වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ද ලාස්ට් පේස් නිළියට සබීතාගෙන් තිළිණයක්

ද ලාස්ට් පේස් නිළියට සබීතාගෙන් තිළිණයක්

ප්‍රවීණ රංගන ශිල්පිනි සබීතා පෙරේරා සිය සැමියා උපාලි ජයසිංහ සමඟින් අංග සම්පූර්ණ නව නිවසක් කිලිනොච්චියේ පදිංචි ජයවධනී හට පසුගියදා පරිත්‍යාග කළාය. සබීතා සහ උපාලි විසින් ජයවධනි හට මෙම නිවස ප්‍රධානයට හේතු වූයේ ජීවන් චන්දිමාල් අධ්‍යක්ෂණය කළ ‘The Last Phase’ නම් වාර්තාමය චිත්‍රපටයයි. ජයවධනි ඒ සඳහා රංගනයෙන් දායක වූ කතා නායිකාව විය.

‘The Last Phase’  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී එළිදැක් වූ අවස්ථාවේදී ජයවධනි හට නිවසක් ලබාදීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වූ පොරොන්දුවකට අනුව එම නිවස ඉදි කිරීමේ වගකීම සබීතා සහ උපාලි යුවළ භාරගෙන තිබුණි.

ඒ සඳහා අවශ්‍ය වූ ඉඩම් කොටස ලබාදීමට එවකට යාපනයේ හිටපු ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා කටයුතු යෙදීය. ඒ අනුව කිලිනොච්චිය වට්ටච්චිය ගම්මානයේ ඉදි කළ මෙම නව නිවසේ අයිතිය පසුගියදා ජයවධනි හට ලැබිණි.

එල්ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ගැන කියවෙන කතා පුවතක් ගෙන එන මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ජයවධනි එම සිදුවීම්වලට මුහුණ දුන් එම සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකාවකි.

මෙහි පිටපත මොහොමඩ් අලි රජාබ්දීන් ගෙනි. ජීවන් චන්දිමාල් මොහාමඩ් අලි යාපනයේ කළ ගවේෂණයකින් මෙම සිදුවීම හෙළිදරව් කර ගන්නා ලදී. The Last Phase මේ වන විට එංගලන්ත, යුරෝපා පාර්ලිමේන්තු ඇතුළුව රටවල් රැසක තිරගත කර ඇත.