වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම බහුකාර්ය සේවනය පුරුදු වුණේ පුංචි කාලේ ඉඳන්

මම බහුකාර්ය සේවනය පුරුදු වුණේ පුංචි කාලේ ඉඳන්

- ජැක්සන් ඇන්තනී

ජැක්සන් ඇන්තනී. ලංකාවේ කලාව ඇසුරු කරන්නන් හට හෙතෙම ආගන්තුක චරිතයක් නොවන්නේය. නිරතුරුවම ගවේෂණය, පරිශීලනය හරහා නේකවිධ නිර්මාණ අපට ගෙනෙන ඔහු නව සංස්කෘතික දොරටුවක් විවර කරමින් නිර්මාණ තනන්නෙකි. මෙවර ජැක්සන් තම නිර්මාණයෙහි මූල බීජය බවට පත් කර ගන්නේ ප්‍රේදෝ දි ගැස්කන්ට් (දස්කොන්) ප්‍රමිලා, ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ සහ මොණරවිල කුමාරිහාමි පෙරටු කොට ගත් ප්‍රේමණිය වෘතාන්තයයි. දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර ලෙසට නම් කරන ලද ජැක්සන් මේ සුන්දර නිර්මාණය පිළිබඳ කළ කතාබහකි මේ.

* ඇසළ කළුවරට පසු දිගු කලක් ඇවෑමෙන් ඔබ යළිත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට සැරසෙන වග රටම දන්නවා. මේ කතාව එතැනින් අරඹමු.

ඔව්. හොඳ ආරම්භයක්. මම ඇසළ කළුවර නිර්මාණය කළේ 1992 වසරේදී. ඒ කාලය වන විට ටෙලිවිෂනය කලාත්මක භාවිතාවකට නැඹුරු වෙලා තිබුණා. සිනමාවෙන් සිහින දකින්නට නොලැබුණු තරුණයෝ ඒ වකවානුවේදී ටෙලිවිෂනය හරහා තමන්ගේ සුන්දර සිහිනය ඉටු කර ගත්තා. හඳගම, ජයන්ත වගේ පිරිස පමණක් නොවෙයි පතිරාජලා පවා ටෙලිවිෂනයට යොමු වුණා. ඒ වකවානුවේ කලාත්මක භාවිතාවකට ටෙලිවිෂන් ඉල්ලුමක් ද තිබුණා. ඒ ගුණාත්මක බවට ප්‍රසාදය පළ කළ සමාගම් පවා තිබුණා.

මේ වගේ වකවානුවක තමයි මම ඇසළ කළුවර නිර්මාණය කළේ. ඇසළ කළුවරෙන් මතුව ආ සංගීතවත් සෞන්දර්යත් දාර්ශනික වෙනසකට යොමු කළා. ඒ වෙනස තේරුම් ගත් පිරිසක් ලංකාවේ හිටියා. ඒ ට්‍රැජිඩ් ෆැන්ටසියට බොහෝ දෙනෙක් ආදරය කළා.

ඉන් කලකට පස්සේ ටෙලිවිෂනය නියාමනයක් නැති සුළි සුළඟකට ගහගෙන ගියා. ටෙලිවිෂනයට ආයතන ආධිපත්‍යයක් ඇති වුණා. ආර්ථික කාරණා ටෙලි නාට්‍ය කර්මාන්තයට සෘජුවම බලපාන්න පටන් ගත්තා. මේ නිසා සෞන්දර්යාත්මක, දැවැන්ත නිර්මාණ බිහි විම ඇණ හිටියා. ඒ වෙනුවට ආයතන මඟින් හා විවිධ පුද්ගලයන් සොයා ගත්තු ඕලාරික ප්‍රයෝගිකතා මත පදනම් වූ නිර්මාණ ‘මෙගා’ නමින් සමාජයට එන්නට පටන් ගත්තා.

මේ සිදුවුණු වැරැද්ද අපි ඒකමතිකවම ප්‍රමිතිගත කර ගත්තා. ටෙලිවිෂනයේ තියෙන්න ඕනෑ සරල බොළඳ දිගු ප්‍රේම කතා තමයි කියලා අපේ උදවිය ඒ මතය ස්ථිර කර ගත්තා. න්‍යායක් නැති ව්‍යාජයක් අපි සම්මතය බවට පත් කර ගත්තා. මේ නිසා කාලය ගෙවීගෙන යනවාත් සමඟම ටෙලිවිෂනය නරක අතට වෙනස් වෙන්නට පටන් ගත්තා.

