වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රන් මසු නැහැ කියා - මා දිළිඳුයි කියා, කීවා . . .

රන් මසු නැහැ කියා - මා දිළිඳුයි කියා, කීවා . . .
 

නව පරපුරේ නළු ශෂිරංග වික්‍රමසේකර

බිඳුණු ආදර කතාව ගැන හෙළි කරයි

ශෂිරංග වික්‍රමසේකර කියන නම මේ දවස්වල ටිකක් ජනප්‍රියයි?

ඔව් ඉතින් මගේ නාට්‍ය තුනක්ම විකාශය වෙනවානේ.

මං කිව්වේ නාට්‍ය හින්දම නෙවෙයි ඔබ ජනප්‍රිය කියලා?

ඔබ කියන දේ මට පැහැදිලි නැහැ.

හරි, එහෙනම් මම කෙළින්ම ඔබෙන් අහන්නම්කො. ඔබේ පෙම්වතිය වූ නව පරපුරේ ජනප්‍රිය නිළිය අද ඔබත් එක්ක නැහැ. මාධ්‍යයන්ගෙන් නිතරම ඔබ දෙපොළගේ බිඳී ගිය ආදරය ගැන කතා කරනවා? ඔබව වඩාත් ජනප්‍රිය ඒ නිසා.

ආ . . . ඒකද?

කැමැති නැද්ද ඒ ගැන කතා කරන්න?

ශෂිරංග කියන්නේ ඕනෑම දේකට බය නැති කොල්ලෙක්. මට කොහොමත් කෙළින් කතා කරලා හොඳට පුරුදුයි. අහන්න ඕන දෙයක්.

ඇයි එයා ඔබව අතහැරලා ගියේ?

හේතු නම් ගොඩක් තියෙනවා.

එකක් දෙකක් කියමුකො බලන්න?

ප්‍රධානම හේතුව මට සල්ලි නැතිකම.

ඔබට සල්ලි නැහැ? ඒක අසත්‍ය කතාවක්. ඔබට ඉන්න ගෙයක් තියනවා. වාහනයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ රටේ පිළිගත්ත නව පරපුරේ නළුවෙක්, නිවේදකයෙක්. ඊටත් වඩා ඔබ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්. මෙච්චර දේවල් තිබෙන ඔබ දුප්පතකු කියා මට නම් පිළිගන්න අමාරුයි.

ඔබ කියන එක හරි. ඒත් ඊටත් වඩා මුදල් බලාපොරොත්තු වෙනවා. මං මේවා මීට කලින් කිසිම මාධ්‍යයකට කියලා නැහැ. ඒත් අද මම නොකියා ඉන්න බැරි තැනටම මං පත් වුණා. ඒ අය මට කිව්වා ලක්ෂ විස්සක ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න කියලා. මං කොහොමද එක පාරට ඒ වගේ මුදලක් හොයන්නේ.

ඇය මෙතුවක් කල් ඔබට නෙවෙයිද ආදරය කරලා තියෙන්නේ?

ඒක තමයි මට හිතා ගන්න බැරි. පුදුම විදිහට එක පාරටම වෙනස් වුණා.

ඉතින් ඔබ වෙන් වෙන්න තීරණය කළා?

ඔව්. මං අද සතුටු වෙනවා අපි එහෙම වෙන් වෙච්ච එකට. මොකද එයයි මමයි විවාහ වෙලා හිටියා නම් ඒක කෙළවර වන්නේ දික්කසාදයකින්. අපේ පවුල්වල කවුරුවත් දිකකසාද වෙලා නැහැ. මටත් ඕනෑ අන්න එහෙම හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න.

සමහරු කියනවා ඔබ දෙපොළ ආදරය නොසඟවා මාධ්‍යයන් මඟින් ඒ ගැන කතා කර කර නිතරම පෙනී සිටි නිසා ශෂිරංගගේ ආදර කතාවට ඇස්වහ වදින්න ඇති කියලා?

මං කොහොමත් මගේ පෞද්ගලික ජීවිතයේ දේවල් හැංගුවේ නැහැ. අදටත් එහෙම්මමයි. අපි දෙන්නා ගැන ප්‍රසිද්ධ කළ දිනයේ ඉඳලා හැමෝම වගේ මට ආශිර්වාද කෙරුවා. ඒත් ඒ අය අපිට සෙත් පතලා තියන්නේ හිතකින් නෙවෙයි. මට ඒ බව අප සම්බන්ධය බිඳී ගිය දිනයේ ඉඳලා තදින් දැනුණා. ඇය මගෙන් වෙන් වුණු කතාව දැනගත් ගොඩක් දෙනා මට කිව්වේ එහෙම සිද්ධ වීම හොඳයි කියලා.

