වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම ආදරයට වෛර කරනවා

මම ආදරයට වෛර කරනවා

සිංහල සිනමාවේ මෙතෙක් සිටියේ එක මැණික් කෙනෙකි. ඒ මැණික් කුරුකුලසූරියයි. අද වන විට තවත් මැණික් නාමය ඇත්තියක් අප රිදි තිරයට පැමිණ සිටියි. ඇය මැණික් විජේවර්ධනයි. බොහෝ දෙනෙකු මේ මැණික්ව හඳුන්වා දෙන්නේ සිංහල සිනමාවේ දෙවැනි මැණික කියායි. ඇගෙන් ප්‍රශ්න අහන්න පෙරාතුව ඇය පිළිබඳව වැඩි විස්තර සහිතව මෙසේ හඳුන්වා දෙන්න අපි හිතුවෙමු. මැණික්ව අපට පළමුව හමුවන්නේ නාලක විතානගේ ගේ අනිත්‍යා සිනමාපටයෙනි. එහි කවුෂි ලෙස ඇය කළ අභියෝගාත්මක රංගනය සිනමාපටය නරඹපු කොයි කාගෙත් පැසසුමට ලක් විය. කොස්තාපල් පුඤ්ඤාසෝම හි ශානිකාට පණ දෙමින් මේ දිනවල තවත් ජනප්‍රියව සිටින මැණික් ෆේස්බුක් ටෙලි සිතුවමේද ඩයනා නම් වූ චරිතයක් මවමින් ප්‍රේක්ෂක ඔබ පිනවමින් සිටියි.

* ඉතින් මැණික් මෙවාට අමතරව මොනවද ඔබේ අනෙකුත් වැඩ කටයුතු?

තවත් චිත්‍රපට තුනකට කතා කළා. හැබැයි ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

* ඇයි චිත්‍රපටවලට වැඩිපුර ආස?

මම කැමැති නැහැ ටෙලි නාට්‍යවල රඟපාන්න ගිහින් කාර්ය බහුල වෙන්න.

* ඒ වුණාට ඔබ ෆේස්බුක් නාට්‍යයට දායක වුණානේ?

ඒ විශේෂ ඉල්ලීමක් පිට.

* කාගෙද?

එහි අධ්‍යක්ෂ නාලක විතානගේ ගේ.

* එච්චරමද?

නැහැ.

* එහෙනම්?

ෆේස්බුක් බුද්ධික කුලසේකර මහත්මයාගේ කතා සංකල්පයක්. ඒ වගේ නාට්‍ය හැදෙනවා අඩුයි. මටත් හොඳ චරිතයක් ලැබුණා ඩයනා කියලා. ඇය කථිකාචාර්යවරියක්.

* ඔබට අනිත්‍යා රඟපෑවායින් පසු ටෙලි නාට්‍ය බොහොමයකට ආරාධනා ලැබෙන්න ඇති?

ඔව්.

* ඒවාට දායක නොවී ෆේස්බුක් සඳහා දායක වුණා. ඒ නිර්මාණකරුවන් තරහ වෙලා ඇති?

අනේ මන්දා. ඒත් ෆේස්බුක් සඳහා ලැබුණ ඇරැයුම අහක දාන්න බැරි වුණා. නාලක මගේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයානේ.

* චිත්‍රපටවල පමණක් රඟපාලා ජනප්‍රිය වෙන්න පුළුවන්ද?

මම රඟපාන්නේ ජනප්‍රියත්වය හොයාගෙන නෙවෙයි.

* එසේ නම් ඔබ රඟපාන්නේ මොන අරමුණකින්ද?

ආසාවට.

* කලාව වෘත්තිය කර ගන්නද ඔබ හදන්නේ?

නැහැ.

* හේතුව?

කලාව මගේ වෘත්තිය වුණොත් සමස්ත කලාවම මට එපා වෙයි.

* ඒ මොකෝ?

එතකොට මට සතියේ දවස් හතේම වැඩ කර කර ඉන්න වෙනවනේ.

* මැණික් සතියකට දවස් කීයක් රඟපානවද?

තුනයි.

* ඉතුරු ඒවා?

ගෙදරට වෙලා ඔහේ ඉන්නවා.

* පුදුම කම්මැලි නිළියක්නෙ ඔයා?

ඉතින් ඒ මගේ හැටි.

* මේ ගෙවෙන තරුණ කාලය නිස්කාරණේ අපතේ හරින්නේ නැතුව ඵල ප්‍රයෝජනයක් ගන්නකෝ?

ඒකට මම ඉදිරියේදී ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.

* මට නම් හිතෙන්නේ රඟපාලා ලැබෙන මුදල මදි හින්දද කොහෙද ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නේ?