මේ නිසා ටෙලිවිෂනය කලාත්මක නිර්මාණවලින් පෝෂණය කරන්නට පැමිණි සිනමාකරුවන් එක් වකවානුවකදී ටෙලිවිෂනය අතහැර ගියා.

මේ අතහැර යාම තුළ රික්තයක් ඇති වුණා. ඒ රික්තය පුරවන්නට පවතින ක්‍රමයට එකඟ පිරිස රොද බැඳ ගත්තා. ඒ පිරිස විසින් වරද්දා ගත්තු ප්‍රමිිතිය ඉතාමත් ප්‍රවේශමෙන් ඉදිරියට අරගෙන ගියා. ඒ අතරතුර සුදත් දේවප්‍රිය, ආනන්ද අබේනායක වගේ අය කලාත්මක ගුණය රඳවා ගැනීමට උත්සාහ දරමින් මේ ක්ෂේත්‍රයේ රැඳී උන්නා.

මෙහෙම තවත් කලක් ගත වුණා. දැන් අද වන විට පවත්වාගෙන ආ ඒකාකාරිත්වය හානිදායක බවට පත් වෙලා ඉවරයි. ඒ හානිය නාළිකාවලටම දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒ හේතුව උඩ දැන් නාලිකා නැවතත් ගුණාත්මක නිර්මාණ වෙත යෙමු වෙමින් පවතිනවා. මේ කාලෙදි තමයි ස්වර්ණවාහිනිය මට දැවැන්ත නිර්මාණයක් සඳහා ආරාධනා කරන්නේ. බුද්ධික කුලසේකර මහතා තමයි මට මේ යෝජනාව ගෙන එන්නේ. මා එය එකහෙලාම පිළිගන්නේ මේ කාලයේදී මෙවැනි නිර්මාණයක අතිශය අවශ්‍යතාවය ඇති නිසාමයි.

* ඔබ මෙවර තෝරා ගන්නේ ‘දස්කොන්’ නමැති අති රමණීය කතන්දරය?

ඔව්. මම මුලින්ම හිතාගෙන හිටියේ මෙම කතාව ඇසුරින් හොඳ නවකතාවක් ලියන්න. නමුත් මේ ආරාධනය සමඟ දස්කොන් ටෙලි නාට්‍යයකට පෙරලන්නට මා තිරණය කළා. අපේ ලාංකීය ඉතිහාසයේ චරිත සමූහයක් එකම තැන කැරකැවෙන හොඳම පරිච්ඡේදය තමයි 1707 සිට 1739 දක්වා ගෙවෙන වසර තිස් දෙක. මේ වසර තිස් දෙක රජකම් කළේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ. මේ වසර තිස් දෙකෙන් පසුව ලංකාවේ රජ වෙන්නේ වඩුග රජවරු. වඩුග රජ කෙනෙක් පත් වෙන්නට අර අඳින ක්‍රාන්ති කලාපය තමයි මේ වසර තිස් දෙක. මේ කාලය කැලඹිලි සහගතයි. ඒ කැලඹිලි සහගත බවම නාටකීයයි.

මේ කාලේ රට පාලනය කරන්නේ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. එතුමාට රන්දෝලි කොට තමයි ප්‍රමිලා නමැති බිසව මදුරාසියෙන් කැඳවාගෙන එන්නේ. ඊට පෙර අවාහ වෙලා ඉන්න යකඩ දෝලිය තමයි මොණරවිල කුමාරිහාමි. මොණරවිල කුමාරිහාමි කැප්පෙටිපොළ පරම්පරාවේ කෙනෙක්.

නරේන්ද්‍රසිංහ රජතුමාට ළමා කලයේදී කිව්වේ කුණ්ඩසාලේ කුමාරයා කියලා. කුණ්ඩසාලේ කුමාරයා හරිම සෙල්ලක්කාර චරිතයක්. ඒ නිසාම සෙල්ලං නිරිඳු කියලත් නමක් ඔහුට පටබැඳිලා තිබුණා.

