වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බොරුකාරයන්ට රැවටුණ මම අද හරිම ශක්තිමත්

බොරුකාරයන්ට රැවටුණ මම අද හරිම ශක්තිමත්

රාජාංගනය නම් ඈත පිටිසර ගමක ඉඳල නළුවෙක් වෙන්න තිබූ අසීමිත ආශාව නිසාම ඔහු කොළඹට පැමිණියා. එහෙත් ඔහුට සිදු වූයේ නළුවකුවීමේ ප්‍රථම බලාපොරොත්තුවම බොඳ කර ගන්නටයි. එනමුත් ඔහු නොසැලී අභියෝගවලට මුහුණ දුන්නා. මේ වන විට ඔහු කලා ක්ෂේත්‍රයේ තරමක් හඳුනන චරිතයක්. රොෂාන් රාජසිංහ නම් වූ ඔහු ‘සරසවිය’ පුවත්පත සමඟ කළ පිළිසඳරකි මේ.

* නළුවෙක් වෙන්න කොළඹ ආපු ඔබට මොකද වුණේ?

බොරුකාරයන්ට මම අහුවුණා. මම විතරක් නෙමේ, මම වගේ ගොඩක් දෙනෙක් ඔහුගේ බොරුවට රැවටුණා.

* එතකොට නළුකම එපා වුණාද?

නෑ. මගේ හිත තවත් ශක්තිමත් වුණා.

* එදා සහ අද ගැන මොකද හිතෙන්නේ?

එදා මම බොරුකාරයන්ට රැවටුණාට අද මම රැවටෙන්නේ නෑ. අද මම නළුවෙක් විදිහට පොඩි තැනක හරි ඉන්නවා. ඒ ගැන මට සතුටුයි. නමුත් මම ක්ෂේත්‍රයේ තව ගොඩක් දුර යන්න ඕනෑ.

* ඔබේ පළමු රංගනය චිත්‍රපටයකින්ම ඇරැඹුණා නේද?

ඔව්. විජය කුවේණි චිත්‍රපටය. එහි සෙබලකුගේ චරිතයක් මම කළා.

* ඊට පස්සේ?

සිරි දළදාගමනය චිත්‍රපටයේ රඟපෑවා. ඒ වගේම සූරියබානු ටෙලි නාට්‍යය, අධි වේගයෙන් ඇවිත් යන්න ඒකාංගික නාට්‍යය, අත්තම්මා පෝය නාට්‍යය, රවුන්ටවුම මෙගා නාට්‍යය යනාදී නාට්‍යවලට රංගනයෙන් දායක වුණා.

* ඔබට ලැබුණේ එකම චරිත නේද?

ඔව්.

* වෙනස් චරිතවලට කැමතිද?

ඔව්. මම ආසාවෙන් ඉන්නවා පෙම්වතෙකුගේ චරිතයකට. අඳ ගොළු බිහිරි චරිතයකට. ඒ වගේම ලැබෙන ඕනෑම චරිතයක් ආසාවෙන් කරන්න මම කැමැතියි.

* රංගනය ඇරුණාම ඔබ මොකද කරන්නේ?

මම නිෂ්පාදකවරයෙක් වශයෙනුත් කලාවට සම්බන්ධ වෙනවා.

* නිෂ්පාදකවරයෙකු ලෙස ඔබ දායක වූ නිර්මාණ මොනවාද?

අත්තම්මා ඒකාංගික නාට්‍යයේ සහ ඒකාංගික නාට්‍යවලට නිෂ්පාදකවරයකු ලෙස දායක වෙනවා.

* මොනවද ඉදිරි කලා කටයුතු?

ඩික්ෂන් ෆොන්සේකාගේ සත් හිරු පාය කියන අළුත්ම මෙගා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.

* ඔබ ක්ෂේත්‍රය ටිකක් හඳුනනවා. මොකද ඒ ගැන හිතන්නේ?

මෙහෙමයි, අද ගොඩක් ඉන්නේ බොරු රැවටිලිකාරයෝ. මුදල් වියදම් කරන්න පුළුවන් අයට විතරක් නළුවෝ නිළියෝ වෙන්න පුළුවන්. සමහර නළුවන්ට බයික් එකක්වත් පදින්න බෑ. ඒ වුණාට රූපවාහිනි තිරය ඉදිරියේ ඔවුන් හොඳ නළුවෝ. ඇත්තටම අද දක්ෂයින්ට වඩා මුදල්වලට මුල් තැන දෙන කලාවක් බිහි වෙමින් තියෙන්නේ. ඒ වුණාට මේ අතරේ හොඳ නිර්මාණත් තියෙනවා.

* ඔබ රඟපෑම රැකියාව ලෙස කරගෙන යනවද?

නැහැ. මම රඟපාන්නේ ආත්ම තෘප්තිය උදෙසායි. ඒ වගේම රංගනයෙන් ඉදිරියට යන්නටත් බලාපොරොත්තු වෙනවා.

* ඔබේ ලිපිනය?

රොෂාන් රාජසිංහ , රාජාංගනය, වම් ඉවුර, යාය තුන, සෝලේපුර.