ඇත්තටම අයියේ රඟපාලා ලැබෙන මුදල මදි තමයි.

* මැණික් ගණන් වගේම මැණික් විජේවර්ධනත් ගණන් වගේ?

ඔව්. මම ගණන් තමයි. හැබැයි අසාධාරණ විදිහට නෙවෙයි. මට සරිලන මුදල මම ඉල්ලනවා.

* ලැබෙනවාද?

අන්න ඒක තමයි ගැටලුව. මට සරිලන මුදල ලැබෙන්නේ නැතිනම් ඒ නිර්මාණය අත හරිනවා.

* අනිත්‍යා හි කවුෂි අමුතුම කෙනෙක්. ඒත් ශානිකා කියලා කියන්නේ තවත් අන්තෙක තරුණියක්. කොහොමද ඔබ මේ වෙනස හඳුන ගත්තේ?

පිටපත කියවද්දීම මම චරිතවල ගුණදොස් සහ හැසිරීම්, ගතිගුණ හඳුනා ගන්නවා. ඊට පසුව මම ඒ චරිතෙත් එක්ක ජීවත් වෙනවා. ඔන්න ඔහොමයි මට ලැබෙන චරිතවලට මම සාධාරණයක් ඉටු කරන්නේ.

* ඔබව හාස්‍යෝත්පාදක චිත්‍රපටයකින් දකින්න ලැබේවි කියලා බොහෝ දෙනෙක් හිතුවේ නැහැ?

මාත් එහෙම බලාපොරොත්තු වුණේ නැහැ. දෙවැනි චිත්‍රපටය එවැන්නක් වේවි කියලා. මෙහිදී එය අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාවත් මතක් කළ යුතුයි. ඔහු තමයි මට මේ සඳහා ඇරැයුම් කළේ. අභියෝගය මම බාර ගත්තා.

* පුඤ්ඤසෝම ශානිකා සඳහා ප්‍රතිචාර කොහොමද?

කියලා වැඩක් නැහැ. ඔන්න මම එක්තරා ප්‍රසිද්ධ ආපන ශාලාවකට ගියා. එතෙන්දි අවුරුදු හතක පොඩි ළමයෙක් මාව දැකලා කෑගැහැව්වනෙ අන්න පුඤ්ඤසෝම එකේ ආන්ටි ඉන්නවා කියලා. මටම පුදුමයි.

* ඔබට දුක හිතුණද?

මොකටද?

* ආන්ටි කිව්ව නිසා?

මම එහෙම කතා කරනවට කැමැතියි. ඒ ළමයා මාව වයසට වඩා ඉස්සරහට දාලනෙ කතා කළේ. මම ආසයි වයසට යනවට. මොකද එතකොට තමයි පරිණත වන්නේ.

* මැණික්ට කේන්ති ගියාම අඬනවා කියලා මට දැනගන්නට ලැබුණා?

හරියටම හරි. එතකොටයි මගේ කේන්තිය අඩු වෙන්නේ?

* ඔබ නිළියක් නොවුණා නම්?

හොඳ ගෘහණියක් වේවි.

* ඇයි නිළියකට හොඳ ගෘහිණියක් වෙන්න බැරිද?

පුළුවන්, පුළුවන් කවුද බැහැ කිව්වේ.

* ඔබනේ?

ඔයා ඇහැව්වේ නිළියක් නොවුණා නම් කවුරු වෙනවද කියලනේ.

මම එයට දුන්නු උත්තරයෙන් අදහස් කළේ කිසිදු වෘත්තියක් නොකර ඉන්න කෙනෙක් කියලා.

* මැණික්ගේ පවුලේ විස්තරත් කියමු?

තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මයි නංගිලා තුන් දෙනයි මල්ලියි.

හරි මැණික් එහෙනම් අපි නිරෝෂ් අයියට කියලා ෆොටෝස් කිහිපයක් ගමු ඔයාගේ.

එතකොට ඉන්ටර්විව් එක ඉවරද?

* ඔව් ඇයි?

ඔයා ආදරය ගැන මුකුත්ම ඇහැව්වේ නැහැනේ.

* මැණික්ට ප්‍රේමවන්තයෙක් නැහැනේ. ඒක නිසා මම හිතුවා ආදරය ගැන අහන්නේ නැතුව ඉන්න.

මම ආදරයට වෛරය කරනවා. ආදරය කියන්නේ මහ ආත්මාර්ථකාමී දෙයක්.

* හොඳ බූට් එකක් කාලා වගේ?

මම ඒවා ගැන කතා කරන්නේ නැහැ.

තව වසර කිහිපයකින් විවාහය ගැන හිතනවා. දැන් හරි. මට ඕන දේ කිවවා. අපි ෆොටෝස් ගමු එහෙනම්.