උඩින් තනාලා උඩ නෙත්ති මාලේ
බිමින් තානාලා බිම නෙත්ති මාලේ
සාදා පොල් පුවක් ගඟ දෙපස දෑලේ
සෙල්ලං නිරිඳු වඩනා කුණ්ඩසාලේ

මේ කවිවලින් කිව්වේ කුණ්ඩසාලේ කුමාරයා ගැන. සෙල්ලං නිරිඳුගේ කුළුපඟම මිත්‍රයා තමයි පේද්‍රෝ දි ගැස්කන්ට්. ගැස්කන්ට් කියන්නේ දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලේ සිටි ප්‍රංශ ප්‍රභූවරයෙකු වන ලැනරෝල්ගේ අස්ගොව්වාගේ පුත්‍රයා. ගැස්කන්ට්ගේ පියාගේ නමත් ගැස්කන්ට්මයි. ගැස්කන්ට් මව පෘතුගීසි ජාතික කාන්තාවක්. තාත්තා ප්‍රංශ අම්මා පෘතුගීසි නිසා ගැස්කන්ට් ජාන අනාථයෙක්. නමුත් ඔහු කතා කරන්නේ සිංහල.

මේ ගැස්කන්ට් කියන ප්‍රංශ නම සිංහල බසට හුරු වුණේ දස්කොන් කියලා. මේ මිත්‍රයෝ දෙන්නා රජ මාලිගාවේ ඇති දැඩි වෙමින් කුමාර සම්පත් භුක්ති විඳිමින් ශිල්ප උගත්තේ ද එකටමයි.

දස්කොන් කවියට ඉතා දක්ෂයෙක්. මොනරවිල කුමාරිහාමිත්, ප්‍රමිලා දේවියත්, නරේන්ද්‍රසිංහත් කියන තුන්කොන් ආදර කතාවේ මැද හිට ගන්නේ දස්කොන් නමැති කවියා. දස්කොන් ලියනවා ශ්‍රී නාමය කියලා ශෘංගාර කවි කතාවක්. මේ කවි කතාවේ ඉන්නේ මේ චරිත ත්‍රිත්වය.

මේ ප්‍රේම කතාව මැද්දේ අපේ රටේ විශාල දේශපාලන ඛේදවාචකයක් සිදු වෙනවා. ජාකෝමේ ගොන්සාල්වේස් කියන කතෝලික පූජකවරයා කන්ද උඩරටට එන්නේ මේ කාලේ. පසන් කැරොල් කන්තාරු ලියමින් ගයන ඔහු කතෝලික ආගම ව්‍යාප්ත කිරීමේ මූලික වෙලා කටයුතු කරනවා.

ප්‍රමිලා පැමිණි නැවෙන්ම පැමිණෙන පිට්ටි නායක්කර් ප්‍රමිලාගේ පියා. ඔහු උග්‍ර ව්‍යාපාරිකයෙක්. ප්‍රමිලාගේ මව අභිරාමි දේවිය. මේ පිරිස ධන කුවේරයෝ. ඒ නැවෙන්ම අපේ රටට එනවා අලගු නායිදු. ඔහු තමයි ලංකාවේ නාඩගම් කර්තෘවරයා. මේ ප්‍රභූ කුලයේ ඇත්තන්ගේ සදාචාරය තමයි ලංකාවේ සදාචාරය බවට පත් වෙන්නේ. කන්ද උඩරට රාජධානියේ මේ සංස්කෘතික සම්මිශ්‍රණයේ අලංකාර වීම මේ ප්‍රේම කතාව තුළ සිදු වෙනවා.

මේ කාලේ ලංකාවේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා හිටියේ නැහැ. හිටියේ ගණින්නාන්සේලා. උභය විහාරවල වැඩ වාසය කළෙත් ගණනායකවරු. මේ අයට පවුල් හිටියා. මේ අය විවාහකයි. මේ කාලේ බුදුසසුන පිරිහීමට ලක් වෙමින් තිබුණා. මේ කාලේ තමයි වැලිවිට තුම්පනේ ගමෙන් කුලතුංග කියන කුල දරුවා පැවිද්ද ලබන්නේ කඩදොරගම සූරියගොඩ පන්සලේ සරණංකර හිමි කියලා. මේ හිමි නම කුලවත් භික්ෂු සමාගම පිහිටුවා ගන්නවා.

