුම වෙලා ඇති. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

සොඳුරු රූ සපුවක් හිමි ඔබ, ඔබේ අම්මා වගේ රංගනයට උනන්දුවක් නැතිද?

සංගීතයට මම ගොඩක් කැමැතියි. රංගනය ගැන විශේෂම උනන්දුවක් දැක්වුවේ නැහැ. ඒ වුණාට මගේ ගීතවල රූප රචනා සඳහා මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. කොහොම වුණත් මට මූලික වෙන්නේ සංගීතය තමයි.

මේ විදියට සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වෛද්‍යවරියක වූ ඔබ කොහොමද කාලය හොයා ගත්තේ?

මුල් කාලයේදී නම් පූර්ණාකලීනව වෛද්‍ය වෘත්තියේ නිරත වෙලා හිටියා. දැන් නම් සංගීතය වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනෑ නිසා වෛද්‍ය වෘත්තියේ කාලය සීමා කරලා තියෙන්නේ.

වෛද්‍ය වෘත්තිය වගේ දෙයක් සීමා කිරීම ගැන දෙමව්පියන් දැක්වූයේ මොන වගේ අදහසක්ද?

ඔස්ට්‍රේලියාවේදී එච් එස් සී විභාගය ඉහළින්ම සමත් වෙන්න මට පුළුවන් වුණා. ඒ නිසා මට ඕනෑම විශ්ව විද්‍යාලයක ඕනෑම විෂයක් හදාරන්න අවස්ථාව උදා වුණා. මගේ තාත්තා වෛද්‍යවරයෙක් නිසා මම වෛද්‍ය විද්‍යාව තෝරා ගත්තා. වෛද්‍ය ක්ෂේත්‍රයෙන් සාර්ථක වුණත් සංගීතයට ලැදියාව පුංචි කාලයේ පටන්ම තිබුණා. අම්මා කලාකාරිණියක් වගේම තාත්තාත් සංගීතයට බොහොම ලැදි කෙනෙක්. ඒ නිසා අම්මයි තාත්තාගෙයි ආශිර්වාදයයි නිසි මඟ පෙන්වීමයි ලැබුණා. ඒ ගැන තියෙන්නේ විශාල සතුටක්.

ජාත්‍යන්තර සංගීත වේදිකාවේදී ලද අත්දැකීම් ගැනත් සරසවිය පාඨකයන්ට කියමු?

විදෙස් රටවල් කිහිපයකම සංගීත අත්දැකීම් ලබා ගන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට අමතරව අමෙරිකා එක්සත් ජනපදය සහ එංගලන්තයේදී මට ප්‍රසංග සඳහා දායක වෙන්න අවස්ථාව උදා වුණා. අමෙරිකාවේදී මගේ ගීතයක් හොලිවුඩ් මියුසික් මීඩියා අවෝඩ් සඳහා පසුගිය වසරේදී නිර්දේශිත නාම අතරට එක් වුණා. ඒ වගේම අමෙරිකාවේ නැඟී එන හොඳම ගායක ගායිකාවන් සිය දෙනා අතරට එන්න ලැබීමත් වාසනාවක්. ඒ වගේමයි මේ සියලු දේ සමඟින් ජාත්‍යන්තරයේ නමක් දිනූ සංගීත ශිල්පීන් සමඟ කටයුතු කරන්න ලැබීමත් ලොකු අත්දැකීමක් වුණා. අමෙරිකාවේ සුප්‍රසිද්ධ ගිටාර් වාදන ශිල්පියෙකු වූ එරික් රස්මුසෙන් මගේ ගීතවලටත් ගොඩක් උදව් කළා. ඒ වගේමයි ග්‍රැමි සම්මානලාභී හුසේන් ජිෆ්රි (ඔහුත් ලාංකිකයෙක්) වගේම ජිම් කර්බි, රෝයි රොඩ්සන් වගේ තවත් ජනප්‍රිය සංගීත ශිල්පින් රැසක් සමඟ කටයුතු කරන්න ලැබීම ගැනත් මට සතුටුයි.

සෙනානි දේශීය සංගීතයත් ඔබේ සංගීත දිවියට එක් කර ගන්නට අදහසක් එහෙම නැතිද?

මගේ ගීතයක් සිංහලට පරිවර්තනය කරන්න කැමැතියි. ඉදිරියේදී හොඳින් සිංහල හදාරා එහෙම ගීතයක් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. ඊට අමතරව මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි මගේ ගීත බටහිර වුණත් එහි පෙරදිග සංගීතයත් මුසු වෙලා තියෙන බව. ගීත කිහිපයකම ආසියානු සංගීත ආභාෂය තියෙනවා.

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ගීත අතරෙන් වඩාත්ම ප්‍රිය කරන ගීතත් ඇති?

ලංකාවේ ගායක ගායිකාවන්ගෙන් මම වඩාත්ම කැමැති ගායිකාවක් සිටිනවා. ඒ තමයි මගේ අම්මා. ඇය එළිදැක් වූ නාමල් වසන්තය ගී එකතුවේ අඩංගු ‘කිරි කල හතක් පෙව්වා ඇති බුදු වෙන්න . . . අම්මේ දෑත මදි මට නුඹ නමදින්න . . . ආයෙත් ඇතොත් සුරතල් දැරියක් වෙන්න . . . එමි පියතුමනි සුළැඟිල්ලේ එල්ලෙන්න . . .’ ගීතය මම වඩාත් ප්‍රිය කරන සිංහල ගීතය වෙන්නේ.

පුංචි කාලයේ පටන්ම ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුන ඔබ අද ලංකාවේදී පළමු ගීත එකතුව එළි දක්වන්න සූදානම්. අමෙරිකානු සංගීත ක්ෂේත්‍රයේත් ඔබ ඉන්නේ ඉහළ තැනක. මේ තැන් අතුරෙන් පදිංචියට වඩාත්ම කැමැති රට මොකක්ද කියා මම ඇසුවොත්?

ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා හිටියත් මම නිතරම ලංකාවට එනවා. දැන් මගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ මෙහේ. මගේ අක්කත් විවාහ වෙලා ඉන්නේ මෙහේ. දිගුකාලීනව ලංකාවේ පදිංචි වෙන්න නම් මටත් දැන් ආසාවක් ඇති වෙලා තියෙන්නේ. ඒත් මම රැකියාව කරන්නේ ඔස්ට්‍රේලියාවේ. අමෙරිකාව වගේම එංගලන්තයත් මගේ සංගීත දිවියට බෙහෙවින් සමීපයි. ඒ නිසා මේ හැම රටක් සමඟ මට ගනුදෙනු කරන්න සිදු වෙනවා. ඒ වගේම එක තැනකට කොටු වෙන්නේ නැතුව ලෝකය පුරා රටවල් රැසක් සමඟ කටයුතු කරන්න මම ගොඩක් කැමැතියි.

මේ මාසයේ අවසානයේදී ප්‍රසංගයක් වෙනුවෙන් නැවතත් එංගලන්තයට යන්න සූදානමින් සිටින්නේ. ඉදිරියේදී යළිත් ලංකාවේදී ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සරසවිය පාඨකයන් ඔබට සුබ පතන්න කැමැත්තෙන් ඇති?

ආදරණීය සරසවිය පාඨකයන්ට www.facebook.com/senanimusic නම් මගේ ෆේස්බුක් පිටුව වගේම www.senani.com වෙබ් අඩවියත් විවෘතයි.