ශෂිරංග හදන්නේ ව්‍යාංගාර්ථයෙන් ඇයට මඩ ගහන්නද?

අනේ නැහැ. මං ආදරේ කරපු කෙනාට මං මොකටද මඩ ගහන්නේ.

ඒ කියන්නේ ඇයට ඔබ තවමත් ආදරෙයි?

ඔව්.

ඒ වුණාට මට ආරංචි වුණානේ ඔබ ආයේ පෙම්වතෙක් වුණා කියලා?

ඒ ගැන වැඩි විස්තර මං පසුව කියන්නම්.

පසුගිය ‘සරසවිය’ කලාපයේ පළ වූ මෙම තරුණ තාරකාව අදහස් දක්වලා තියනවා ආයේ නළුවෙකුට ළං වෙන්නේ නැති බව. ඔබත් එහෙමද? ඔබේ ඊළඟ පෙම්වතිය නිළියක් නෙවෙයිද?

මට ඒකටත් දිගු උත්තරයක් දෙන්න අපහසු තත්ත්වයක් තියෙන්නේ. ළඟදීම මගේ පෙම්වතිය ගැන කියන්නම්කෝ.

ඔබේ පෙම් සබඳතාවය බිඳී යෑම ඔබේ පුද්ගලික ජීවිතයට මොන වගේ බලපෑමක් ද එල්ල කළේ?

පුද්ගලික ජීවිතයට විතරක් නෙවෙයි රංගන ජීවිතයටත් අඹ මල් රේණුුවක හානියක් වුණේ නැහැ. ඉස්සරට වැඩිය මං වැඩ කරනවා. එදාට වැඩිය අද මං ගොඩක් ඉදිරියට ඇවිල්ලා.

අතීතය ගැන දුකක් නැද්ද?

අතීතය මෙනෙහි කරනවාට වඩා මට වැදගත් වැඩ තියෙනවා. මාස හයක් විතර දුක් විඳලා හරිම අමාරුවෙනුයි මං මගේ හිත හදා ගත්තේ. ඒත් එයා නම් බොහොම ඉක්මනට යථා තත්ත්වයට පත් වුණා. මටත් පුදුමයි.

ඔබ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්. එතැනින් පටන් ගෙන කවදා හරි ඔබේ අරමුණ දේශපානයට පිවිසීමද?

ආරාධනාවක් ආවොත් මං දේශපාලනයට නෑවිදින් ඉන්නේ නැහැ. මං කවදා හරි මේ රටේ පවතින නමක් හදාගෙනයි මිය යන්නේ. අන්න එදාට ඇයට වුණත් දුක හිතෙයි. හැබැයි එතකොට ඇය පරක්කු වැඩියි.

නොකියා කියන්නේ ඇයට යළි එන්න කියලද?

මං කියන දේවල් වැරැදියට තේරුම් ගන්න එපා. ගිය අය ගියාවේ.

ඔබ දෙපොළ ආදර සබඳතාවය පටන් ගත් දින සිටම එය ප්‍රසිද්ධ කළා. නමුත් දෙන්නා විරසක වීම මුල් කාලේ ඇයත් ඔබත් වැඩිය කාටවත්ම ඒ ගැන කිවේවේ නැහැ. ඇයි ඒ?

ඇය ඒක කිව්වද නැද්ද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් මම නම් මුල් කාලේ ඒ ගැන හැංගුවා. හැංගුවේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි එයා ගැන හිතලා. මං කොල්ලෙක්නේ, එයා කෙල්ලෙක්. අප රටේ අය හැදිලා තියෙන සංස්කෘතියට අනුව ආදර සම්බන්ධයක් බිඳී ගිය පසු ගැහැනු ළමයකුට එල්ල වෙන්න පුළුවන් චෝදනා වැඩියි. මං ඇය ගැන හිතලයි කතා නොකර හිටියේ.

මේ දිනවල කොහොමද ඔබේ රංගන කටයුතු?

ස්වර්ණපාලි සහ තිමිරගිර නාට්‍ය විකාශය වෙනවා. ඊට අතරව වෙද මුදියන්සෙ, රණ මොණරු සහ අඳුරෙන් එළියට යන නාට්‍යවල ෂූටිං.

ඔබටත් ඔබේ පැරැණි ආදරවන්තියටත් එකම නාට්‍යයක පෙම්වතුන් යුවළක් ලෙස රඟපාන්න ආරාධනා කළොත් බාර ගන්නවාද?

වයි නොට්. ඉතාම ආදරයෙන් බාර ගන්නවා.