මේ කාලයේ රාජ කැරැල්ලකුත් ඇති වෙනවා. නරේන්ද්‍රසිංහ රජතුමාගේ සහෝදරයා පට්ටිය බණ්ඩාර රාජ්‍යත්වයට කැරැල්ලක් ගහනවා. ඒ කැරැල්ලට යාලේගොඩ, කිරිවවුලේ වගේ නිළමේවරුත් එකතු වෙනවා. මැද හිටගත්තු සූරියගොඩ හාමුදුරුවෝ මේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. මේ සියල්ල අතරේ ප්‍රේම කතාව ගලාගෙන යනවා.

මේ පරිච්ඡේදය හරිම නාටකීයයි. අවසානයේ විශාල ඛේදවාචකයක් සිදු වෙන්නේ. මේ ඛේදවාචකය සිදු වෙන්නේ කොහොමද කියලා තමයි දස්කොන් හරහා කතාවට ලක් වෙන්නේ. ඒ නිසාම තමයි මම මේ කතාවට දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර කියලා නම තිබ්බේ. මේ කතාව ඉතාමත් ගෝචර වෙන්නේ ටෙලි නාට්‍යකට. මා හිතනවා මේ තෝරා ගැනීමම අභියෝගයක් කියලා. නමුත් මේ කතාව ඉතාමත් සෞන්දර්යාත්මකයි.

* මේ නිර්මාණ්‍ය කාව්‍යාත්මක වෙන්නේ කොහොමද? කුමන ක්‍රමවේදයන්ද ඊට යොදා ගත්තේ?

ඇත්තටම මේ නිර්මාණයේ ගීත බොහොමයක් තිබෙනවා. සමන්ත පෙරේරා තමයි මෙහි සංගීතමය කටයුතු භාරව කටයුතු කරන්නේ. මේ කාලේ ගීත නිර්මාණ කරමිනුයි ඉන්නේ. මේ සඳහා ඉමිහිරි සංගීත රටාවක් යොදා ගත්තා.

* මොන වගේ දර්ශන තල ද මේ සඳහා යොදා ගන්නේ?

ඉංගිරිය චිත්‍රාගාරය තමයි මූලිකවම යොදා ගන්නේ. ඊට අමතරව ගිලීමලේ, කොලොන්න, රත්නපුර වගේ ප්‍රදේශත් මේ සඳහා යොදා ගන්නවා. ධම්මික හේවාදුවත්ත තමයි පසුතල නිර්මාණය කරන්නේ. ඔහු හා මම ඉතා හොඳ පර්යේෂණයකින් අනතුරුවයි මේ දර්ශන තල තෝරා ගත්තේ.

* මේ සඳහා යොදා ගෙන තිබෙන්නේ ප්‍රවීණතම නළු නිළි පිරිවරක්?

ඔව්. මේ නිර්මාණය සඳහා හොඳ නළු නිළි පිරිසක් ඉල්ලා සිටිනවා. ඒ නිසාම ඉතාමත් ප්‍රවීණ ජනකාන්ත නළු නිළි පිරිසක් තමයි යොදා ගත්තේ. ඒ සඳහා මට ඔවුන් සැමගේම සහාය නොමඳව ලැබෙනවා. ඒ වගේම මෙම නාට්‍යය සහය අධ්‍යක්ෂණය කරනු ලබන ප්‍රසන්න ඉත්තෑපානවත් ආදරයෙන් මතක් කළ යුතුයි. ඔහු මට යෝධ ශක්තියක්.

* ඔබ පූජාව රිදී තිරයෙන් පුංචි තිරයට ගේනවා මේ හරහා. පූජා සිනමාවේ කේන්ද්‍රීය නිළි චරිතයක්?

මම අහනවා හැමෝගෙන්ම මං ටෙලි නාට්‍ය නළුවෙක් ද සිනමා නළුවෙක් ද කියලා. මං සෞන්දර්ය විෂයෙහි නළුවෙක්, නිරූපණ ශිල්පියෙක්. මං දුර්ලභම ටෙලි නාට්‍ය චිත්‍රපටවල රඟපානවා. මට සිනමාවේ විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. මං ටෙලි නාට්‍යවල හිටිය කියල ඒ ප්‍රේක්ෂකාගාරය අඩු වෙන්නේ නැහැ. අකාල සන්ධ්‍යාවලින් පසුව වසර පහළොවකින් තමයි මං අප්පච්චි රඟපාන්නෙ.

පූජා උමාශංකර් කියන්නෙ මේ සංස්කෘතියේ නිරූපණ ශිල්පිනියක්. නිළියක්. ලංකාවේ සිනමාව, රූපවාහිනිය, වේදිකාව කියලා කුටුම්භ බෙදිලා නැහැ. ඇය අතිශයින්ම නිර්මාණාත්මකයි, දක්‍ෂයි. මේ චරිතය රඟපාන්න ඇය තරම් සුදුසු කිසිවකුත් මේ රටේ නැහැ. ප්‍රමිලා කියන්නෙ මධුරා පුරයෙන් ආ වඩුග සුරූපී කාන්තාවක්. ඉතා සුරූපී ඉන්දීය කුමාරිකාවක් මට ලංකාවෙන් හොයන්න පුළුවන්ද? පූජා ලංකාවේ ඉඳගෙන මං වෙනත් කෙනෙක් හොයන්නෙ ඇයි? මට පූජා විරෝධයක් නැහැ. මේ රටේ සංස්කෘතියෙත් පූජා විරෝධී නැහැ. ඇය හෙට වේදිකා නාට්‍යයක රඟපෑවත් කවුරුවත් පුදුම විය යුතු නැහැ. සිනමාවෙ වගේ මේ ටෙලි නාට්‍යයේ පූජාට දෙබස් කවන්නෙ නැහැ. ඒ නිසා පූජාගෙ හඬේ තියෙන ඉන්දීය උරුව මගේ ප්‍රමිලා ඉල්ලා සිටිනවා. මං වෙන නිළියක් ගත්තත් ඇයට කියන්න වෙන්නෙ පූජා කතාකරන විදියට කතා කරන්න කියලා. ඉතිං ඇයි මං පූජා නොගෙන ඉන්නෙ.

*මේ පර්යේෂණ කරන්න ඔබ කාලය වෙන් කරන්නෙ කොහොමද? මොකද ඔබ අපට වසරේ තුන්සිය හැටපස් දවසෙම කොතැනකදී හෝ හමුවෙනවා?

ඒක මං පුංචි කාලෙ ඉඳලා කරන දෙයක්. බහුකාර්ය සේවනයේ මං හුරුවෙලා හිටියා. අද සංකීර්ණයි. මං ආයතන ගතවෙලා නිසා තවත් කාර්යබහුලයි. මේ සියලු දේ කළමනාකරණය කරන්නෙ දිනූෂා රාජපතිරණ. එයා තමයි ප්‍රධානතම භූමිකාව මාව කළමනාකරණය කිරීමේදී. ඇය මගේ පර්යේෂණ සහායිකාව. ඒ අතිනුත් උදව් ලැබෙනවා. එහෙම සහායක් නැතුව ගමනක් යන්න අමාරුයි. ඉස්සර නං මං තනියම වැඩ කළා. දැන් සහායිකාවක් අවශ්‍යයි. දිනූෂා තමයි මේ හැමදේටම උදව් කරන්නෙ.

* ඔබ අබා හරහා හැදූ නව සිනමා දොරටුවෙන් බොහෝ දෙනා ඇතුල් වුණා. නමුත් ඓතිහාසික කතා රැල්ල ඇතැමුන් විනාශ කළා. ටෙලි නාට්‍යයත් මේ ඉරණමට අත්වෙයිද?

මෙහෙමයි, ගේට්ටුවක් විවර කළාම වීසා නැතිව ඇතුළුවන අය ඉන්නවා. නමුත් පැවැත්මක් නැහැ. මං හිතන්නෙ නෑ නුසුදුසු අය තමන්ම විනාශකර ගන්නවා මිසක් ක්ෂේත්‍රය විනාශ කරනවා කියලා. ඉතිහාසය සංස්කෘතිය පිළිබඳ හොඳ කියවීමක්, දැනුමක් නැති අයට හොඳ නිර්මාණ කරන්න බැහැ.

මේ ගේට්ටුවෙනුත් ගොඩක් දෙනෙක් එයි. හොඳ අය ඉතිරිවේවි.

* ඔබ නැවතත් රජ වෙනවා ඇහැළේපොළ කුමාරිහාමි හරහා.

ඔව්, තිස්ස අබේසේකරයන් සෙංකඩගල රාජ්‍යය ලියන කාලෙ රාජසිංහ රජ්ජුරුවො විදියට තෝරාගෙන හිටියෙ මාව. නමුත් ඒ අවස්ථාව මගෙන් ගිළිහුණා. රාජසිංහ චරිතයට මං කැමැතියි. සුගත් සමරකෝන් හොඳ නිර්මාණ කරුවෙක්. සුගත් ගේ මේ කෘතිය නාටකීයයි. මේ චරිතය ඉතා වෙනස් රාජසිංහ වගේ චරිතය අපට හුරු නාට්‍යාත්මක දෙබසින්. නමුත් චිත්‍රපටයට ස්වභාවික ලෙසට මේ චරිතය ගෙන ඒමට උවමනා වුණා. ෙඓතිහාසික ස්වභාවිකත්වයක් තමයි පිටපත මගෙන් ඉල්ලා හිටියේ. මේ දිනවල ඇහැළේපොළ කුමාරිහාමි පූර්ව ප්‍රචාරකපටය ඉතාමත් ජනපි‍්‍රයයි. මා හිතනවා ඒ චරිතයට මා හොඳ සාධාරණයක් ඉටුකළා කියලා. මේ නිර්මාණය ජනකාන්ත නිර්මාණයක් බවට පත්වේවි. මේ කතාවෙ මානව කතා පුවතක් තියෙනවා. මේ කතාවේ හමුවෙනවා ලෝකයේ අපට කිසිම තැනක හමුනොවන ළමා වීරයෙක්. මද්දුම බණ්ඩාර ප්‍රංශයේ හෝ එංගලන්තයේ ඉතිහාසයේ හිටියානම් අපේ දරුවන් අතර මීට වඩා ජනපි‍්‍රය වෙන්නට ඉඩ තිබුණා. ලොවම ඒ වීරයා දන්නවා. ඒ වීරයාගේ කතාව තමයි මේකෙ තියෙන්නෙ. ඒ වීරයාට අපි හරි කැමැතියි. ඒ වීරයාට මේ චිත්‍රපටයේ රඟපාන්නෙ ප්‍රමුදිත කියන දරු පැටියා. ඒ නිරූපණය මේ චිත්‍රපටයට මැණිකක්.

විශේෂයෙන්ම සුගත් ගැන වගේම ගයාන් ගැනත් කියන්න ඕනෙ. ගයාන් වෘත්තියට චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඒ නිසා අපි හැමෝම ඔහු අගය කළ යුතුයි. මට හමුවෙන්නෙ වෘත්තිමය නිෂ්පාදකවරු දෙදෙනයි. එක්කෙනෙක් ගයාන්, අනෙක් කෙනා ජනිත මාරසිංහ. අපි ඔවුන්ව රැකගත යුතුයි.

* ඇඩ්‍රස් නෑ... ගැන කතා කරමු?

ඇඩ්‍රස් නෑ අවසානයි. මං උත්සාහ කරන්නෙ මේ නිර්මාණය සියයට සියයක් දේශීය නිෂ්පාදනයක් කරන්න. මට අවශ්‍ය සිරිසේන විමලවීරයන්ගෙ එහෙමත් නැත්නං මගේ වීරයාගේ අභිප්‍රාය ඉටුකරන්නටයි.

මගෙ සිහිනය ඉටුවීමට නම් මේ රටේ ප්‍රදර්ශනය ඩිජිටල් විය යුතුයි. ඩිජිටල් නොවුණොත් මගෙ සිහිනය ඉවරයි. මං විශ්වාස කරනවා ලබන වසරේ ඇඩ්‍රස් නෑ හරහා මගෙ හීනය සැබෑවේවි කියලා.